වැරදි මාවතට වැටුණු ත්‍රීවීල් | සිළුමිණ

වැරදි මාවතට වැටුණු ත්‍රීවීල්

 දිනෙන් දින වැඩිවන මාරාන්තික රිය අනතුරු අතර ත්‍රී රෝද රථ නිසා ඇතිවන අනතුරු ද විශාල ප්‍රමාණයක් දැකිය හැකි ය. සාමාන්‍යයෙන් ත්‍රීරෝද රථ නිසා ද සතියකට හතර පස් දෙනකු මිය යති. ඒ සමඟ ම ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් විවිධ මතවාද මතුවේ. සමහරු ත්‍රීරෝද රථ නිසා සමාජයට සිදුවන හානිය පිළිබඳ බරපතළ ලෙස කතා කරති.

කුමන මතවාද දැරුව ද ත්‍රීරෝද රථ නිසා මෙරට ඇතිවී තිබෙන සංස්කෘතියට තිත තැබීමට දැන් කිසිසේත්ම හැකියාවක් නොමැත.

මෙරටට මුල්වරට ත්‍රීරෝද රථයක් හඳුන්වා දෙන්නේ විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව ය. ඒ 1978 වර්ෂයේදී ය. ඩේවිඩ් පීරිස් සමාගම පළමුවෙන්ම ත්‍රීරෝද රථ ලංකාවට ගෙන්වූ අතර, පසුව හෙප්තුල්ලා බෝයි සමාගම විසින් පළමු කුලී රථ සේවාව ආරම්භ කෙරිණි. මුල් කාලයේදී මේ සේවාව විධිමත්ලෙස පවත්වා ගෙන ගිය බව බොහෝ දෙනාගේ පිළි ගැනීම විය. බර වාහන පැදවීමේ බලපත්‍රය හිමි පුද්ගලයන් සඳහා පමණක් විශේෂ ත්‍රීරෝද රථ පුහුණුවකින් පසුව ත්‍රීරෝද රථ පැදවීමේ අනුමැතිය ලබා දුනි. එමෙන් ම සෑම ත්‍රීරෝද රථයක් ම කළු සහ කහ පැහැයෙන් යුක්තවීම සිදුවිය. තවද සැම රථයකටම ගාස්තු මීටරයක් ද සවිකර තිබිණි. මුල් කාල‍යේදී හෙප්තුල්ලා සමාගමට ත්‍රීරෝද රථ රියදුරකු රුපියල් 30ක මුදලක් ලබා දිය යුතුව තිබිණි. පසුව සමාගම විසින් එම මුදල රුපියල් 40ටත්, පසුව එය රුපියල් 50ටත් වැඩි කරන ලදී. මේ වැඩිකිරීමත් සමඟ විරෝධයක් මතුවී පැමිණි අතර, මෙයට ප්‍රතිචාර දැක්වූ ‍රියදුරන් හෙප්තුල්ලා සමාගමට එරෙහිව සටනක් ක්‍රියාත්මක කරන ලදී. එයින් තවත් කල් ගතවෙත් ම, ත්‍රීරෝද රථ රටපුරා ව්‍යාප්තවිය. සංඛ්‍යාත්මකව වැඩිවන විට ගුණාත්මක බව ක්‍රමයෙන් බිද වැටිණි.

මේ වන විට මෙරට ත්‍රී රෝද රථ ප්‍රමාණය ලක්ෂ 12 ඉක්මවයි. ඉතා පහසු මිලකට ලබා ගැනීමට හැකිවීම මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. හැම පවුලකම සිහිනය, පවුලේ සැමට එකට යාහැකි කුමන හෝ ආකාරයේ වාහනයක් ලබා ගැනීම ය. එහෙත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ලබා ගත හැකි පහසුම වාහනය ත්‍රීරෝද රථයයි.‍මෙය විශේෂයෙන් ම, ලංකාව පමණක්්‍ නොව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල ද ජනප්‍රිය වීමට හේතුව ය. ඒ සමඟ ම එමඟින් ලක්ෂ ගණනකට රැකියා ලැබී තිබේ. එහෙත් එන්න එන්නම මේ සේවය පරිහානිය කරා යන බවට බොහෝ දෙනාගේ පිළිගැනීම ය.

බොහෝවිට ත්‍රීරෝද රථ වෘත්තියක් ලෙස සේවය කරන පිරිසට අමතරව, තාවකාලිකව එක්වූ පිරිස නිසා මෙලෙස ක්ෂේත්‍රය විනාශ වූ බව කියන පිරිසක් ද සිටී.

කෙසේ වුවද ත්‍රීරෝද රථ ජනජීවිතයට බලපෑමක් කරන වාහනයක් බවට පත්වී තිබේ. මඟුලට මෙන්ම අවමඟුලට යාමට ඔබින වාහනයක් වීම, තවමත් මිල අඩුවෙන් ලබාගත හැකි වාහනය වීම, ඉන්ධන වියදම අඩුවීම, අඩි පාරක හැර ඕනෑම මාර්ගයක වාහන තදබදය මැද වුව ගමන්කළ හැකිවීම මේ ජනප්‍රියත්වය පසුපස ඇති සාධකයි.

