අඟුලානේ අනතුරට පසු වදනක් | සිළුමිණ

අඟුලානේ අනතුරට පසු වදනක්

 ‘පසුගිය 5 වැනිදා සඳුදා මගේ සේවා මුරය තිබුණේ මරදානේ සිට පස්වරු 4.10ට දකුණු කළුතර බලා යන වන අංක 765 ශිඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමක ලෙසින් ගමන් කිරීමටයි. එදා කෝච්චිය විනාඩි කිහිපයක් ප්‍රමාද වෙලයි ගමන පිටත් වුණේ අපේ දුම්රිය රත්මලානෙන් පස්සෙ යළි නවත්වන්නෙ පාණදුර දුම්රිය ස්ථානයේ. සාමාන්‍යයෙන් පාලක මැදිරිය කරන්නේ කොළඹින් පස්වරු 4.00ට මොරටුවට යන මන්දගාමී දුම්රිය රත්මලානේ නවත්වලා තියලා දකුණු කළුතර ශීඝ්‍රගාමී දුම්රිය පෙර ධාවනය කරන එකයි. ඒත් එදා අපේ දුම්රිය විනාඩි කිහිපයක් පරක්කු වෙච්ච නිසා මොරටුව මන්දගාමි දුම්රිය පිටත් කරලා තිබුණා‍.'

මේ කතාව කියන්න ගත්තේ පසුගිය සඳුදා දුම්රිය මඟීන් 5 දෙනකුට මරු කැඳවුණු දකුණු කළුතර දුම්රියේ ප්‍රධාන නියාමක ලෙසින් කටයුතු කළ ගමන කළ ආර්. ආර්. කේ අබේසිර මහතා. ඔහු දුම්රිය සේවයේ වසර 33කට අධික සේවා කාලයත් සපුරා ඇති පළපුරුදු දුම්රිය ප්‍රධාන නියාමක මහතෙක්.

එදා දකුණු කළුතර ශීඝ්‍රගාමී දුම්රිය තරමක් ප්‍රමාද වී පැමිණිනු හෙයින් රත්මලානෙන් පසුව දුම්රියේ වේගය අඩු කිරීමට සිදුව ඇත.

'කොළඹ ඉදල වේගයෙන් ආපු දුම්රියේ ගමන් වේගය බාල වුණා. ඉස්සරහින් මොරටුව දුම්රිය ධාවනය වන බව අපට තේරුණා. මම හොඳින් ඉදිරිය බලාගෙන ගියේ. කෝච්චිය ගියේ ඇම්බර් සිග්නල් (කහ සංඥාවෙ) ඒක සා රියැදුරු මහතා සාමාන්‍ය වේගයෙන් ගියේ. අඟුලානෙදි මම දැක්කා දුම්රිය මාර්ගයට ඈතින් ලොරියක් නවත්වලා තියනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. පාර දිහා බලාගෙන යනකොට කවුදෝ කෙනෙක් පාවෙලා වගේ ගිහින් බිම වැටුණා. ‍කොහෙන් ආවද කියලා හිතා ගන්න බැරිව මම දොරෙන් එළියට ඇවිත් බලනකොට තවත් කෙනක් වැටෙනවා දැක්ක. මම වහාම දුම්රියේ තිරිංග යෙදුවා. රියැදුරු මහතා දුම්රිය නැවැත්වුවා‍. ඒත් මීටර් 100විතර දුම්රිය ඒ වෙනකොට ඉස්සරහට ගිහින්.

මම දුම්රියෙන් ගිහින් බැහැල බලනකොට මඟීන් කිහිප දෙනෙකු දුම්රියෙන් වැටිලා ඉන්නවා දැක්කා. ඒ වෙන‍කොටත් එක් අයෙක් මිය ගිහින් බව දැක්කා.

මම කලින් දැකපු ‍ලොරිය දුම්රිය මාර්ගය ආසන්නයටම පසුපසුට ගෙන ඇත බවත් ඒ වෙලාවෙ මම දැක්කා. මම වහාම ‍ලොරි රථයේ බලපත්‍ර ඇතුළු අනෙකුත් සියලුම ලිපි ලේඛන ඉල්ලා ‍ගත්තා. පළාතේ කට්ටිය විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන් පුදුම උත්සාහයක් ගත්තා. ඒ වගේම ඒ අය දුවලා පැනලා මේ වෙලාවෙ කටයුතු කළා. ඒ අයට ස්තුතිය පුද කරන්න ඕන. තුවාල කරුවන් රෝහලට පිටත් කර හැරීමෙන් පසුව අපි දුම්රිය ඉදිරියට ගෙන ගියා. දකුණු කළුතර දුම්රිය ස්ථානයට ලොරි රථයේ සියලුම ලිපි ලේඛන ලබා දුන්නා පොලිසියට බාර දීම පිණිස. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. මමත් සාක්කා ලබා දුන්නා.

මේ වගේ සිදුවීම් වෙන්නේ නොසැලකිල්ල නිසයි. ලොරි රථයේ රියැදුරු මහතාට අමතරව සහායකයෙකුත් ඉද්දි තමයි මේ වගේ අපරීක්ෂාකාරීව කටයුතු කරල තියෙන්නෙ. ඒ වගේම සමහර මඟීන් ඉතාම අවදානම් විදිහට දුම්රියෙ පාපුවරුවේ එලිලී යනවා. ඒකත් හරිම ශයාවකයි. මම ඉක්මනින් තිරංග යොදලා දුම්රිය නවත්වා නොගන්න තවත් ලොකු හානි වෙන්න තිබුණා. ලොරිය පසුපසට ගන්න ඇත්තේ එන්ජිමත් මැදිරි කිහිපයකුත් පහුවුණාට පසුව වන්න ඇති.

