හුස්ම වැටෙන හඬ | සිළුමිණ

හුස්ම වැටෙන හඬ

වසර 1963දී මහගම සේකර පළකළ ‘‘හෙට ඉරක් පායයි’’ කවි එකතුව එදවස කවිය ගැන පැවති බොහෝ සංවාද ගොලූ කිරීමට සමත් විය. හෙට ඉරක් පායයි මුල් වරට පළවුණේ සිංහල කවියේ හතරපද ආකෘතිය බිඳ ඡන්දස්, විරිත් නොතකන මුහුණුවරක් ලබා දීමට ප්‍රයත්න දැරූ කාලයකය. සේකර සිංහල කවියට එකතු කළ හැඩය හඬට වඩා දෘශ්‍යමාන එකකි. තෙරපුණ මිනිස් අත්දැකීම් තුළ හුස්ම ගන්නා සහජාත රිද්මයක, කවියක් බිහි කරන ලය මානය අවශ්‍ය රිද්ම සහ දෝංකාර පවතී යයි මහගම සේකර එකී කෘතිය හරහා පසක් කළේය.

 මම ලියාපු කවියක් එවලා ඇති. හොඳද බලන්න. ඒ විද්යුත් තැපෑල හරහා කෙරුණ ඉල්ලීමකි. සමහර කවි ගොළුවන්ගේ භාෂාව වගේය. කවිය කියවන්නාගේ මුහුණ දෙස බලා සිටියි. එවැනි අවස්ථාවල කවිය නිහඬ මිනිසෙකු වැනිය. බොහෝ දේ කියනු දැනෙනවා මිස ඇසෙන්නේ නැත.

මෙහි දී

‘‘ගොළුවන් කියන දේ වැටහෙන සවන් පෙති

මා සතු වන්ට එදවස සිට පටන් ගති’’

යනුවෙන් කුමාරගම ලියු කවියක් සිහිපත් වේ. කවි යනු රසවතුන්ගේ සිත් අවදි කරවන ආනන්දයකි. කවිය ආනන්දයෙන් ආරම්භවී ප්‍රඥාවෙන් අවසන් විය යුතුය යන්න රීතියක් පමණකි. වර්තමානයේ ලියැවෙන කවිවල සරල අරුත, ආකෘතික හැඩරුව විකෘති වී ගොස්ය. මේ තැත් කරන්නේ අද කවිය අසාර්ථක බව කියන්නට නොවේ. මහගම සේකරගේ කවිය පූර්වාදර්ශයක් ලෙස තබාගෙන කලකට පෙර ලියැවුණ කවි කිහිපයක සුවඳ යළි සිහිපත් කරන්නටය.

වසර 1963 දී මහගම සේකර පළකළ ‘‘හෙට ඉරක් පායයි’’ කවි එකතුව එ දවස කවිය ගැන පැවැති බොහෝ සංවාද ගොළු කිරීමට සමත් විය. හෙට ඉරක් පායයි මුල් වරට පළවුණේ සිංහල කවියේ හතරපද ආකෘතිය බිඳ ඡන්දස්, විරිත් නො තකන මුහුණුවරක් ලබා දීමට ප්‍රයත්න දැරූ කාලයකය. සේකර සිංහල කවියට එකතු කළ හැඩය හඬට වඩා දෘශ්‍යමාන එකකි. තෙරපුණ මිනිස් අත්දැකීම් තුළ හුස්ම ගන්නා සහජාත රිද්මයක, කවියක් බිහි කරන ලය මානය අවශ්‍ය රිද්ම සහ දෝංකාර පවතී යයි මහගම සේකර එකී කෘතිය හරහා පසක් කළේය.සේකරගේ ආචාර්ය උපාධි නිබන්ධනය වූ සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන් හී රිද්ම ලක්‍ෂණ නම් පර්යේෂණ ග්‍රන්ථයෙහි ගැඹුරෙන් විග්‍රහ කෙරුණ රිද්ම පිළිබඳ අභ්‍යාස හෙට ඉරක් පායයි කාව්‍ය සමුච්චය පුරා පැවතිණි.

