අද දකින බොහෝ නැටුම් ජිම්නා­ස්ටික් වගෙයි | සිළුමිණ

අද දකින බොහෝ නැටුම් ජිම්නා­ස්ටික් වගෙයි

 භරත නාට්‍ය කලාව ලෙහෙසියෙන් කෙනකුට ප්‍රගුණකළ හැකි කලාවක් නොවේ. භාරතයෙන් අපට ලැබුණු උසස් නර්තන කලාංගයක් වන මේ නර්ථන සම්ප්‍රදාය නිසිලෙස ප්‍රගුණ කළ ශිල්පීන් ඇත්තේ බොහොම අතළොස්සක්.ඒ අතරින් ජයත කරුණාරත්න අපේ රටට ආඩම්බරයක් ගෙන දෙන කලාකරුවෙක් යැයි හැඳින්වීම අති‍ශයෝක්තියක් නොවේ. ඔහුගේ නර්ථන කෞශල්‍යය භාරතයේ ශිල්පීන්ට පවා අභියෝගකළ හැකියි.ඒ නිසාවෙන්ම පසුගියදා ඔහු භාරතයේදි සම්මානයෙන් පිදුම් ලැබීය.

• ඔබ පසුගියදා ඉන්දියාවේදි සම්මානයකින් පිදුම් ලැබූවා..

පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නගරයේදි ප්‍රසංගයක් පැවැත්වුණා. එය පැවැත්වුණේ ගාන මුතුන් ප්‍රිය රංග විද්‍යාලයේදි. එහිදී මෙරට භරත නාට්‍ය කලාවට කරන සේවය අගයා 'නාට්‍ය භූෂණ 'ගෞරව නාමයට අමතරව 'නාට්‍යකලා ඡූඩාමණී' ගෞරව නාමය පුද කළා.ලංකාවේ පනී භාරත නර්ථන ශිල්පියාගෙන් පසුව මේ සම්මානය හිමි වු එකම ලාංකික නර්ථන ශිල්පියා මමයි.

• එම සම්මානය ඔබට හිමි වුයේ භරත නාට්‍ය කලාව වෙනුවෙන්. කොහොමද භරත නාට්‍ය කලාවට යොමුවුයේ.

ලංකාවේ පළමුවැනි සිංහල භරත නාට්‍ය ශිල්පියා මමයි.ඒ ගැන නිහතමානී සතුටක් තිබෙනවා.1984 ජාතික තරුණසේවා සභාවේ බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයෙන් උඩරට නැටුම්,රබන් කරකැවීම ආදී නර්ථන ශෛලීන් හදාරා රබන් 14ක් එකවර කරකවා ලංකාවේ වාර්තාවක්ද තැබුවා. එයට අමතරව බටහිර රංගනය කාන්ති රංචාගොඩ මහත්මිය යටතේත් ස්වීඩන් ජාතික කේ.මයිකල් ගුරුතුමා යටතේත් හැදෑරුවා.ඔය කාලයේදි ලාෆිර් සහීඩ් කියන මුස්ලිම් ගුරුවරයා හමුවෙනවා. එතුමා යටතේ භරත නාට්‍ය කලාවට අත්පොත් තබනවා.පසුව භරත චූඩාමනී ශ්‍රීමතී වසන්ති මහත්මිය යටතේ වසර පහක් භරත නාට්‍ය හැදෑරුවා.

• ඔබ ගුරුවෘත්තියට බැඳෙන්නේ ඉන් පසුව

ඔව්. ජාතික නැටුම් සංගීත යොවුන් ලලිත කලාවේදී ඩිප්ලෝමාව අවසන්කර රජයේ ගුරු වෘත්තියට පිවිසෙනවා. පළමු පත්වීම ලැබෙන්නේ මගේ ගම වන කුලියාපිටිය ප්‍රදේශයට. එහි පාසල් දෙකක සේවය කරනවා.ඉන් පසු කලා ක්ෂේත්‍රයේ අවශ්‍යතාව මත වැල්ලවත්ත ලුම්බිණි බාලිකා විදුහලට මාරුවෙනවා. එහි කලක් සේවයකර වැඩිදුර නර්ථනය හැදෑරීමට ඉන්දියාවට යෑමට ගුරු වෘත්තියෙන් සමුගන්නවා.

• නර්ථනයට අමතරව ඔබ රංගනයටත් දක්ෂයි..

‍ නර්තනයට අමතරව 1989සිට ටෙලිනාට්‍ය රංගනය හා චිත්‍රපට නැටුම් අධ්‍යක්ෂණයට යොමුවුණා. ලොක්කෙ මාමා, අදුකොල, වෙල්ලස්සේ දිසා ටෙලි නාට්‍යවල හා සාජන් නල්ලතම්බි, සුරපුර කන්‍යාවි, හෙන්රි ජයසේන මහතාගේ තවත් උදෑසනක් වේදිකා නාට්‍යයේ නැටුම් අධ්‍යක්ෂණය කිරීමත් කළා. ඔය කාලෙදි තමයි ගිරාගම රජයේ සෞන්දර්ය ගුරු විද්‍යාලයේ ගුරු පුහුණුව නිමා කර 1989 දි ජයසංක රංග පදනම ආරම්භ කළා.

