ඔහු මගේ පළමු පෙම්වතා නෙමෙයි | සිළුමිණ

ඔහු මගේ පළමු පෙම්වතා නෙමෙයි

ආදරය ගින්දරක්'කියන්නේ ඇයගේ පළමු ටෙලි නිර්මාණ අත්දැකීමයි. ඒ හරහා ප්‍රේක්ෂකයන්ගේ හදවතේ අමතක නොවන චරිතයක් වෙන්න ඇයට වාසනාව උදා වුණා. පසුගිය වසර ඇයට සුවිශේෂි වසරක් වුණා. ඒ විශේෂත්වයට හේතුව රංගන ජිවිතයේ අලුත් තොරතුරුත් දැන ගන්න අපි ඇයට කතා කළා. ඇය දුෂෙනි මියුරංගි.

මොනවද මේ දවස්වල වෙන්නේ?

රවීන්ද්‍ර විජේරත්නගේ සහ තරංග දිසානායකගේ 'රැජිනියෝ'ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා.සාවරියා කියලා අලුත් ව්‍යාපාරයකුත් පටන් ගත්තා.

දුෂෙනි ඔබ පසුගියදා 'miss world sri lanka'කිරුළ දිනාගත්තා?

ඔව්. ගිය අවුරුද්දෙදී මට ඒ කිරුළ දිනාගන්න ලැබුණා.

හැබැයි සතුටක් වගේම දුකක් හිතේ තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. ඇත්තද ඒ කතාව?

ඔව්. ලොකු සතුටක් තියෙනවා.නමුත් චුටි දුකක් තියෙනවා. අද වනවිට ලංකාවේ පැජන්ට්ස් ඕන තරම් තියෙනවා.ඒක නිසා ලෝක රූ රැජින,විශ්ව රූ රැජින කියන ප්‍රධාන පැජන්ට්ස් දෙකට ලැබෙන්න ඕන අවධානයවත් අද ලැබෙන්නේ නැහැ.

ඔබට එදා ලැබෙන්න ඕන අවධානය ලැබුණේ නැහැ කියලද කියන්නේ ?

ඇත්තටම ඔව්. මිනිස්සුන්ගෙන් ලැබෙන්න ඕන වෙලාවේදී ඒ දේ ලැබුණේ නැහැ කියලා මම හිතන්නේ.

මේ තරගාවලියට ඔබව යවන්න ලොකුම උවමනාව තිබුණේ කාටද?

මගේ තාත්තට ලෝක රූ රැජින කියන්නේ ලෝකේ තියෙන ලොකුම පැජන්ට් එක. ඒක නිසා තාත්තට ඒ කාලේ ඉදන්ම ආසාවක් තිබුණා.ඒ දේ නිසාමයි මමත් සහභාගී වෙන්න තීරණය කළේ. ඒ වෙනුවෙන් මම මගේ කලා කටයුතු සියල්ලම නතර කළා.

කිරුළත් එක්ක ඔබට වගකීම් රැසක් ඉටු කරන්න ඇති නේද?

ඔව්. මගේ ව්‍යාපෘතිය විදියට මම කරන්නේ අඩු අදායම් ඇති ළමයින්ට සහ කාන්තාවන්ට සත්කාර කිරීම. තව ව්‍යාපෘතියක් මාර්තු මාසයේදී පටන් ගන්න නියමිතයි.

දුෂෙනි රංගනයට පිය නැගුවේ කොහොමද ?

ආදරය ගින්දරක් ටෙලි නාට්‍ය හරහා. හැබැයි මම මුලින්ම ක්ෂේත්‍රයට ආවේ 2015 ITN එකේ අවුරුදු කුමරියත් එක්ක. තරගයේ අන්තිම 12දෙනා අතරට ආවට පස්සේ තමා මාව ලලිත් මහත්මයට හම්බවුණේ. එතැනදී තමා මට ආදරය ගින්දරක් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

රංගන ශිල්පිනියක් වනවා කියන හීනය දුෂෙනි ට තිබුණේ නැහැ නේද?

ඔව්. පොඩි කාලේ ඉදන් එහෙම හීනයක් තිබුණේ නැහැ. හැබැයි අද වන විට මාව නිළියක් විදියට පිළිඅරගෙන තියෙනවා කියලා මම හිතනවා.

ගමේ ඉදන් කොලඹ ආව දුෂේනිට හරි ගියාද.. වැරදුනාද?

මම හිතන්නේ ඇත්තටම හරි ගියා. කොළඹ ආව එකෙන් හොඳක් වුණා. රංගන ක්ෂේත්‍රයට එනවා කියන්නෙත් එක්තරා පිනක්. මිනිසුන්ගේ ආදරේ කියන එක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි. ඒ විදිහට ආදරේ ලබන්න මටත් පිනක් තිබුණා. මගේ අධ්‍යාපන කටයුතුවල පොඩි මගහැරීමක් සිදු වුණා. මොකද මේ දේවල් එක්ක ඉන්න නිසා. හැබැයි මම දැන් ඒ දේවල් පුළුවන් වෙලාවට කරගෙන යනවා. ගමේ ඉදන් කොළඹ ආපු එෙකන් මගේ ජිවිතේ වෙනසක් වුණා.

ක්ෂේත්‍රයට එන අලුත් නිළියන්ට වැඩි කලක් යන්න කලින් ගොසිප් කියන දේවල් හැදෙනවා. දුෂෙනිටත් එවැනි අත්දැකීම් ඇති නේද?

මං ගැන ගොසිප් හැදිලා නැහැ. මම ගොස්සිප්වලට මගේ නම ගාවගන්න කැමති නැහැ.

දුෂෙනි පෙම්වතියක් කියන කතාව නොරහසක්. දැන් ඉන්න පෙම්වතා දුෂෙනි ගේ කීවෙනි පෙම්වෙතාද ?

පළමු පෙම්වතා නෙමෙයි.

ආදරයක් ලැබිලා තියෙන මොහොතේ විවාහය ගැන හිතුවේ නැද්ද?

තාම නැහැ. මට තව ජිවිතේ අරමුණු ගොඩක් තියෙනවා. අධ්‍යාපන වැඩකටයුතු, ව්‍යාපාර වැඩකටයුතු ඉවර කරගන්න ඕන. ඊට පස්සේ තමා විවාහයක් ගැන හිතන්නේ. දැන්ම විවාහයක් ගැන හිතන්නේ නැහැ.

ඔබට මේ වනතෙක් ලැබුණු නිර්මාණ ගැන සතුටු වෙනවද?

ඔව්. මම කරපු නිර්මාණ ගණනත් එක්ක නෙමෙයි මං කතා කරන්නේ. හැබැයි මම හිතනවා මගේ ලස්සනින් සහ මගේ තියෙන දක්ෂතාවයෙන් ලංකාවේ සිනමාවට හරි ටෙලි නාට්‍ය කලාවට හරි වැඩක් ගන්න පුළුවන් කියලා. මම හොඳ ටෙලි නාට්‍ය කළා. ආදරය ගිනදරක් මගේ පළවෙනි ටෙලි නාට්‍යය. මට හොඳ ගමනක් දුන්නේ ඒ ටෙලි නාට්‍යයෙන්. ඒ ගැන සන්තෝස වෙනවා සහ ආඩම්බර වෙනවා. මම භාර ගත්ත හැම ටෙලි නාට්‍යයකින්ම සැහීමකට පත් වුණා.

 

 
 

Comments