දෙවෙනි ඉනි­මෙන් ජය­ග්‍ර­හ­ණය කාටද? | සිළුමිණ

දෙවෙනි ඉනි­මෙන් ජය­ග්‍ර­හ­ණය කාටද?

‘දෙවෙනි ඉනිම’ විසින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ එක් ප්‍රශ්නයකට සාර්ථක පිළිතුරක් සොයාගෙන ඇත. එනම් නළුනිළියන්ගේ කාර්ය බහුලත්වය හා ඔවුන් විසින් දොඩංගොඩ බෙදාගැනීමයි. ඒ නිසා බොහෝ නළුනිළියන් අතින් චරිතයකට හෝ පිටපතකට සාධාරණය ඉටු නොවේ. එහෙත් දෙරණ නාලිකාව විසින් අලූතින් සොයාගත් නළුනිළියන් යොදාගැනීම නිසා ඔවුන්ගේ කැපවීම පූර්ණකාලීනව මෙන් නිර්මාණය සඳහා යොදාගැනීමට හැකි වී ඇත. එය නිර්මාණයේ ගුණාත්මක භාවය ඉහළයාමට හේතු වී ඇත. මෙය වර්තමාන ටෙලි ක්ෂේත්‍රයේ අර්බුදයකට සාර්ථක විසඳුමක් දී ජයලබාගත් මොහොතකි.

බටහිර පහළ වූ ‘නවල්ස්’ නම් නව ප්‍රබන්ධ විශේෂය අපේ රටේ ජනතාවගේ දියුණුවට හේතුවන දේ ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍යයක් වශයෙන් යොදාගැනීමට පියදාස සිරිසේන මහතා උත්සාහ කළේය. එනම් බටහිර පහළ වූ නිසා පියදාස සිරිසේන මහතා ‘නවල්ස්’ ප්‍රතික්ෂේප කළේ නැත. එහෙත් තමාගේ වුවමනාවට අනුව එය යොදාගැනීමට උත්සාහ කළේය.

එසේ ම මේ යුගයේ අපට ටෙලිනාට්‍ය මාධ්‍යයක් වශයෙන් සපුරා ප්‍රතික්ෂේ කිරීමට නොහැකිය. ‘මෙගා’ හෝ වෙනත් වචනයක් යොදා සහමුලින් ම බැහැර කිරීමට නොහැක. ඇත්තටම කියනවා නම් අද පුවත්පත් හෝ වෙන කිසිදු මාධ්‍යයකට වඩා ජනතාවට බලපාන මාධ්‍යය බවට ටෙලිනාට්‍ය පත්ව ඇති බවක් පෙනේ. ඒ අනුව ජනතාව නිදි කරන ටෙලි නාට්‍ය කලාවක් වෙනුවට ජනතාව අවදි කරන ජනතාව නිර්වින්දනය කරන ටෙලි නාට්‍ය වෙනුවට ජනතාව සංවේ දී කරනු ලබන ටෙලි නාට්‍ය කලාවක් පිළිබඳව නිර්මාණකරුවන්ට සිදුව ඇත.

ඒ සමඟ ම සිංහල හඬ කවන ලද හින්දි දෙමළ කොරියානු සහ අනෙකුත් මෙගා ටෙලිනාට්‍යවලට මුහුණ දීම ද අපේ නිර්මාණකරුවා මුහුණ පාන බරපතල අභියෝගයකි.ටෙලි නාට්‍ය වනාහී විචාර කළ යුතු දෙයක් වශයෙන් අපේ අය විශේෂයෙන් අපේ බිරින්දෑවරු හෝ දියණිවරු නොසලකති. ඔවුන් සලකන්නේ එය වසඟ වී නැරැඹිය යුතු නාටක වශයෙන් පමණි. හිතත් ඇහැත් අහකට ගැනීමට නොහැකි ලෙස දැපෙන වැටෙන ටෙලි නිර්මාණ ඇත්නම් ඔවුන්ට ඒවා ‘නාට්‍ය’ වේ. ටෙලිනාට්‍යකරුවාට ඇති අභියෝගය ද එයමය. මෙවන් පේ‍්‍රක්ෂක පිරිසක් ඇති ‘දෙලොවටම වැඩදායී’ යමක් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්නයි.