අනතුරක් සිදුවුණා‍ට පසුව ඒ ගැන කතා කරල වැඩක් නැහැ හොඳම ‍දේ අනතුර වළක්වා ගන්න එකයි.

දුම්රිය රියැදුරු මහතා ලොකොමොටිව් රියැදුරු සංගමය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අනතුරක් අනපේක්ෂිත ලෙසින් සිදුවන හෙයිව් අනතුරු ගැන අවධානයෙන් සිටීම වැදගත් වන බවයි. එදින මේ ලොරිය දුමිරිය මාර්ගය අසල නවත්වා තිබෙන්නට ඇති නමුත් දුම්රිය එන්ජිම සහ මැදිරි කිහිපයක් පසුකර ගිය පසු එය පසු පසට ගන්නට ඇතැයි ඔහු විශ්වාස කරනවා.

'මම දැක්කා අවමංගල්‍ය පෙරහරක් එනවා. එම නිසා මේ ලොරිය පසු පසට ගන්න ඇති. ඉස්සරහින් මන්දගාමී දුම්රියක් ගිය නිසා මම දුමිරිය පැයට කිලෝමීටර් 30ක 35ක විතර වේගයෙන් තමයි ධාවනය කෙලේ. මේ අනතුර ගැන ඇත්තෙන්ම කනගාටුයි. මට දැන ගන්න ලැබුණා එදින තම දරුවා ඉපදුනු පියෙකුත් ඒ සතුටට ඉක්මනින් ගෙදර යන්න මේ දුම්රියේ පාපුවරුවේ එල්ලිලා ගිහින් ඇද වැටී මිය ගිය බවක්. ඇත්තෙන්ම ‍මේ වගේ දේවල් අහන්න දකින්නත් ලැබීම අපටත් හරිම කනගාටුදායකයි. සමහර අය දුරකථන කනේ ගහගෙන මෙලෝ සිහියක් නැතිව දුම්රිය පාරේ යන්නෙ. හෝන් ගහල බැරිම තැන අපි දුම්රිය නවත්වලත් තියෙනවා. අ‍පේ රටේ අයගේ ආකල්ප වෙනස් වෙන්න ඕන.

දිවි නසා ගන්න දුම්රියට පනින කෙනෙක් වගේ නෙමෙයි මේ වගේ අනපේක්ෂිත ‍අනතුරුවලින් ‍කී දෙනෙක් දුකට පත් වෙනවද?

මේ දුම්රියට පසු පසින් විනාඩි 5කින් ඒ කියන්නෙ 4.15ට තවත් මන්දගාමී දුම්රියක් එනවා කළුතරට. ඒක විනාඩි 10ක් 12ක් විතර මේ දුම්රියට පසුව එනවා. ඒ දුම්රියේ හොඳින් අසුන්ගෙන එන්නත් පුළුවන්. විනාඩි 10කට 15කට වඩා තමන්ගේ ජීවිතේ කොයිතරම් වටිනවද? මේ කරුණ හිතන්න පුළුවන්නම් අහිංසක ජීවිත බේරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉඩකඩ තියාගෙන පාපුවරුවේ යන අයත් ඉන්නවා. වැස්ස දවසට ඔය කවුරුත් නැහැ.

අනෙක් දවස්වලටත් ඒ වගේ ඇතු‍ළට යන්න පුළුවන් නම් මේ වගේ අනතුරු වෙන එකක් නැහැ. ලොරියේ වරදක් තියෙන්න ඇති. මම කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් උපරිමයෙන් සකස් කර ගැනීම ගැනයි'

දුම්රිය නියාමක මහතා සහ රියැදුරු මහත්වරුන්ගේ කතාවලින් අපට පෙනෙන්නේ අපේ රටේ දුම්රිය සම්බන්ධ අනතුරුවලින් පවා බොහෝ දෙනෙක් මිය යන්නේ නොසැලකිල්ල මතම බවයි. මේ සිදුවීමේදි එදා නියාමක මහතා තිරංග යෙදූ සැණින් දුම්රිය නවත්වා ගැනීමට රියැදුරු මහතා කටයුතු කළ නිසා සිදුවන්නට ගිය විශාල විපතක් වළක්වා ගැනීමට හැකිව තිබෙනවා. අපට බොහෝ දේ මතක තිබෙන්නේ කෙටි කලක් පමණයි. දුම්රිය ස්ථානවල අනතුරු වළක්වා ගැනීමට කෙතරම් අනතුරු ඇඟවීම් දන්වා තිබුණද ඒවා නොසලකා හැරීමට මඟීන් පුරුදුව සිටිම සැබෑවටම කනගාටුදායකයි.

අධිවේගී මාර්ගයේ මෙන් සැම තැනම වැට ගසා දුම්රිය මාර්ග ආරක්ෂා කරන්න හැකියාවක් නැහැ. නමුත් මෙවන් අනතුරුදායක ස්ථානවලට ආරක්ෂිත වැට යෙදිය හැකි නම් ඒ සම්බන්ධළු කටයුතු කිරීමට සලකා බලන බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පෙන්වා දෙනවා. කෙසේ වුවත් දුම්රිය මඟ දුම්රියට සීමා කිරීම තුළින් අපේ ජීවිත රැක ගැන්මට අපට හැකියාව ලැබේවි.

ඒ ගැන හෙටම නොව අදම හිතන්න. මෙවන් අනතුරු වළක්වාගන්න හැකි වන්නේ එවිට පමණයි.

තාරක වික්‍රමසේකර
සේයාරූ - තුෂාර ප්‍රනාන්දු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.