• ගුරු වෘත්තියෙන් සමුගෙන පූර්ණකාලීනව නර්ථනය පමණක්ම තෝරාගන්නට හේතුව

රජයේ ගුරු වෘත්තියෙන් සමුගත්තාට ඉන්දියාවේ සිට පැමිණි පසු ටවර් රඟහල පදනමේ සරසවිපාය සෞන්දර්ය ආයතනයේ භරත නාට්‍ය ගුරුවරයා ලෙස වසර විස්සක් සේවය කරනවා. ඔය කාලයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ භාහිර කථිකාචාර්යවරයකු ලෙසත් සේවයකළා.

•'ජයසංක රංග පදනමෙන් ඔබ සිසුන් විශාල පිරිසක් කලා ක්ෂේත්‍රයට දායාද කළා.

ජයසංක නර්ථන පදනම නවක නර්ථන ශිල්පීන්ට අතදෙන නර්ථන පාසලක් වගෙයි. කුලියාපිටිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, මහනුවර ආදි ප්‍රදේශවල නර්ථන පන්ති පවත්වාගෙන යනවා. භරත නාට්‍ය ක්ෂේත්‍රයේ මගෙන් ඉගෙනගත් සිසුන් 150ක් පමණ අද වන විට විශාරද උපාධිය ලබා ජාතික නැටුම් ක්ෂේත්‍රයට එකතු වී සිටිනවා. ශ්‍රව්‍යාබාධිත සිසුන් 23ක් එකවර සහභාගිකරගෙන ලෝකයේ පළමු වතාවට ප්‍රසංගයක් පැවැත්වුවා. ලංකාවේ පළමු පිරිමි විශාරදවරයා මගේ සෙවණේ ඉගෙනගත් සිසුවෙක්. ඒ ‍වගේම ළාබාලතම භරත නාට්‍ය ශිල්පියාත් මගෙන් නර්ථනය හදාරන සිසුවෙක්. දැනට අරන්ගේත්‍රම් ප්‍රසංග 98ක් පවත්වා තිබෙනවා. • දශක පහකට ආසන්න කාලයක් භරත නාට්‍ය ශිල්පියකු වන ඔබට නර්ථනයේදි අමතක ‍කළ නොහැකි අද්දැකීම් රැසක් ඇති?

මගේ කලා ජීවිතයේ අමතක නොවන සන්ධිස්ථාන දෙකක් තිබෙනවා. ඒ යුද වාතාවරණ පැවැති සමයේ සාමයේ සහජීවනයේ අවශ්‍යතාව කියන්නට 'මීනා' නාට්‍ය කුරවංජිය වේදිකාගත කිරීම සිංහල සහ ද්‍රවිඩ භාෂා දෙකෙන්ම.අනෙක් අවස්ථාව පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත දො‍ළහක් තෝරාගෙන නර්ථන ශෛලීන් පහක් අනුගමනය කරමින් 'ඉන්ද්‍රභානි' ප්‍රසංගය පැවැත්වීම. ඒ 2015. නොවැම්බර් 25. එදා අමරදේව ශූරීන් 'ජයත මගේ ගීත නොමරා රසය වැඩි කොට වේදිකාව මත චිත්‍රණය කළා' යනුවෙන් කළ ප්‍රශංසාව මගේ ජීවිතේට ලැබුණු සම්මානවලට වඩා වටිනවා.

• වර්තමානය වන විට විවිධ නර්ථන ශෛලීන් තිබෙනවා.ඒ අතරින් භරත නාට්‍ය ශෛලියේ විශේෂතා තිබෙනවාද?

ගොඩක්ම තියෙනවා. දැන් නටන නැටුම් සංගීතය නැතුව බැලුවොත් ජිම්නාස්ටික් වගේ. නමුත් භරත නාට්‍ය කියන්නේ මුළු ශරීරයෙන්ම අභිනය පෙන්වමින් කරන නර්ථනයක්.

කෙටියෙන්ම කියනවනම් භරත නාට්‍ය යනු රූපලාවන්‍යාගාරයක් බඳුයි. මෙහි ඕනෑම කෙනකුගේ රුව වර්ධනයට අවශ්‍ය සියලුම ව්‍යායාම් තිබෙනවා. භරත නාට්‍යවල නව රසයන් කරන්නේ මුහුණෙන්. ඇස් දෙක, කම්මුල්, නිකට, බෙල්ල ආදියෙන්.මෙයින් කම්මුල් ආදියට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. කම්මුල් වැහැරීම අඩු වෙනවා, වයස පාලනය වෙනවා, මානසික ඒකාග්‍රතාව ඇතිකරනවා. ඉන්දියාවේ ගැහැනු ළමයෙක් භරත නාට්‍ය ප්‍රගුණ කළා කියන්නෙ දෑවැද්දක් දෙනවා හා සමානයි. මේ කලාවෙන් ඕනෑම පුද්ගලයකුට අධ්‍යාත්මික මෝක්ෂය කරා යා හැකියි.

• දශක පහකට ආසන්න කාලයක් නර්ථන ක්ෂේත්‍රයේ රැඳී සිටියත් ඔබ තවමත් අවිවාහකයි?

දැන්නම් මගේ විවාහ වීමේ වයස ඉක්ම යමින් තිබෙන බවයි මට හැ‍ඟෙන්නේ. තරුණ කාලයේ ආදර සම්බන්ධතා නොතිබුණා නෙවෙයි. එහෙත් ඒවා විවාහය දක්වා දුර ගියේ නෑ.ඒ ආදරයේ විරහව මිහිරක් සේ විඳිමින් අම්මාත්, තාත්තාත් බලාගෙන හුදකලා ජීවිතයක් ගත කරනවා.

 

 

Comments