අපි සාර්ථක වුණේ පාම් ඔයිල් ව­ලින් | සිළුමිණ

අපි සාර්ථක වුණේ පාම් ඔයිල් ව­ලින්

පාම් ඔයිල් වගාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත් වැවිලිකරුවෙක් වන කළුතර ප්‍රදේශයේ සමන්ත කහටපිටිය ඔයිල් පාම් පිළිබඳ වගාවෙන් තමා දියුණු වූ ආකාරය පිළිබඳ අදහස් දැක්වූයේය.

‘‘ශ්‍රී ලංකාවට මුලින්ම පාම් ඔයිල් වගාව හඳුන්වා දුන් කාලයේදීම අපි පාම් ඔයිල් වගාව වෙත යොමු වෙන්න තීරණය කළා. භෝගයක් වශයෙන් දේශීය මෙන්ම අන්තර්ජාතික වෙළඳපොලේ ඇති අවස්ථාවන් සමඟ සැසඳීමේදී එයින් රටේ ආර්ථිකයට සිදුවන ප්‍රතිලාභ නිසා තමයි අපි මුලින්ම පාම් ඔයිල් වගා කරන්න තීරණය කළේ.''

වර්තමානයේදී අක්කර 216 ක පාම් ඔයිල් වගා කරන කහටපිටිය මහතා සිය වගා කටයුතු ආරම්භ කරන්නේ අඛණ්ඩව විවිධ පර්යේෂණ සිදු කර ප්‍රතිඵල තහවුරු කර ගැනීමෙන් පසුවයි. මෙහිදී කළුතර ප්‍රදේශයේ දේශගුණික තත්ත්වය යෝග්‍ය වූ බව ඔහු පැවැසුවේය. ඔහුගේ පැහැදිලි කිරීම් අනුව පාම් ඔයිල් පිළිබඳව විශ්වාසනීය තහවුරු කිරීමක් ඔහු කළේය."පාම් ඔයිල් වගාව සම්බන්ධයෙන් විවිධ දුර්මත නිර්මාණය වී තිබෙනවා. මේ දුර්මත දුරුකිරීම සඳහා අපි ගම්වාසීන් දැනුවත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒවගේම මේ සෑම වගා කටයුත්තක්ම කෙරෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතිය මතයි. අද දුර්මත බොහෝමයක් පහව ගිහිල්ලා. විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිලාභ ගැන කතා කළොත් පාම් ඔයිල් වගාවෙන් තේ හෝ රබර්වලින් ලැබෙන ආදායම මෙන් තුන් ගුණයක පමණ ආදායමක් ලැබිය හැකියි. මේ නිසා ඔයිල් පාම් සේවකයෙක්ගේ වේතනය ඉතා ඉහළයි. සුළු පරිමාණ වැවිලි සමාගමක් වශයෙන් දැනටමත් පාම් ඔයිල් වගාව ඔස්සේ ඉහළ සේවයක් කළ හැකියි කියලා මං හිතනවා.''

හෝමාගම කුරගල කන්ද ප්‍රදේශයේ වගා කටයුතු කරන උපුල් වික්‍රමආරච්චි මහතා පාම් ඔයිල් වගාව නිසා ස්වොත්සාහයෙන් දියුණු වූ වැවිලිකරුවෙකි. ඔහු පවසන ආකාරයට පාම් ඔයිල්වගාව සම්බන්ධයෙන් ඔහු පළමුව දැනුවත් වූයේ 2004 වසරේදී මැලේසියාවේ සිදුකළ සංචාරයකින් අනතුරුවයි.එතැන් පටන් හැකි හැම අයුරකින්ම මේ පිළිබඳව සොයා බලන උපුල් මහතා ඒ සඳහා පළමු පියවර තබන්නේ පොල් පර්යේෂණ ආයතනයේ ආචාර්ය ජයන්ත ගුණතිලක මහතාගේ මඟ පෙන්වීමෙන් පසුවයි. ඒ අනුව හෙක්ටයාර 10 ක වගා කටයුතු ආරම්භ කළේය. තම සාර්ථකත්වය පිළිබඳ ඔහු අදහස් දැක්වූයේ මේ අයුරිනි.

‘‘පාම් ඔයිල් වගාවට පැහැදිලි අනාගතයක් තිබෙනවා. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් දැවැන්ත කර්මාන්තයක්. අපිට හැකියාව තිබෙනවා නිසි ක්‍ර‍මවේදයක් ඇතිව තිරසාරාත්මක ආකාරයට පාම් ඔයිල් වගාව ව්‍යාප්ත කරන්න. නිසි ක්‍රමවේදයක් නොමැති පාම් ඔයිල්නෙවෙයි කිසිදු වගාවක් කරන්න බැහැ. මේ නිසා අපි සෑම විටම ක්‍රමවේදයට අනුගත වෙන්න අවශ්‍යයි.''

මොවුන් තම අත්දැකීමෙන් කටුපොල් හෙවත් පාම් ඔයිල් වගාවේ සාර්ථකත්වය හඳුනාගෙන ඇති බව අපට පැහැදිලිය. මේ නිසා දුර්මතවලට අවනත නොවී පියවරක් තැබීමට අප නොපමා වියයුතුය.

 

කැලුම් සමීිර 

Comments