ඉතිහාසය කියන්නෙ පරම සත්‍යය හෝ සත්‍යය නොවෙයි | සිළුමිණ

ඉතිහාසය කියන්නෙ පරම සත්‍යය හෝ සත්‍යය නොවෙයි

ඔබේ ලේඛන දිවියේ ආරම්භයෙන් ම මේ සාකච්ඡාව අරඹමු. 

මම ගුරුවරියක් විදියට කටයුතු කරන කාලෙ එක්තරා මහාචාර්යවරයෙක් (මට නම මතක නැහැ) නාට්‍ය රසික රසිකාවන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා, සයිමන් නවගත්තේගමගේ ‘සුබ සහ යස’ නාට්‍ය නරඹලා ඒ පිළිබඳ විචාරයක් ලියන්න කියලා. මමත් මේ නාට්‍යය නරඹලා ඒ පිළිබඳ මගේ කියැවීම ලියා යැව්වා. ඒ විචාරයට විශිෂ්ට ඇගයීමක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි එය දිවයින පුවත්පතෙත් පළ වුණා. ඒ උත්තේජනය නිසා මට ඉතිහාසය හැදැරීමේ රුචියක් ඇතිවුණා. එතැන් සිට මගේ විනෝදාංශය ලෙස කළේ ඉතිහාසය හැදෑරිම්; විශේෂයෙන් ම සැඟවුණු ඉතිහාසය හැදෑරීම.

‘නගච්ඡති’ සහ ‘වරණ’ එහි අතුරුඵල ද?

ඔව්... හැබැයි ඊට කලින් මම අර ලිපියෙන් ලැබුණු උත්තේජනය නිසා කළ හැදෑරිම් අළලා ‘දිවයින’ පුවත්පතේ බදාදා අතිරේකයට ශාස්ත්‍රීය ලිපි පෙළක් ලිව්වා. මගේ දැනුම තව තවත් වර්ධනය වෙන්න ඒ ලිපි පෙළ බලපෑවා.

ශාස්ත්‍රීය ලිපිවලින් ඔබ්බට ගිහින් ප්‍රබන්ධකරණයට පිවිසෙන්න හිතුවෙ ඇයි?

මම ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගත්තට පසුව මගේ සැමියා අන්තරා වුණා. පසුව මම මගෙ දුවගෙ ගෙදර ගියා. ‘දූල්වල අලංකාරය’ නවකතාව ලිව්වෙ ඇය. ඒ වගේම ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්වනවා. මම ඒ ගෙදර ඉන්නෙ තනිවම. දිවා කාලය ම මගේ. මෙන්න මේ කාලය ගෙවා දමන්න වුවමනා නිසා මට හිතුණා නවකතාවක් ලියන්න ඕන කියලා. එහි ප්‍රතිඵලය ‘නගච්ඡති’ කෘතිය. අනතුරුව මම දිගටම ලිවීමේ නිරත වුණා. ඒ අනුවයි මේ ‘වරණ’ නවකතාවත් ලියැවෙන්නේ.

‘ඉතිහාස කතාව’ සහ ‘ඉතිහාස ප්‍රබන්ධය’ නමැති සංකල්ප ද්විත්වය පිළිබඳ ඔබ දරන අදහස කුමක්ද? ඒ වගේ ම මෙම සංකල්ප ද්විත්වය අතර වෙනස පාඨකයාට හඳුන්වා දෙන්නේ කෙසේද?

මගේ අදහසට අනුව නම්, ‘ඉතිහාස කතාව’ කියන්නෙ සත්‍යය ම නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව නොදන්නා බොහෝ කරුණු ඉතිහාස කතාවෙ නැහැ. ඉතිහාස කතාව ලියැවෙන්නෙ ම එක් එක් පුද්ගලයාගේ රුචිකත්වය අනුව. එනම් ලියන කෙනාගේ සහ කිසිවකු තවකකු ලවා ඉතිහාසය ලියවනවා නම් ඒ පුද්ගලයාගේ හෝ කණ්ඩායමේ අවශ්‍යතාව අනුව. නමුත් ඉතිහාසය හැදෑරීමේ දී සහ ඉතිහාසය පිළිබඳ ගවේෂණය කිරීමේ දී සාමාන්‍ය ජනතාව නොදන්නා බොහෝ කරුණු අනාවරණය වෙනවා.

‘ඉතිහාස ප්‍රබන්ධය’ කියන්නෙ මම මේ සඳහන් කළ සැඟවුණු සත්‍යය නිරාවරණය කරන්න පුළුවන් සහ සමාජගත කරන්න පුළුවන් මාධ්‍යයක්.

තව දුරටත් පැහැදිලි කරනවා නම් ඉතිහාසය කියන්නෙ පරම සත්‍යය හෝ සත්‍යය නොවෙයි. නමුත් ඉතිහාස ප්‍රබන්ධයක දි පරම සත්‍යය කෙසේ වුණත් සත්‍යයේ වැඩි කොටසක් අනාවරණය කරන්න පුළුවන් බව මම විශ්වාස කරනවා.

‘වරණ’ කෘතියේ ඇතැම් ස්ථානවල ‘මායා යථාර්ථවාදී’ ලක්ෂණ දක්නට ලැබෙනවා. විශේෂයෙන් ම වරණ කෘතියේ 83වන පිටුවේ සඳහන් මේ කොටස...

