‍ගාලු මුව­දොර සුළඟ පරදා පිනූ පැර­ෂුට් පිමි | සිළුමිණ

‍ගාලු මුව­දොර සුළඟ පරදා පිනූ පැර­ෂුට් පිමි

ෂැංග්‍රිලා ‍හෝටලයේ සිට පැරෂුට් පිම්ම පිනූ විරුවන් පසුගියදා ඇගයීමට ලක් කෙරිණි. එදින පිදුම් ලැබූ විරුවන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, (වමේ සිට) යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර් චම්පික කුමාරසිරි, මේජර් ජනරාල් නිර්මාල් ධර්මරත්න, ලුතිනන් කර්නල් විජිත හෙට්ටිආරච්චි, මේජර් නලින් කුලතුංග සහ කොමාන්ඩෝ බළකායේ සාජන් අජිත් ප්‍රේමලාල් සමඟ සේයාරුවේ වෙති.

අප රටේ 70 වැනි නිදහස් සමරුව අභිමානවත් අන්දමින් ගාලු මුව‍දොර පිටියේ පැවැත්වෙද්දී සුපුරුදු පරිදි අපේ පැරෂුට් භටයෝ අහසේ පෙළහර පෑහ. මෙදා පැරෂුට් විරුවන් තිදෙනෙකු ඉදිවෙමින් පවතින ෂැංග්‍රිලා ගොඩනැඟිල්ලෙන් නික්ම ගෝල්ෆේස් පිටියට පතිත වූයේ බලා සිටින්නන් වෙත නවමු අත්දැකීමක් ඉදිරිපත් කරමිනි.

මෙරට පැරෂුට් ඉතිහාසය වසර 40කට ආසන්නය. මෙවර පැවැති පැරෂුට් සංදර්ශනයේ නවමු අංගය වූයේ ෂැංග්‍රිලා ගොඩනැඟිල්ලේ අඩි 550ක පමණ උසකින් පිහිටි 52 වැනි තට්ටුවෙන් පිනූ පිම්මය. බලා සිටින්නන්ට ත්‍රාසජනක දසුනක් මැවූ ‘බේස් ජම්ප්’ නමින් හඳුන්වන එම පැරෂුට් පිම්ම පනිමින් ඉතිහාසගත වූයේ කොමාන්ඩෝ බළකායේ, ඌව කුඩාඔය පැරෂුට් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් නලින් කුලතුංග, සාජන් අජිත් ප්‍රේමලාල් හා යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර් චම්පික කුමාරසිරි යන විරුවන් තිදෙනායි.

බී-බිල්ඩින්, ඒ-ඇන්ටෙනා, එස්-ස්පැන් (පාලම්), ඊ - අර්ත් (කඳු) (BASE) ලෙස දුෂ්කර ස්ථානවල සිට අවම උස අඩි 350 ක් වැනි කෙටි උසකින් පනින බේස් ජම්ප් පිම්ම පැරෂුට් ශූරයන් පනින පිමි අතුරින් ලොව තිබෙන අතිභයානකම පිම්ම ලෙස සැලැකේ. ඒ එම පිම්ම කෙටි උසකින් පැනීම සහ අතිරේක පැරෂුටයක්ද නොමැතිව පනින ‍ හෙයිනි.

තත්පර ගණනකදී අවසන් වන සියලු කාර්යයන් දශමයක වෙනසකින් තොරව ‘තිත’ට සිදු නොවුණහොත් අත්වන ඉරණම ගැන කිව යුතු නොවේ. අප මේ පිම්ම ගැන ඔවුන් තිදෙනා යුරෝපයට ගොස් පුහුණු වී පැමිණි පසු සිළුමිණ සිත්මල්යායේ පසුගිය අගෝස්තු 18 දා තැබු ‘දිවි නොතකා පැන්න පැරෂුට් පිම්ම’ යන සිරස්තලයෙන් යුත් ලිපියෙන් සටහන් තැබීමු.

ගෝල්ෆේස් පිටිය අවට උස් ගොඩනැඟිල්ලක සිට බේස් ජම්ප් පිම්ම පැන නිදහස් උලෙළ වර්ණවත් කරමින් මෙරට ජනයාට එහි අසිරිය සේම ත්‍රාසජනක බව සියැසින් දැකබලා ගැනීමට සලස්වමින් නිදහස් දා මුලින්ම පොළොවට පතිත වූයේ මේජර් නලින්ය. තමා පිනූ ත්‍රාසජනක පිම්ම ගැන ඔහු අප හා කතාබහ කළේය.