හෙට ඉරක් පායයි නිර්මාණ සමුච්චයේ 26 වෙනි පද්‍යයට පාදක වන්නේ මිනිසෙකුට ඇසුණ හඬකි. ඒ හඬෙහි පැවතියේ කාටත් ඇසෙන රාවයකි. රිද්මයකි. ලයමානයකි. යටි සිත අවදි කළ ඒ ස්වභාවික රාව රිද්ම නව ආකෘතියක් තුළ නිර්මානය කළ කවිය කියවන්න.

‘‘ඒ

කොබෙයියෙක් නේද

කෑ ගැහුවෙ

වත්ත

පහළ ගල් ලන්දෙන්

මේ මහ රෑ

ඇයි අඬන්නේ නින්ද යන්නේ නැද්ද ඌට

ඇයි උඹ හඬන්නේ

ආදරයෙන් රැක්ක දෙයක් නැති වුණාද

හීන කැඩී සැප නින්දෙන් ඇහැරුනාද

සීත සුළං ඇවිදින් හිත පෑරුවාද

පාලු කූඩුවේ තනියම ඉන්න තනිද?

රෑ පාළුවේ තනිකමෙන් ගුලිවී නිදි නැතිව සිටි මිනිසෙකුගේ ධ්‍යානය බිඳ දැමූවේ කළුවර මැදින් ආ නිසාචර කුරුලු හඬකි. මුල් පද්‍යාර්ධ අනුව ඇසුණ හඬ කොබෙයියකු ගේය. ඇයි අඬන්නේ නින්ද යන්නේ නැද්ද ඌට යනුවෙන් විමසන්නේ රාත්‍රියේ නො පෙනෙන කොබෙයියාගෙන් නොවේ. තමාගෙන්මය. මේ මිනිසා නිමේෂයකින් ඒ හඬ සමඟ ඒකාත්මික වෙයි. තනිවී සිටි මිනිසාට දොඩමලු විය හැකි රූපකායක් සේ අසලින් ඇලවි සිටින්නා සේ දැනෙන්නනට විය. නො දුටු නො හඳුනන ආගන්තුක කුරුල්ලාගේ හිස පිරිමදිමින් ඒ හුදෙකලා මිනිසා මෙසේ අසරණව විමසා සිටී.

ඇයි උඹ හඬන්නේ..........? සේකරගේ කවිය ආරම්භ වන්නේ මේ විමසීමත් සමඟ ය. එතෙක් පැවතියේ මුලින් කී පරිදි මිනිස් සිතක් තිගැස්සූ ස්වාභාවික රිද්මයක චලනය පමණකි. ඒ රිද්මයට අනුව ආදරයෙන් රැක්ක දෙයක් නැති වුණාද, හීන කැඩී සැප නින්දෙන් ඇහැරුනාද, සීත සුළං ඇවිදින් හිත පෑරුවාද, පාළු කූඩුවේ තනියම ඉන්න තනිද? ආදි ලෙස මිනිසෙකු අසන සියලු විමසීම් කවියක් ලෙස ලියැවෙන්න පටන් ගනියි.

ඒ මිනිස් රුව කොබෙයියාගෙන් අසන තනියම ඉන්න තනිද ආදි සියලු ප්‍රශ්න තමන්ට නින්ද නො කැඳවූ වේදයිතයන් වෙති. තමන් නො දන්නා තැනක සිට අඳුරෙහි කෑ ගැසූ කොබෙයියාගෙන් ඔහු පිළිතුරක් අපේක්‍ෂා නො කරයි.. ඔහු තම මනෝ භාවයෙහි ලැගුම් ගෙන කාන්සිය හුදෙකලාව මෙනෙහි කරමින් තනිව දොඩමලු වේ. හැම මිනිසෙකුම විඳ ඇති මේ පාළු අත්දැකීම ඈත දවසක ගැමි කවියකු කීවේ, ‘මට තනි නැත උඹ නාඩන් උලලේනි කියාය. ගැමි කවියා උලලේනිට නො අඬන්න කියයි. සේකරගේ හුදකෙලා මිනිසා විමසන්නේ ඇයි උඹ හඬන්නේ..........? කියා ය.

