හැම පනතක් ම වෙනස් වන සුලු ය | සිළුමිණ

හැම පනතක් ම වෙනස් වන සුලු ය

කැකෑරෙන හිරු රශ්මියට ද වඩා ගිනියම් ව මේ දිනවල කැකෑරෙන්නේ ඡන්ද රශ්මිය ය. පෝස්ටර්, කටවුට්, මාධ්‍ය දැන්වීම් ආදියට තමාගේ මුදල් නිර්ලෝභී ව වැය කරමින්, රටට වැඩ කරන්නට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ බැගෑපත් බව දකින විට සෝපාහාස සිනහවකින් මුව සැරසෙන මිනිසුන් ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් තිබේ.

මෙකල්හි ඡන්ද විගඩම් නරඹන අපට නිතැතින් ම මතකයට නැඟෙන කෘතියක් වෙයි. ඒ ජෝර්ජ් ඕවල් විසින් රචිත Animal Farm නම් විශිෂ්ට කෙටි නවකතාවයි. එහි සිංහල පරිවර්තන දෙකක් මා සතු වෙයි. එකක් මාර්ග ප්‍රකාශන සේ 1945 දී නිකුත් වූ දයාරත්න ගරුසිංහ කළ ‘ගොවිපළේ පෙරළිය’ නම් සංක්ෂිප්ත පරිවර්තනයයි. අනෙක 2013 දී සුභාවි ප්‍රකාශනයක් සේ නිකුත් වූ චූලානන්ද සමරනායක කළ ‘ගොවිපළේ කැරැල්ල’ යි. ජෝර්ජ් ඕවල්ගේ Animal Farm ලොව කොතැනක හෝ සද්ගුණවත් බවේ මුවාවෙන් පීඩිතයා රවටන සමාජයක පීඩිතයාට තමන් දෙස ම හැරී බැලීම සඳහා ලැබෙන අපූරු කැටපතකි. ලේඛකයා කෘතියේ නමට පහළින් ‘සුරංගනා කතාවකි’ යනුවෙන් සඳහන් කරන්නේ ම මෙහි රැඳි උත්ප්‍රාසය හා දේශපාලනික බව තහවරු කරන්නට ය.

1903 දී ඉන්දියාවේ උපත ලබන එරික් ආතර් බ්ලෙයාර් ලේඛනයෙහි යෙදුණේ ජෝර්ජ් ඕවල් නමිනි. ඔහුගේ කෘති අතර වඩාත් සාර්ථක කෘති යුගලය වූයේ Animal Farm සහ Nineteen Eighty Four (1984) කෘති දෙකයි.

“මිනිහා තමයි නිෂ්පාදනය කරන්නෙ නැතිව පරිභෝජනය කරන එකම සතා. මිනිහට කිරි දෙන්නත් බෑ; බිත්තර දමන්නත් බෑ; නඟුලක් ඇදන් යන්න තරම්, ඇඟපතේ හයිය හත්තිය ඇත්තෙත් නෑ; හාවෝ පස්සේ එළවගෙන ගිහින් උන් අල්ලා ගන්නත් බෑ. ඒ වුණාට සියලු ම සතුන්ගේ ස්වාමියා වෙලා ඉන්නේ මිනිහා තමයි. මිනිහා හැම සතෙක් ම වැඩට යොදවල, හාමතේ නොමැරෙන ගාණට විතරක් උන්ට කන්න දීලා, ඉතිරි සේරම කෑම තමන් තියා ගන්නවා.”

කකුල් දෙකේ සතා වන මිනිසා ගැන සත්ත්ව ගොවිපළේ කකුල් හතරේ සතුන් කතා කළේ එපරිද්දෙනි. එතැනින් නොනැවතුණු ඔවුහු ගබඩා බිත්තිය කෙළවර උන් සකස් කළ සත් පනතට ඉහළින් ලොකු අකුරෙන් මෙසේ සටහන් තැබූහ.

“සිව්පාවුන් හොඳ ය. දෙපාවුන් නරක ය.”

සත් පනත පළ කරන ලද්දේ ඊට පහළිනි. ආරම්භයේ එය සත් පනතක් ව පැවතිණි. කෘතිය කියවා ගෙන යන ඔබට අවසානයේ මේ පනතේ ඉතිරි වූයේ එක් වැකියක් බව හසුවනු ඇත. ඒ ද යම් යම් සංශෝධනවලට නතුවය. හරියට අපේ ඡන්ද වගේ ය. එහෙමත් නැතිනම් සුපර් මාර්කට් එකේ ලබා දෙනවා ය කියන ඩිස්කවුන්ට් වගේ ය. යට ම පුංචියට සඳහන් කර ඇති ‘කොන්දේසි සහිතයි’ යන්න දකින්නේ බඩු අරගෙන බිල ගෙවන විට ය. සමහර ඡන්ද පොරොන්දු ඉටු නොවන්නේ මන්දැයි විමසිලිමත් වූ විට පෙනෙන්නේ ද ඒ පොරොන්දු ඉටු කරන්නට ඔවුන්ට තියා මහා බ්‍රහ්මයාට ද නොහැකි බව ය. කෙසේ වෙතත් ඕවල්ගේ ගොවිපළේ සත් පනත මෙසේ ය.