ඒ සමඟම කිවයුතු තවත් දෙයක් වන්නේ ජනතාව වැඩිම සතුටක් ලබන්නේ තමන්ට ඉතාම විපත්තිදායක දෙයින් බවයි. හෙරොයින් ඉතා ම විපත්තිදායක වන අතර ඉන් ලැබෙන ආස්වාදය ද ඉහළ යැයි සිතයි. කුඩා ළමයින් ඉතාම සතුටක් ලබන බිස්කට්, රසකළ කිරි ආදී බොහෝ ආහාර ඔවුන්ගේ සෞඛ්‍යයට හානිකරය. ඒ අනුව තමන්ට ඉතා ම විපත්තිදායක දෙයින් සැනසීමක් ලබන්නට හුරුව ඇති මිනිසාට ඔහුට යහපත් වන දෙයකින් සැනසීම සතුට ලබාදීම ටෙලිනාට්‍යකරුවා මුහුණ දෙන අභියෝගයකි. අපට ටෙලිනාට්‍ය ගැන කතා කිරීමට සිදුවන්නේ එවන් සන්දර්භයක් තුළය.

මේ අනුව මෑත කාලය තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති ‘සිඳු’ සහ ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍ය පිළිබඳව කතා කිරීමට අදහස් කරමි. මේ ටෙලිනාට්‍ය දෙකම සමන් එදිරිමුණිගේ රචනාවන් වේ. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ටෙලි නිර්මාණ සඳහා වන තරගයට සාර්ථක ව මුහුණ දී ජයගත් ටෙලිනාට්‍ය වශයෙන් ද මේ නිර්මාණ සැලකිය හැකි වේ. ඒ සම්බන්ධ ගෞරවය රචකයාට පමණක් නොව එහි අධ්‍යක්ෂවරුන්ට හා නාලිකාවට ද හිමි වේ. එනම් ඉමහත් මුදලක් වැය කර දේශීය මෙන් ම විදේශ වෙළඳපොළ ද අරමුණු කරගෙන නිෂ්පාදනය කරනු ලබන ඉන්දීය ටෙලිනාට්‍යවලට මුහුණ දීමට හැකි ශිල්පීය හා ගුණාත්මක මට්ටමක් මෙම ටෙලිනාට්‍යයන්හි පවතියි. එය ලබාගෙන ඇත්තේ එම ඉන්දීය හා වෙනත් ටෙලිනාට්‍ය අනුකරණය කරමින් ම නොවීම ද විශේෂ ලක්ෂණයකි.

ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් සොයන්නේ ජනතාව බැඳී සිටින තැන්ය. මේ අනුව මිනිසාගේ ආගමික ලැදියාව බොහෝ විට ස්වකීය නිර්මාණ සමඟ සම්බන්ධ කරගනු ලැබේ. ඉන්දීය ටෙලිනාට්‍යවල මෙය කැපී පෙනේ. ‘සිඳු’ ටෙලි නාට්‍යයේ දී අපේ ජනතාවගේ ආගමික ළැදියාව හා බැඳීම ටෙලි නිර්මාණකරුවා විසින් භාවිත කරනු ලැබ ඇත. කෙසේවුවත් මෙය යහපත් හා අයහපත් යන ප්‍රතිඵල දෙකම ඇති කරන්නක් විය හැකි බැවින් ඉතා සංයමයකින් භාවිත කළ යුතු ක්ෂේත්‍රයකි. ටෙලිනාට්‍ය කලාව තුළ මෙය ඉතා අසීරුය. සෝමරත්න දිසානායකගේ ‘සූරිය අරණ’ පොඩි හාමුදුරුනමක් වටා ගෙතුණු චිත්‍රපටයකි. එය උසස් නිර්මාණයක් වශයෙන් සැලකිය හැකිය. එහි මතුපිට මෙන් ම අභ්‍යන්තර කතාවක් ද ඇති බැවිනි. ටෙලිනාට්‍යක දී දුෂ්කර වන්නේ මතුපිට කතාවක් සමඟ අභ්‍යන්තර කතාවක් ද පවත්වාගෙන යාමය. දෙවිවරුන් ගැන නම් ඕනෑතරම් කලා නිර්මාණ කළ හැකිය. ඒ දෙවියන් දැක ඇති අය නැති බැවිනි. දැක ඇති අය ඇත්නම් ඉතා අඩු බැවිනි. එහෙත් භික්ෂූන්වහන්සේ එසේ නොවේ. ‘සිඳු’ විසින් සිංහල බෞද්ධ සංස්කෘතිය අවප්‍රමාණය කරන්නේ ද නැති නම් ඇති අයුරින් නිරූපනය කරන්නේ ද යන්න විමසිය යුත්තකි. මේ ගැටලු බොහෝ විට මෙගා ආකෘතිය තුළින් ද පැන නැඟේ. චැනල්වලටත් වඩා ජනතාව අපේක්ෂා කරන්නේ මෙගාය. ඔවුන්ට තමන්ගේ ජීවිතවලටත් වඩා මෙගා රසවත්ය. මේ විෂම චක්‍රයේ අපට අපේ දේ රැකගත හැකි ද? කෙසේ වුවත් මට සමන් එදිරිමුණිට දොස් කීමට නොහැකිය. ඔහු පවත්නා තත්ත්වයේ දී ස්වකීය නිර්මාණශීලීත්වය උපරිමයෙන් යොදාගනිමින් යම් යහපතක් කිරීමට උත්සාහ දරයි.