“අපි හිතුවේ නෑ අපිට පනින්න පුළුවන් වෙයි කියලා. මුහුද අසල මෙවැනි පිම්මක් පනින එක ටිකක් අමාරු වැඩක්. මොකද පුදුම සුළඟක් තියෙන්නෙ. මේ පිම්මේදී සුළඟ ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕනෑ. සුළඟ වෙනස් වුණොත් බිල්ඩිමේ වදින්න තියෙන අවදානම වැඩි වගේම කෙටි උසක් නිසා අනතුරු වීමට තියෙන අවස්ථාත් වැඩියි. පැරෂුටය දිග හැරෙනකල් ලොකු අවදානමක්. ඒ වගේම කෙටි උසක් නිසා පහළ හොඳින් පෙනෙන නිසා සිතට අමුතුම හැඟීමක් එන්නෙ.

ගුවන් යානයෙන් අඩි දහස් ගණනක සිට පනිනකොට පහළ දර්ශන එතරම් පෙනෙන්නෙ නෑ. පාවි පාවි තමයි පහළට එන්නෙ. තිබුණ තත්ත්වයත් එක්ක අපි මෙතන රිහසල් කළේ එක දවසයි. පිමි දෙකයි දැම්මේ. මුල්ම රිහසල් දවසේ සුළඟ වැඩි නිසා පැන්නෙත් නෑ. කොහොමහරි අපි ලොකු ‘රිස්ක්’ එකක් ගත්තෙ”

කෙටි පුහුණුවකින් අනතුරුව එම පැරෂුට් පිම්මේ අතිභයානක බව මෙරට ජනයාටද සියැසින් දැකබලා ගැනීමට සැලැස්වූ ඊළඟ සාමාජිකයා වූයේ සාජන් ප්‍රේමලාල්ය. මේ ඔහු කියූ කතාවයි.

“ඇත්තටම හරිම සතුටුයි කෙටි කාලයක් තුළදී මෙවැනි අභිමානවත් උලෙළකදී ‍මේ වගේ පිම්මක් සාර්ථක ලෙස පනින්න ලැබීම ගැන. මුලින් පොඩි චකිතයක් තිබුණා. ඒත් අපි ලබපු පුහුණුව සහ අත්දැකීම් නිසා කිසිදු කරදරයක් උපද්‍රවයක් නැතිව පතිත වෙන්න හැකිවුණා” ගුවන් යානයෙන් නික්මී නිදහස්ආර පිමි 150කට අධිකව පනිමින් පැරෂුට් පිම්ම ගැන අත්දැකීම් බහුල අය පමණක් පනින බේස් ජම්ප් පිම්මෙන් නිදහස් උලෙළ වර්ණවත් කළ විශේෂ බළකායේ සාජන් මේජර් කුමාරසිරි ද ඉතිහාසගත වූයේ එවන් පිම්මකින් ලක් පොළෝ තලයට පතිත වූ ප්‍රථම විශේෂ බළකා විරුවා වෙමිනි.

“අපි තුන්දෙනා මේ පිම්ම පනින්න මුල්ම පුහුණුව ලැබුවේ ලෝකයේ වැඩිම පිරිසක් බේස් ජම්ප් පළමු පිම්ම පැනීමට යන ක්‍රොයේෂියාවේ කන්ෆනාර්හි අධිවේගී මාර්ගයක තිබෙන පාලමක සිට අඩි 350ක් යටින් තිබෙන හෙළකට පනිමින්. ඊට පසුව ඉතාලියේ කඳුකර පෙදෙසක් වන ආර්කෝවලදීත් පුහුණුව ලැබුවා. එදා බේස් ජම්ප් පුහුණුවට ඇවිල්ල හිටියේ ජර්මනිය, ඔස්ට්‍රියාව, ප්‍රංශය, ස්ලෝවේනියාව, ස්විට්ස්ර්ලන්තය වගේ තාක්ෂණය වගේම හැම අතින්ම දියුණු රටවල පිරිසක්. අපි තිදෙනා පමණයි ලංකාව වගේ කුඩා රටකින් මෙවැනි පිම්මක් පනින්න මෙතෙක් ගිහින් තියෙන්නෙ. ඔවුන් අපි ගැන පුදුම වුණා. අපිත් දැඩි අධිෂ්ඨානයෙන් මෙය පුහුණු වුණා. පුහුණුකරුවන් අපට පුන පුනා කියූ දෙයක් තමයි, ‘ඔයාලා හැමෝම ඉහළ ගණයේ පැරෂුට් ශූරයෝ වෙන්න පුළුවන්. ඒත් මේක අලුත්ම දෙයක්. දශමයක අතපසු වීමක් වුණොත් ‘සොරි’ තමයි. ඒ නිසා හැමදේම ඉතාම සියුම්ව අධ්‍යයනය කරනකල් පිම්ම පනින එක අවදානමක්’ කියලා.”

