හිතේ සංහිඳියාවට සොඳුරු සිතු­වම් කලාව | සිළුමිණ

හිතේ සංහිඳියාවට සොඳුරු සිතු­වම් කලාව

ලොවේ සියලුම පාට සිය අත් එකතු වී සොබාදහම අපූර්ව ලෙස වර්ණ ගන්වා තිබේ. ගහකොළ , ගංඟා, ඇළ දොළ, මහ මුහුද, මහ පොළොව, සතා සිවුපාවා මෙන්ම මිනිසත් බව ලැබූ අපි ද සොබාදහමට ආවේණික වර්ණයකට හිමිකම් කියමු. සොබාදහම හා බැදුණු සොඳුරු බවට ඇළුම් කරමු. වර්ණ අප ජීවිතය සමඟ ඉතා සොඳුරු ලෙස බැඳී ඇති බව සැවොම පිළිගන්නා කරුණකි.

සිතුවිලි සුමට කරන, සංවේදී බවට පත් කරන ඉවසීම හා සහනය ලබා දෙන කලාවන් අතර වර්ණ මූලික කර ගත් සිතුවම් කලාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව ඔබ දන්නවා ද? වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි දහසකුත් භාවමය හැඟීම් සිතුවමක් හරහා ප්‍රකාශ කළ හැකි වීම එයට හේතුවය. එබැවින් ඉතා සියුම් භාවමය හැඟීම් ඉස්මතු කළ හැකි මාධ්‍යයක් ලෙස ඈත අතීතයේ සිට චිත්‍ර කලාව පෙරමුණේ සිටී. ගල් යුගයේ සිට ආදි මානව ශිෂ්ටාචාර යුග වලදී පවා මිනිස් හැඟීම් ඉතා සංවේදීව ප්‍රකාශ කළ හැකි මාධ්‍යයක් ලෙසින් චිත්‍ර, සිතුවම් භාවිතා වී ඇත.

ගල් ගුහා , ලෙන් චිත්‍ර, ලී කැබලි ආශ්‍රිත සිතුවම්, ආදි මානව ඇඳුම් විලාසිතා, ගෝත්‍රික නර්තනයන් හිදී මුහුණු වර්ණ ගැන්වීම් ආදීන්ගෙන් චිත්‍ර කලාවේ ආදි ඉතිහාසය උපත ලබයි.

මිනිස් සිතක අපූර්වත්වය , කඩදාසියක හෝ කැන්වසයක සිත්තම් කරනා සිත්තරෙකුගේ චිත්ත අභ්‍යන්තරයෙන් නැගෙන හැඟීම් පිටතට නිරාවරණය වන්නේ ඉබේමය. බොහෝ විට සිත්තරා තම හැඟීම් කැන්වසයකට ගෙන විවිධ හැඩතල , රටා සායම් ගන්වමින් කරනු ලබන නිර්මාණය තවත් සිතක පහන් හැඟීමක් ඇති කරන්නට ඉවහල් විය හැකිය. නිරන්තරයෙන්ම වර්ණ හා රටා අතර මැවෙන නිර්මාණ තුළින්, සිතක චිත්ත ප්‍රීතිය, හා සහනය වර්ධනය වෙයි. එය ජීවිතය සුවපත් කරන්නට ද මඟ පෙන්වයි. එමෙන්ම මිනිස් හද ගැස්මේ රටාව චිත්‍ර නිර්මාණයන්හි ලියැවී ඇති බව එය ගැඹුරින් හදාරන්නෙකුට තේරුම් ගත හැකිය.

කෙසේ නමුත් මිනිස් සිතට සහනය ලබා දෙන , විඩා නිවන භාවනාවක් බඳු චිත්‍ර කලාව මානසිකව විඩාවට පත් වූ , එසේ නැතහොත් මානසික වියවුලට පත් වුණු රෝගී මනසක් සුවපත් කරන්නට භාවිතා කළ හැකි ඉතා අගනා ප්‍රතිකාර ක්‍රමයක් බවට පත්වී තිබීම සතුටු විය හැකි කරුණකි.

මානසික ගැටලු, මානසික රෝග සුවපත් කිරීම සදහා චිත්‍ර කලා ප්‍රතිකර්මය 1930 වර්ෂයේ දී පමණ ඇරඹී ඇති බව විශ්වාස කෙරේ. මෙහිදී යම්කිසි සන්නිවේදන ක්‍රියාවලියකට මානසික රෝගියා ලක් වේ. එමෙන්ම මෙහි නිර්මාණශීලී බවක් ද ඇත. පුද්ගල චර්යාව වෙනස් කිරීමේ හැකියාවක් ද ඇත. මේ වන විට චිත්‍ර ප්‍රතිකාර සංගම් පවා ලෝකයේ බොහෝ රටවල බිහිවී ඇත. ඇමරිකානු චිත්‍ර ප්‍රතිකාර සංගමය AATA (American Art Therapy Assosiation) නමින් හැඳින්වෙන්නේ එම සංගමයය.