ත්‍රීරෝද රථ වැ‍ඩිවීමත්, එහි යෙදෙන වෘත්තිකයන් ප්‍රමාණය වැඩිවීමත් සමඟ ඇතිවී තිබෙන සංස්කෘතිය යහපත් ලෙස වර්ධනය වී ඇති බවක් නො පෙනේ. මේ නිසාම පසුගිය වසරේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සංචාරයේ නි‍යැළෙන සිය රට වැසියන්ට ලංකාවේ ත්‍රීරෝද රථ භාවිතයේදී පරිස්සම් වන ලෙස ඉල්ලා සිටින ලදී.

ඒ ත්‍රීරෝද රථවලදී යම් අඩන්තේට්ටම් වලට විදේශිකයන් ලක්වන බවට ලැබී තිබූ සාධක නිසා ය.

ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් නැඟෙන චෝදනා අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ද ප්‍රබල ය. එමෙන් ම බොහෝ පාතාල ක්‍රියා සඳහා ත්‍රීරෝද රථ මෙන්ම රියදුරන් ද සහභාගීවී තිබීම නිසා ත්‍රීරෝද රථ පිළිබඳ සමා‍ජයේ යහපත් හැඟීමක් ඇතිවී නැත.

‍අය කරන ගාස්තු පිළිබඳ නිසි පිළිවෙළක් නොමැතිවීම ත්‍රීරෝද රථ රියැදුරන්ට එල්ලවන බරපතළ චෝදනාවකි. වරක් ලංකාවේ සංචාරයට පැමිණි චීන ජාතික කාන්තාවක ගෙන් කොළඹ නගරයේ සංචාරය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 1200ක් ලබාගත් රියදුරකු ගැන ද වාර්තා විය. මෙවැනි තත්ත්ව නිසා විකල්පයක් ලෙස ගාස්තු මීටරය හඳුන්වා දුන්න ද, එය භාවිතය බොහෝවිට අගනුවර ඇතුළු බස්නාහිර පළාතට පමණක් සීමා වී තිබේ. ග්‍රාමීයව එවැනි මීටර භාවිතයක් නොමැත. සමහර ත්‍රීරෝද රථවල දක්නට ලැබෙන මීටර නිසි ප්‍රමිතියෙන් යුතු ඒවා නොවන බවට ද චෝදනා එල්ල වේ.

පළමුවැනි කිලෝමී‍ටරයට රුපියල් 50ක් ද, ඊළඟ කිලෝමීටරයේ සිට රුපියල් 30 බැගින් ද අයකිරීම සාමාන්‍ය ක්‍රමය වුවත් එය‍ට වඩා වෙනස් මුදල් අයවන ලෙස සැකසූ මීටර පිළිබඳ පසුගිය කාලයේ දැනගන්නට ලැබිණි.

සේවාව ලබන්නන්ට ප්‍රිය වදනින් කතා නොකිරීම, වෘත්තියට නො ගැළපෙන ඇඳුම් භාවිතය, රථයේ අපිරිසුදුබව, අධික ශබ්ද නගන සේ ගීත වාදනය කිරීම, ඉතිරි මුදල් ලබාදීමේදී ඇතිවන ගැටලු ආදී ලෙස ත්‍රීරෝද රථ සේවයේ තවත් ගැටලු බොහොමයකි. මේ සියල්ලටම වඩා ප්‍රබල කාරණය වන්නේ ත්‍රීරෝද රථ නිසා සිදුවන අනතුරුවලින් වසරකට විශාල ප්‍රමාණයක් මියයාම ය.

මෙරට සිදුවන මාරක රිය අනතුරුවලින් 18%ක් පමණ සිදුවන්නේ ත්‍රිරෝද රථ නිසා ය. අධික වේගය මෙන්ම මාර්ග නීති නො තැකීම, විශාල පිරිසක් රැගෙන යාම මෙහිදී ප්‍රධාන ලෙස බලපායි. වරක් මැදවච්චිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක පාසල් ළමුන් 22 දෙනකු ගෙන යාමක් සම්බන්ධයෙන් වාර්තා විය. සාමාන්‍ය ත්‍රීරෝද රථයක ගෙන යා හැක්කේ තිදෙනෙකි. එහෙත් එය ඉක්මවීම නිසා අනතුරු බහුලව සිදුවේ. අද බොහෝ ත්‍රීරෝද රථවල ඉදිරිපස රෝදයේ තිරිංග අක්‍රිය කර ති‍බේ. ඒ අධික වේගයෙන් යනවිට තිරිංග යෙදුවහොත් පාලනය කරගැනීමට නො හැකිව පෙරළෙන නිසා ය. නමුත් මෙයින් රිය අනතුරු ප්‍රමාණය වැඩිවීමට ලැබී ඇති බලපෑම විශාල ය.

මෙවැනි කෙටි ක්‍රම යොදා අධික ලාභ ‍ඉපයීමට යාම නිසා ත්‍රීරෝද රථ සේවාව වඩාත් අප්‍රසන්න බවට පත්වී තිබේ. මේ නිසා වෘත්තියක් වශයෙන් යහපත් තත්ත්වයකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු කළ යුතු ය.

අද බොහෝ දෙනා ත්‍රීරෝද රථ හඳුන්වන්නේ පවුලේ වාහනය ලෙස ය.

ඒ ලංකාව වැනි රටක ආර්ථික මට්ටම නිසාම වන්නට ඇත. කෙසේ හෝ මේ පවුලේ වාහනය, පවුල සුරකින, සමාජයට යහපත්, වැඩදායි සේවයක් ඉටුකරන වාහනයක් වීම අවශ්‍යයි.

මලික් චමින්ද ධර්මවර්ධන

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.