එලෙස බේස් ජම්ප් පිම්මට කෝඩුකාරයන් තිදෙනෙක් වුවත් ඔවුහු සාර්ථක පිම්මක් නිදහස් දා පැන්නෝය. ඒ සඳහා ඔවුන්ට දිරිය දුන් සියලු දෙනාටම ස්තූති කරන්නත් අමතක නොකළේය.

බේස් ජම්ප් පිම්මට අමතරව අඩි හයදහසක ඉහළ අහසේ සිට ගුවන් යානයෙන් නික්මී ත්‍රිවිධ හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ 20 දෙනෙක් නිදහස්ආර පිම්ම පනිමින් පෙළහර පෑවේ නරඹන්නන්ගේ නෙත්-සිත් පිනවමිනි. එහිදී ලුතිනන් කර්නල් විජිත හෙට්ටිආරච්චි ජාතික ධජය රැගෙන පතිත වෙද්දී ලුතිනන් කර්නල් සුමාල් වික්‍රමසේකර, මේජර් පුෂ්පකුමාර, කෝප්‍රල් බස්නායක සහ කාන්තා සෙබළ කෝප්‍රල් අනුෂා කුමාරි ඉණිමගක ආකාරයේ රටාවක් මවමින් පහළට පතිත වූයේ මෙරට පැරෂුට් පිම්මේ පෙළහර ලොවට පෙන්වමිනි.

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත දර්ශනීය පැරෂුට් සංදර්ශනයක් මෙරට වැසියන්ට දැකබලා ගැනීමට හැකි වූයේ මෙරට පැරෂුට් පිම්ම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන මේජර් ජනරාල් නිර්මාල් ධර්මරත්න මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසායි. කෙටි කලක් තුළ ලාංකේය පැරෂුට් පිම්මට මහත් ජීවයක් සැපයූ මේජර් ජනරාල්වරයා අවසන් මොහොත තෙක්ම මෙවර නිදහස් දින සංදර්ශනයෙන් ඉවත්ව තිබූ පැරෂුට් ඉසව්වෙන් තම විරුවන් පෑ පෙළහර ගැන පවසන්නෙ මෙවැන්නකි.

“අපිට නියම පැරෂුට් සංදර්ශනයක් කරන්න කාලේ මදි වුණා. මුල්ම වතාවට පැනපු බේස් ජම්ප් එකේ සාර්ථකත්වය ගැන සතුටුයි. සාමාන්‍යයෙන් ඔය වගේ පිම්මකින් මෙවැනි අභිමානවත් උලෙළක් වර්ණවත් කරන්නෙ අඩුම තරමේ ජම්ප් 200ක්වත් පැනපු අය. නමුත් මේ අය 20ක්වත් පැනලා නෑ. ඒකයි මේ අයගෙ පිම්මෙ වටිනාකම වැඩි.”

ධර්මරත්න මහතා නිදහස් උලෙළ හා සබැඳි පැරෂුට් අතුරු කතාවක්ද අනාවරණය කළේය. ඒ නිදහස් උලෙළේ ප්‍රධාන ආරාධිතයා වූ එඩ්වඩ් කුමරුගේ පෞද්ගලික ලේකම් වූ බ්‍රිතාන්‍ය හමුදාවේ පැරෂුට් භටයෙකු වන ටිම් රොබට්ස් ද නිදහස් දා මෙරටදී පැරෂුට් පිම්මක් පැනීමට දැඩි ආසාවකින් සිටි බවයි.

“ඔහු ගිය නොවැම්බර්වලදී ලංකාවට ආවෙ එඩ්වඩ් කුමරුගේ ආරක්ෂක තත්ත්වය සොයා බලන්න. ඔහු මට මේල් පණිවිඩයක් දාලා තිබුණා, ‘මම දැක්කා ඔයාලා යූකේ ඇවිත් හොඳින් ජම්ප් කරලා දක්ෂතා පෙන්වනවා. බැරිද මටත් ලංකාවේදී ජම්ප් එකක් දාන්න අවස්ථාවක් සලසා දෙන්න’ කියලා. එහෙත් ඇතිවූ යම් බාධා නිසා ඔහුට ඒ අවස්ථාව මඟහැරුණා”

ඉදිරියේදී මෙරට පැරෂුට් පිම්මේ තවත් නවමු අත්දැකීම් ජනයාට නුදුරේදීම දැකබලා ගැනීමට හැකි වන බවට ද ජෙනරල්වරයා ඉඟි පළ කළේය.

 

 
 
 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.