ළමයින්, වැඩිහිටියන්,නව යොවුන් වියේ පසුවන්නන්, වියපත් වූවන්,කණ්ඩායම් සහ පවුල් සඳහා චිත්‍ර ප්‍රතිකාරය භාවිතා කළ හැකිය. මෙහිදී කණ්ඩායම් ලෙස සැලකෙන්නේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් , සුනාමි ආදී ව්‍යසනයන්ට ලක් වූවන්ය. පවුල් උපදේශනය සඳහා ද මෙය භාවිත කළ හැක. දරුවන් හා දෙමාපියන් අතර ගැටලු නිරාකරණයට ද චිත්‍ර ප්‍රතිකාර ක්‍රමය උපයෝගී කර ගත හැකිය. ලංකාවේ සායනික උපදේශන හා පෞද්ගලික පුහුණු මධ්‍යස්ථානයන් හි ද මෙම ක්‍රමය භාවිතා කෙරේ.

විශේෂයෙන්ම මෙම චිත්‍ර ප්‍රතිකාරය භාවිතයෙන්, කාංසාව, විශාදය, චිත්තවේග ගැටලු, අන්තර් සම්බන්ධතා ගැටලු, ස්වභාවික ව්‍යසන , ලිංගික අපයෝජන, ස්නායු ආශ්‍රිත ගැටලු,කායික ප්‍රශ්න, ප්‍රජානන ප්‍රශ්න, මතක ශක්තිය හීන වීම හා නිර්මාණාශීලී බව අඩුවූවන් ගේ මතකය ශක්තිමත් කිරීම ආදිය සඳහා ඉතාම සාර්ථක ප්‍රතිකර්ම ලබා දිය හැකිය.

මානසික රෝගයක දී මිනිසාගේ සාමාන්‍ය ක්‍රියාවලිය වෙනස්ය. භාෂාව පවා අසමානය. නිර්මාණාත්මක බව ගිලිහී යයි. මානසික රෝගියෙක් මිනිස් චිත්‍රයක් ඇඳීමේ දී එය සම්පූර්ණ නොවීම තුළ ඔහුගේ සංජානනීය ගැටලුව අවබෝධ කර ගත හැකිය. ඔහුගේ පංචේන්ද්‍රින් ව්‍යාකූලව ඇති බව මෙහි දී වඩා හොඳින් පැහැදිලි වෙයි.

චිත්‍ර ප්‍රතිකාරය සඳහා ඇඳීම, මූර්ති නිර්මාණය , බතික් කලාව ආදි විවිධ ක්‍රම අනුගමනය කළ හැකිය. මෙහි දී මෙම චිත්‍ර ප්‍රතිකාර ක්‍රම භාවිතා කරන ආකාරය ද එකිනෙකට වෙනස්ය.

1.පැන්සල භාවිත කරමින් ඇඳීමේ ප්‍රතිකාරය ( pencil)

චිත්ත වේග පාලනය කිරීම මේ මගින් සිදු වේ. පාට පැන්සල් භාවිතයේ දී නිතරම කළු පැන්සල භාවිත කරයි නම් රෝගියා විශාද ලක්ෂණ පෙන්නුම් කරනවා ද? යන්න පිළිබද සොයා බැලිය හැකි අතර ඔහුගේ සමාජ පසුබිම ද සොයා බැලිය හැකිය.

2.ඇඟිලි තුඩු වලින් පාට කිරීම ( Finger colours)

ආවේගශීලී සේවා ලාභීන්ට ඇඟිලි තුඩුවලින් පාට කිරීමට දිය යුතුය . මේ සදහා (paste colours ) ලබා දිය යුතු අතර , එමගින් චිත්තවේග සමබර වීම හා ඇතුළෘන්තයෙන් එන ඍණ සිතුවිලි පාලනය කිරීම සිදු කළ හැක.

3.දිය සායම් චිත්‍ර (Water colours)

මෙමගින් ද ඉතා පහසුවෙන් මානසික ගැටලු හඳුනාගත හැකිය.

4.කඩදාසි භාවිතය ( peper)

පත්තර, බ්‍රිසිල් බෝඩ්, වර්ණ කොල ආදිය භාවිතා කිරීම

5. පාට කූරු භාවිතය ( Wax chalk)

සංවේදී බව, විවිධ හැඟීම් ප්‍රකාශනය මගින් රෝගියා නිශ්චය කෙරේ. වැඩිපුර රතු වර්ණය භාවිතා කරනවානම් චිත්ත අභ්‍යන්තරයේ බියක් පිළිබඳව දැනගත හැකිය.

