කිරි ගොවියාට කිරි උතුරයි | සිළුමිණ

කිරි ගොවියාට කිරි උතුරයි

ජනතාව දියර කිරි පරිභෝජනයට යොමු කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ ද ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජන අවශ්‍යතාවයෙන් දේශීයව සපුරා ලිය හැක්කේ 15% ක් පමණ ප්‍රමාණයක් පමණි.

නව ආර්ථික වර්ධනයත් සමඟ වැඩි වන දේශීය ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා වාර්ෂිකව කිරි පිටි ආනයනය සඳහා වැය කෙරන රුපියල් කෝටි 40,000 ක පමණ ප්‍රමාණය අවම කර ගැනීම කාලීන අවශ්‍යතාවයකි.

 

සත්ත්ව පාලනය ආදි මුතුන් මිත්තන්ගේ සිට ලොව පුරා පැවැති එන්නකි. මෙය ශ්‍රී ලංකාවට ද ඈත අතීතයේ සිටම උරුම වූ කර්මාන්තයකි . ආහාර සුරක්ෂිතතාවය සඳහා වන දායකත්වය මෙන්ම ජීවනෝපාය සැපයෙන මාර්ගයක් වශයෙන්ද පශු සම්පත් ක්ෂේත්‍රයට දේශීය ආර්ථිකයෙහි වැදගත් ස්ථානයක් හිමි වේ.මෙහිදී ප්‍රධාන තැනක් හිමි වන්නේ මී ගව හා එළ ගව කර්මාන්තයටයි. මීට අමතරව කුකුළු ,එළු , හා සුකර පාලනය ද ව්‍යාප්තව පවතියි. මේ වන විට දළ වශයෙන් පවුල් මිලියනයක් පමණ සෘජු ලෙස සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ නියැළී සිටිති. මින් බහුතරයක් ග්‍රාමීය ජනතාවය.ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට සත්ත්ව පාලනය මහත් පිටිවහලක් වී ඇති අතර ජනතාවගේ නිරෝගී පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සත්ත්ව ප්‍රෝටීන ලබා දෙන ප්‍රභවය ද මෙයයි.

කිරිවල සංයුතිය

වර්තමානයේ රසයෙන් ගුණයෙන් පිරි නැවුම් එළකිරි පරිභෝජනය සඳහා ජනතාව නැඹුරු කරවීම‍ට රජය මැදිහත්ව සිටී. සත්ත්ව හා ශාක ආහාර අතරින් ශරීරයට අවශ්‍ය පෝෂණය සපයන වැදගත්ම ආහාරයක් ලෙස එළකිරිවලට සුවිශේෂී ස්ථානයක් හිමි වීම මීට ප්‍රධානතම හේතුව වෙයි. කිරි යනු ජලය හා ඝන ද්‍රව්‍ය සම්මිශ්‍රණය වීමෙන් සෑදුනු සංකීර්ණ මිශ්‍රණයකි.

කිරිවල කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ. ප්‍රෝටීන, ඛනිජ ලවණ, විටමින් හා එන්සයිම මිශ්‍රව දියර ලෙස පවතී. මේ අනුව එළ කිරි විටමින් ඒ, බී ,ඩී හා කේ වලින් අනුනය.

මව්කිරි බී අවසන් වීමෙන් පසු වැඩෙන දරුවන්ට ආහාර ආදේශකයක් ලෙස ද ළමයින්ගේ වර්ධනයට හා අමතර ශක්ති ජනනයට පෝෂ්‍යදායක ආහාරයක් ලෙසද එළ කිරි සැලැකෙන අතර දියර ගතියෙන් යුක්ත වීම හේතුවෙන් බාල, මහලු, රෝගී කාටත් සුදුසු ස්වභාවික පානයකි. මේ නිසා රජය දියර කිරි ප්‍රචලිත කිරීම මෙන්ම කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විශේෂී දායකත්වයක් සපයයි.

ගව පාලන කලාප

ගව පාලනය රටපුරා විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව තිබෙන අතර එළ ගව හා මී ගවයින්ගෙන් 70% ක් පමණ වියළි කලාපයේත් 30% තෙත් කලාපයේත් ව්‍යාප්තව ඇත. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කලාප ගණනාවක් ඇති අතර කඳුරට ,මැද රට , පොල් ත්‍රිකෝණය,වියළි කලාපය, යාපනය හා අන්තර් කලාප ලෙස මේවා වෙන් වශයෙන් හඳුනා ගැනේ.

වර්තමානයේ කිරි එළදෙනුන් තුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් හා මී දෙනුන් අසුදහසකට වැඩි සංඛාවක් කිරි නිෂ්පාදනයට දායක කරගෙන ඇති බව දත්ත හා ලේඛන අනුව හඳුනාගත හැකිය.

ජනතාව දියර කිරි පරිභෝජනයට යොමු කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ ද ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජන අවශ්‍යතාවයෙන් දේශීයව සපුරා ලිය හැක්කේ 15% ක් පමණ ප්‍රමාණයක් පමණි. නව ආර්ථික වර්ධනයත් සමඟ වැඩි වන දේශීය ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා වාර්ෂිකව කිරි පිටි ආනයනය සඳහා වැය කෙරන රුපියල් කෝටි 40,000 ක පමණ ප්‍රමාණය අවම කර ගැනීම කාලීන අවශ්‍යතාවයකි. ඒ සඳහා දේශීය නිෂ්පාදනයන්හි ගුණාත්මක බව හා නිෂ්පාදනය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණකි.