‘සිඳු’ ටෙලි නාට්‍යට පසුබිම් වන්නේ ග්‍රාමීය හා ආගමික පරිසරයකි. එහෙත් ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයට පසුබිම් වන්නේ නාගරික හා ක්‍රිකට් පරිසරයකි. එනම් බරක් හෑල්ලූවක් නැති පරිසරයක් යැයි කිව හැකිය. කඩපිල් ක්‍රිකට් පිටි ටියුෂන් කඩ ඇති පරිසරයකි.

ඇත්තමට අද අපට පාසල් පද්ධතිය ගැන පවා එතරම් සතුටු වීමට නොහැක. විදුහල්පතිවරු අධ්‍යාපනට වඩා අල්ලස් ගැනීම සම්බන්ධයෙන් ඇතැම් විට ප්‍රසිද්ධියක් උසුලති. එහෙත් එවන් පරිසරයක දී අපේ යැයි කියන සංස්කෘතික ඇගැයුම් රැගෙන යාමට රචකයා දරන උත්සාහයක් ‘දෙවෙනි ඉනිම’ තුළ දැකිය හැකිය. පියදාස සිරිසේන මහතා ද රහස් පරීක්ෂක කතා තුළට නිදහස් සටන රැගෙන ගියේය. එහෙත් මෙහි දී ද යළි ගැටලුව වන්නේ අවසාන වශයෙන් ජයග්‍රාහකයා වන්නේ ක්‍රිකට් පිත්ත ද අපේ වටිනාකම් ද යන්නයි. ක්‍රිකට්වල ජනප්‍රියත්වය හරහා සංස්කෘතික ඇගයුම් වෙතට තරුණ පරපුර සමීප කරවීමට රචකයා උත්සාහ දරන්නේ යැයි කිව හැකිය. ක්‍රිකට් පමණක් හඳුඟනන පරපුරක් තුළ කලාකරුවෙකුට එය කරන්නට සිදුවේ. එහෙත් අවසාන ප්‍රතිඵලය කුමක් විය හැකිද? කෙසේවුවත් මෙය හුදෙක් ටෙලිනාට්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. රටම හා රටේ අනාගතය පිළිබඳ ව ද ප්‍රශ්නයකි. එදා දවස ගැටගසාගැනීම උදෙසා නාලිකා විසින් සකසනු ලබන ටෙලිනාට්‍ය මගින් රටේ අනාගතය හැඩගැස්සවීමට හැකිද? නොහැකි වුවත් කලාකරුවාට එය උත්සාහ කිරීමට සිදුවේ. එහි දී ද අප වෙතින් ‘දෙවෙනි ඉනිමට’ යම් ප්‍රශංසාවක් හිමි වේ.