6. ( තෙල් සායම් පාට කූරු භාවිතය Oil chalk)

අවිඥාණගත ගැටළු, හැඟීම් පහසුවෙන් හඳුනාගත හැකි ක්‍රම වේදයකි

7. පෙල්ට් පෑන් භාවිතය (Felt pen)

මේ මගින් චිත්ත වේග පහසුවෙන් සමනය කර ගත හැක.

චිත්‍ර ප්‍රතිකාර ක්‍රමයේ දී වර්ණ භාවිත කිරීම ඉතාම වැදගත් කරුණක් වන අතර, උණුසුම් හා සීතල වර්ණ තෝරා ගැනීම අනුවද විවිධ නිගමනයන්ට පැමිණිය හැකිය.

1. උණුසුම් වර්ණ - රතු, තැඹිලි,කහ

2. සීතල වර්ණ - නිල්, කොල, දම්

කොල පැහැය තුළ සිතුවිලි වල ගැටළුකාරී තත්වය ද, කහ පැහැය ධනාත්මක සිතුවිලි පිළිබඳව ද කළු පැහැයෙන් නිතර නිතර වෙනස් වන ගති ලක්ෂණ හා ඍණාත්මක සිතුවිලි ද හඳුනා ගත හැකිය.

රතු පැහැයෙන් ආදරය , ආක්‍රමණශීලීත්වය ද තද නිල් පැහැය විශාදී බව, ලා නිල් පැහැය අධ්‍යාත්මික පිරිසුදු බව ද ,සුදු පැහැය අධ්‍යාත්මික පිරිසිදු ද බව ප්‍රකාශ කෙරේ.

චිත්‍ර ඇඳීම සදහා භාවිතා කරන ක්‍රම මෙන්ම ඇදීමේ ප්‍රතිකාරක ශිල්ප ක්‍රමයන් ද එකිනෙකට වෙනස්ය.

අවුල් සහගත ඇඳීමේ ක්‍රමය ( Mess Painting)

මෙය ඇඳීමේ ප්‍රතිකාරයට ප්‍රවේශ වීමකි. චිත්තවේග ගැටලු ඇති අයට එකවර චිත්‍රයක් ඇදිය නොහැකිය. එබැවින් එවැනි අයට මේ ඇදීම භාවිතා කළ හැක. මෙය තරමක් අවුල් සහගත ක්‍ර මයකි. පැබ්රික් වර්ණ හා දිය සායම් ලබා දී පරණ පත්තර පිටු මත අදින්නට ඉඩ දිය යුතුය. එය විනාඩියක දී පිටු 10-14 ත් අතර ප්‍රමාණයක ඇන්දවිය යුතු අතර, ලොකු පින්සලයක් මගින් 80% ක පමණ වපසරියක් ආවරණය වන පරිදි ඇඳීමට දිය යුතුය. මේ මගින් මනසේ අවුල් සහගත බව සමනය කෙරේ. සේවාලාභියා අනුව මෙහි වර්ණ ගැන්වීමේ ක්‍රමය වෙනස් වේ. කුඩා ළමයෙකු නම් විනාඩියක පමණ කාලයක් ලබා දිය යුතුය. කාලය වැඩියෙන් ලබා දෙමින් ඇඳීමට නිදහස දිය යුතුය.

ගැඹුරු හුස්ම භාවිතයෙන් ඇඳීමේ ක්‍රමය (Breath and painting motion)

මෙහිදී ගැඹුරු හුස්ම ගැනීමට සේවාලාභියා යොමු කළ යුතුය. බ්‍රිසිල් බෝඩ් හා පැන්සල් භාවිතා කිරීමට දීම, අත් දෙකෙන්ම අල්ලා උරහිස කරකවමින් ඇඳීමට දීම මගින් අපහසු චිත්ත වේග එළියට දැමීමක් සිදු වේ.

කැමති චිත්‍රයක් ඇඳීම ( Choice painting)

කොන්දේසි විරහිතව සේවා ලාභියාට කැමති , දකින දෙයක් අදින්නට ඉඩ දීම. මෙහිදී සංගීතයට ද ඇහුම්කන් දීමට පුළුවන. සැඟවුනු ගැටලු හඳුනා ගනිමින් ,බුද්ධිය හා අධ්‍යාත්මික සංවර්ධනය වැඩි කළ හැක. විවිධ වර්ණ හා පින්සල් ලබා දීමත් අවසානයේ සේවාලාභියා සමඟ සාකච්ඡා කිරීමත් කළ යුතුය.

 

Comments