ගව පාලනයේ ප්‍රතිලාභ

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයෙන් 85% ක් ලැබෙන්නේ සුළු පරිමාණ කිරි ගොවියන්ගෙනි . එහෙයින් මේ කිරි ගොවීන් මුහුණ දෙන ගැටලු මඟහරවා ඔවුන් දිරිමත් කිරීමට ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය කඩිනමින් පියවර ගනිමින් සිටියි. මේ අනුව කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ කිරිවල ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ වැඩ සටහන පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කර ඇත. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 45 කි. මෙහිදී කිරි ලීටර 10 ට නොඅඩු දෛනික කිරි නිෂ්පාදනයක් පවතින කිරි ගොවිපළ සදහා 50% ක රජයේ දායකත්වය යටතේ රුපියල් 60,000 ක උපරිමයකට යටත්ව ආධාර ලබා දෙයි.

උසස් නිෂ්පාදනය සඳහා මැදිහත් වෙමින් උසස් ආරයේ කිරි ගවයෙකු ලබා දී, ගව ගාලක් ඉදි කිරීම ,ජීව වායු ඒකක ඉදිකිරීම, කිරි දෙවීමේ යන්ත්‍ර ලබා දීම ආදී පහසුකම් සැපයේ.

පළාත් අභිජනන මධ්‍යස්ථාන

ගවයන්ට නැවුම් ගුණාත්මක ආහාර ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයමින් තෘණ වගා සංවර්ධනයට අවශ්‍ය පහසුකම් ද සැලැසීමට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය මැදිහත්ව ක්‍රියාත්මකව සිටින අතර කුඩා පරිමාණ කිරි ගොවිපළ 350 ක් රට පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ද ප්‍රතිලාබ ලබා දීමට පියවර ගෙන ඇත .

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට උසස් ආරයේ කිරි දෙනුන් රටපුරා ව්‍යාප්ත කිරීම සඳහා පළාත් මට්ටමින් අභිජනන ගොවිපළ පිහිටුවීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කරමින් මේ වසරේ පමණක් අභිජනන ගොවිපළ 200 ක් පිහිටුවීමේ සැලැසුමක් දියත් කර ඇත. මේ සඳහා රුපියල් මිලියන 45ක් වෙන්කර තිබේ.

සත්ත්ව අභිජනන ව්‍යාපෘතිය යටතේ මිල්කෝ සමාගමේ ස්වයංපාලිත කිරි ගොවි සමිතිවල කිරි ගොවීන්ට අයත් කිරි ගොවිපළවල සත්ත්ව ආහාර සැපයුම ස්ථාවර කිරීමින් තෘණ සංරක්ෂණය කිරීම හා දිරිගැන්වීම සඳහා ප්‍රතිලාභින් පනස් දෙනකු වෙත අවශ්‍ය උපකරණ බෙදාදෙමින් එක් කිරි ගොවියකුට රුපියල් 100,000 ක මුදලක් ලබා දීමට පියවර ගැනේ. ඒ සඳහා සමස්ත ප්‍රතිපාදන මුදල රුපියල් මිලියන 5කි .

කිරි ගොවියා සහ දිළිඳුකම

දියර කිරි නිෂ්පාදන ඉහළ නැංවීම මෙන්ම දිළිඳුකම දුරලීමේ අපේක්ෂාවෙන් කාන්තා මූලික පවුල් ඒකක වෙත කිරි ගවයින් ලබා දීමේ ව්‍යාපෘතියක් නව වසරේ යාපනය, කිලිනොච්චිය කුරුණෑගල කළුතර, පොලොන්නරුව, මොනරාගල, රත්නපුරය, මාතලේ, මඩකලපුව සහ මාතර දිස්ත්‍රක්කයන්හි ක්‍රියාත්මක කර ඇත.

ආණ්ඩුවේ 50% ක දායකත්වය යටතේ රුපියල් 60,000 ක් උපරිමයකට යටත්ව ප්‍රතිලාභීන් 100 ක් වෙත මේ ප්‍රතිලාබ පිරිනැමේ.

තවදුරටත් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් උසස් ආරයේ කිරි දෙනුන් ඕස්ට්‍රේලියාවෙන්, ඉන්දියාව හා පකිස්තානය යන රටවලින් ගෙන්වා ඒ ඒ දේශගුණයට ගැළපෙන අයුරින් කිරි ගොවීන් වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

මෙසේ ගෙන්වන එක් කිරි එළදෙනකුගේ වටිනාකම රුපියල් ලක්ෂ හතරක් පමණ වෙයි. මේ මුදලෙන් සියයට පනහක් රජය මඟින් දරන අතර ඉතිරි 50% කිරි ගොවියා දැරිය යුතුය.

 

මේ එක් දෙනකගෙන් කිරි ලීටර් විස්සක් පමණ දිනකට ලබා ගැනීමේ හැකියාව පවතී. මේ කිරි දෙනුන්ගේ තෙවන පරම්පරාවේ පැටවුන් සුළු පරිමාණ කිරි ගොවීන් වෙත ලබා දීමේ සැලැසුමක් ද පවතී. මේ සැලැසුම දීප ව්‍යාප්ත කිරීම රජයේ අභිලාෂය වී තිබේ. 

චන්ද්‍රිකා පෙරේරා   

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.