ඇතැම් විට පිටපතට වඩා දෙවෙනි ඉනිමේ දී එහි රඟන යෞවන යෞවනියන්ගේ ළාමකකම් මතු වේ. එනම් රචකයාගේ පරිණත බවට වඩා යෞවනියන්ගේ ළාමකකම්වලට මාකට් එකක් ඇති බව එම යෞවනියන් ද හඳුනාගන්නා අතර ඒ සඳහා වෙළෙඳ අරමුණු වෙතින් ද අනුබල ලැබෙයි. එනම් කතාවෙන් ජනප්‍රිය වන චරිත අවසානයේ කතාවටම හානිකරයි. කෙසේවුවත් ‘දෙවෙනි ඉනිම’ විසින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ එක් ප්‍රශ්නයකට සාර්ථක පිළිතුරක් සොයාගෙන ඇත. එනම් නළුනිළියන්ගේ කාර්ය බහුලත්වය හා ඔවුන් විසින් දොඩංගොඩ බෙදාගැනීමයි. ඒ නිසා බොහෝ නළුනිළියන් අතින් චරිතයකට හෝ පිටපතකට සාධාරණය ඉටු නොවේ. එහෙත් දෙරණ නාලිකාව විසින් අලූතින් සොයාගත් නළ්නිළියන් යොදාගැනීම නිසා ඔවුන්ගේ කැපවීම පූර්ණකාලීනව මෙන් නිර්මාණය සඳහා යොදාගැනීමට හැකි වී ඇත. එය නිර්මාණයේ ගුණාත්මක භාවය ඉහළයාමට හේතු වී ඇත. මෙය වර්තමාන ටෙලි ක්ෂේත්‍රයේ අර්බුදයකට සාර්ථක විසඳමක් දී ජයලබාගත් මොහොතකි. ඇත්තටම ‘සිඳ’ ටෙලිනාට්‍යයේ දී වුව ද යම් දුරකට එසේ කර ඇත. එනම් ළමා නළුනිළියන් යොදා ගැනීමයි.

සියලූ ක්ෂේත්‍ර වාණිජත්වයේ ග්‍රහණයට හසු වේ. වස විසට වුව ද වෙළෙඳ වටිනාකමක් ඇත. ග්ලියිපොස්පේට් තහනම් කළ විට හොරෙන් ගෙන්වන්නේ ඒ නිසාය. එහෙත් වාණිජ හෝ ආර්ථික වටිනාකම් ඇති සියලූ දේ මනුෂ්‍ය ජීවිතය සම්බන්ධයෙන් සැමවිටම යහපත් නොවේ. එහෙත් ඇතැම් විට අපට ඒ පිළිබඳව අවබෝධයක් නැත. නොඑසේනම් අමතක වේ.

ඇතැම් වාණිජ ව්‍යාපාර ඉදිරියට දුවන්නේ මේ අමතක වීම හා අනවබෝධය මත යැයි ද කිව හැකිය. ඒ අනුව අවබෝධය හා සිහියෙන් සිටීම උදෙසා අප විසින් අරගලයක් කළ යුතුව ඇත. එය අනුන්ගේ සිහිය පැදීමට වඩා අපේ ම සිහිය පාදාගැනීම සඳහා විය යුතුය. අනුන් දෙස බලන නිමේශයේ දී අපට අප ගැන අමතක වේ. අනුන්ව පෙන්වීම ද අපට අපව අමතක කිරීම සඳහා වාණිජ ජනමාධ්‍ය විසින් යොදන උපායකි.

කෙසේවුව ද සියලූ සිතාබැලීම් මැද වුව ද අවසාන වශයෙන් ‘සිඳු’ සහ ‘දෙවෙනි ඉනිම’ වෙත ප්‍රශංසාවක් ඉතිරි කරන්නට මට සිතේ. ඒ නිර්මාණ විසින් මගේ දරුවන් තුළ මා ගැන ඇති ආදරය ඇතැම් විට උදුරාගන්නා බව මට සිතේ. දරුවන්ට ටොපි චොකලට් දුටු විට දී ද ඇතැම් විට මව්පියන් අමතක වන බැවින් ඒ ගැන එතරම් කල්පනා කළ යුතු ද නැත.

කෙසේවුවත් මේ නිර්මාණවල රචකයාට අධ්‍යක්ෂවරුන්ට පමණක් නොව සියලු රංගන ශිල්පීන් සම්බන්ධයෙන් අප තුළ යම් හෝ ප්‍රසාදයක් ඇති බව කිව යුතුය. ‘සිඳු’ ටෙලිනාට්‍යයේ දී ඇතැම් විට පිටපතට ද එහා යමින් ඩබ්ලිව්. ජයසිරි වැනි රංගන ශිල්පීන් විසින් ස්වකීය ජීවිතයේ ඇසුපිරූ තැන් ඇසුරින් යම් ගැඹුරක් එක් කරන බව පැවසිය හැකිය. මෙම ටෙලිනාට්‍ය දෙකේම සෙසු සියලුම ශිල්පීන්ට ද ඒ හැකියාවම ඇත්නම් සැබවින් ම මේ නිර්මාණ බෙහෙවින් ම විස්මිත වනු ඇත.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.