සේකර හෙට ඉරක් පායයි හී සිය නව වැනි නිර්මාණය සොළොස් මත් විරිතෙන් (?) ගෙතූ එක කවියකි.

මගේ හීන කවදා හරි හැබෑ වෙයන්

තවත් හීන ඉන් පස්සේ උදා වෙයන්

බලාපොරොත්තුව මා හැර දමා නොයන්

නිදා ඉන්න කොට සිහිනෙන් සිනාසියන්

ඔහු තම කවියේ බලාපොරොත්තුව යන වචනය එකී පිටුවට යෙදූ සාමාන්‍ය අකුරු ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විශාල අකුරුවලින් මුද්‍රණය කරවා ඇත. මේ කවිය බලාපොරොත්තු අත් නොහැරිය මිනිස් සිතක අහිංසක භාවය කවියකු අත්විඳි අවස්ථාවකි.

මේ පද්‍ය නිර්මාණ දෙකේදීම සේකර බිඳී ගිය මිනිස් බලාපොරොත්තු සෞන්දර්ය කල්පනාවන් අතර, අපූරුවට සිත්තම් කරයි. සෞන්දර්ය යනු ලාලිත්‍යමය භාවයකි. ඒ තුළ දුක හෝ සැප යන්න වෙන් කරගත නො හැකි මිශ්‍රණයකි. එය වර්ණ කිහිපයක් මුසුවී හැදෙන අලුත් පාටක් වාගේය. සිතක් තනි නො වී තවත් උණුසුමකට තුරුල්ව, සිටිනා අතර, එහි ගිලි සැනහෙන අයුරක් සේකර සිය පද්‍ය සමුච්චයේ දහතුන් වැනි පද්‍යයෙහි මනාව රූපණය කරයි.

මා

ඔබගේ රත් අදර උරන විට

තන පුඩුව

ඊර්ෂ්‍යාවෙන් බරව කළු පැහැව

උඩු හුරුව

එ දෙස බලමිsන් සිටී.

ගණදෙවි හෑල්ල ලියූ කවියා කිරෙන් බරවූ විට දෙ තන පුඩු කළුවන බව (දෙතන පුඩු කළු වෙතා කිරි බරින් සිට ගතා) ලියා තැබීය. සේකර තන පුඩුවල ස්වාභාවික කළු පැහැයට උත්ප්‍රාසයෙන් ඊර්ෂ්‍යාව මුසු කරමින් සිද්ධියේ කූට ප්‍රාප්තිය විඳ ගන්නට අපට ඉඩ හරියි.

සේකර සිය කවි සමුච්චයේ මුක්තක හෙවත් හයිකු ස්වරූප ගත් විසි හතර වෙනි කවිය මෙසේය.

නෙලූම් කොළය මත

පිනි බිඳ

පොකුණ අමතා මෙලෙස කීයේ ය.

සොහොයුර

ඔබ

මට වඩා මඳක් ලොකු

දිය බිංදුවක් පමණි,

මට විද්යුත් තැපෑලෙන් ලැබුණ කවිය හතර පදයකි.

එය මෙසේය.

කරකොළ නො පෑගෙන්නට ගෙන් පිටව රැයේ

අඩ නිරුවතින් ඔබෙ උණුසුම පිණීස ළයේ

මේ තුරු වදුලයට අඳුරෙහි එබෙමි පියේ

ඔබෙ පැමිණීම මෙතනට විය යුතුව තියේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.