1- දෙපයන් යන කවරකු වුව ද සතුරන් සේ සැලකිය යුතුය.

2- සිව්පයින් හෝ පියාපතින් යන්නා වූ කවරකු වුව මිතුරකු සේ සැලකිය යුතුය.

3- කිසිදු සත්ත්වයකු ඇඳුම් නො ඇඳිය යුත්තේ ය.

4- කිසිදු සත්ත්වයකු සයනයක නිදා නො ගත යුත්තේ ය.

5- කිසිදු සත්ත්වයකු මධ්‍යසාර පානය නො කළ යුත්තේ ය.

6- කිසිදු සත්ත්වයකු තවත් සත්ත්වයකු ඝාතනය නො කළ යුත්තේ ය.

7- සියලු සත්තු සමානයෝ වන්නාහ.

සත්ව ලොව මිනිස් ලොවට නොදෙවැනි නැත. මේ සත් පනතින් පෙර කීවා සේ ඉතිරි වූයේ අවසන් පනත පමණී. එය ද සංශෝධන වලට යටත් ව ය.

කාගෙදෝ හොම්බක් තමන්ගේ උරයෙහි ඇතිල්ලෙනු දැනී හැරී බැලූ බෙන්ජමින් දුටුවේ ක්ලෝවර්ගේ මහලු මලානික දෑස් ය. ඒ දෑසේ සටහන් ව තිබුණේ විමතිය ද; ශෝකය ද යන්න සොයන්නට නො වෙහෙසුණු බෙන්ජමින්ගෙන් ඇය මෙසේ ඇසුවා ය.

“දැන් මගේ ඇස් පෙනීම දුර්වල වේගෙනයි යන්නේ. මගේ තරුණ කාලෙදිවත් මට අතන තිබුණු දේවල් කියවගන්න බැරි වුණා. ඒ කොහොමවුණත් මට පේන හැටියට බිත්තිය වෙනස්. බෙන්ජමින් සත් පනත කලින් තිබුණු විදිය ම ද?”

බෙන්ජමින් ක්ලෝවර්ට කියූ සත් පනතින් ඉතිරි වූ වැකිය මෙසේය. පරණ වැකිය මතක නම් ඔබට මේ වැකිය ද වෙනස් වී ඇති බැව් මතකයට නැඟෙනු ඇත.

“සියලු සත්තු සමානයෝය. එහෙත් සමහර සත්තු අනෙක් අයට වඩා සමානයෝය”

ජෝර්ජ් ඕවල් සත්ව ගොවිපළෙහි ලා උපහාසයට ලක් කරන්නේ ස්ටාර්ලින් යටතේ වූ ක්‍රෑරතර, දූෂිත සෝවියට් පාලනය බව සැක නැත. ඒ පාලනයේ වූ නිලධාරීවාදයත්, 1917 ඔක්තෝබර් විප්ලවයේ උතුම් අරමුණු පාවා දෙන ආකාරයත් ඔහු විසින් විවරණය කරන අයුරු මෙකල සාහිත්‍යකරණයේ නිරත වූවන්ට උගන්වන පාඩම සුළු පටු නැත.

අද අපට පෙනෙන්නට, දැනෙන්නට තරම් වාරණයක් නැත; වාරණ මණ්ඩල ද, බලධාරියාගේ කැපීම් ද නැත; ඔම්බුඩ්ස්මන්ලා ද නැත. එහෙත් හොඳ නිර්මාණ බිහිවන්නේ ද කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ ය. වාරණයට වඩා ස්වයං වාරණය ක්‍රියාත්මක වනු පෙනේ.

ඕවල්ලා ලියූයේ නිර්ධන පන්තිය වෙනුවෙනි; පීඩිතයාට සහනයක් ලබා දීම වෙනුවෙනි. එය සර්වකාලීන හා සර්වභෞමික වූයේ ලොව කොතැනත් මේ තත්ත්වය මෙසේම නිසා ය.

කියවා නැත්නම් ජෝර්ජ් ඕවල්ගේ Animal Farm කියවා ගනු මැනව. ඔබට, ඔබ දෙස නැවත හැරී බලන්නට ඉන් අවකාශ විවර වනු නියත ය.

[email protected]

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.