‘‘මා දූ කිලි වරල ඉහේ නෑවෙ ඊයෙ. ඊයෙ කියන්නෙ පුර දියවක. අද තියවක. හෙට ජලවක. අනිද්දට විසේනිය. ඊං අනිද්ද දිහාට වාහල් ලෙනේ පරිවාර ලෙනට ගොහිං දෙතුං දොහක් ඈ එක්ක ගතකරල වරෙං. හී ඔය පැන්නයිං පස්සෙ කෙලීගෙ දෑහැ බැඳල උහාන තමයි ඇන්න යන්ට වෙන්නෙ. මං ඒ වග විත්තිය ඒකිට කියඤ්ඤං’’

ඇත්තට ම ඔතන සැබෑ යථාර්ථය තිබෙන්නෙ අංශු මාත්‍රය යි. අනෙක් සියල්ල ම හුදු ප්‍රබන්ධ. ඒ අංශු මාත්‍රයක් වන යථාර්ථය වෙන්නෙ කිසියම් කාන්තාවකගේ කුසයේ නිරෝගි කලලයක් තැන්පත් වීමට සුදුසු ම කාලය අපේ පැරැණියන් දැන සිටි බව. හීන් මැණිකේ සමග සසඟෙහි යෙදිය යුතු නිසි දවස තමන්ගේ මව සුදුබණ්ඩෙට කියන්නෙ ඒ නිසා.

 

අපි දන්නවා සමස්ත ලෝකයේ ම කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන ඛේදජනක තත්ත්ව පවතිනවා. ඔබේ කෘතියට පාදක වෙන අවධියෙත් එවන් තත්ත්ව පැවති බවට ඔබ ඉඟි කරනවා. ඒ වරණ කෘතියේ 12 වන පිටුවේ සදහන් වන ‘‘ඉපදිච්ච හැටියෙ දරුවො මරාදාන සිරිතක් තිබුණ නෙව සබරගමුවෙ. ඒක තහනං කළේ ඇහැලෙපොළ නිලමෙ’’ යන ප්‍රකාශයෙන්.

මම ඔය කොටස ඇතුළත් කළේ මගේ පර්යේෂණවලදි දකින්න ලැබුණු, එකල පැවති ඔවැනි සිද්ධි සත්‍යය යැයි හැඟුණ නිසා. මොකද ඒ කාලයේ ඉපදුණු ගැහැනු දරුවන්ගේ හඳහනට අනුව ඒ දරුවාගෙන් පවුලේ කාට හෝ අපල උපද්‍රවයක් වේවි කියල සඳහන් වෙලා තිබුණොත් ඒ දරුවා මරල දානවා. ඉතිහාසයේ එහෙම සිද්ධි අනන්තවත් වාර්තා වෙනවා. ලංකා ඉතිහාසයේ උන්මාද චිත්‍රා සිරකර තබන්නෙ සහ ඇගේ සොහොයුරන් පණ්ඩුකාභය කුමාරයා මරා දමන්න උත්සාහ කිරීම මේකට හොඳම නිදසුනක්. ඊඩිපස් කතන්දරය ගත්තත් එහෙමයි. මේ සිද්ධිය මිට වඩා වැඩි ගුණයකින් ගැහැනු දරුවන්ට බලපෑවා.

 

ඔබ මේ කෘතිය තුළින් සංඝයා වහන්සේ පිළිබඳ සමාජයේ පවත්නා ආචීර්ණ කල්පිත අදහස් පුපුරවාලන්න සමත්වෙනවා කියල මම යෝජනා කළොත්?

ඇත්තට ම බුදුන් ධරමාන කාලෙ භික්ෂුන් වහන්සේ රෑටත් පිණ්ඩපාතෙ වැඩල තියෙනවා. ඒ වැඩල තියෙන්නෙ හුළු අතු පත්තුකරගෙන. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතෙ වැඩියාම කතා කරල ඉල්ලන්නෙ නැහැනෙ. මේ නිසා ඇතැම් වෙලාවට ගෙදර උදවිය දන්නෙ නැතිලු භික්ෂූන් වහන්සේ නමක් තමන්ගෙ ගෙදර මිදුලට වැඩල ඉන්න බව. ඇතැම් වෙලාවට ඉඳුල් වතුර පවා දොරකඩට විසි කරනවලු. රාත්‍රී දානය නොවැළඳ ඉන්න පුරුදු වෙන්න පුළුවන් නම් හොඳයි යන අදහස බුදුන් වහන්සේ යෝජනා කරල තියෙන්නෙ ඒ අවස්ථාවලදි භික්ෂුන් වහන්සේලාට මුහුණ දෙන්න වෙන අකරතැබ්බ වළක්වගන්න අදහසින් බව මම පොත්පත්වල කියවලා තියෙනවා.

මේ කෘතියේ ප්‍රමුඛ චරිතයක් ලෙස දැක්වෙන ජෝන් ඩොයිලි නමැති චරිතය කෘතිය තුළ ඔබ නිරූපණය කර තිබෙන්නේ අවතාරයක් විදියට. එක් පසෙකින් මෙයත් මායා යථාර්ථවාදි රීතියට සමපාතයි. ඔබ ඇයි මේ කෘතිය ඇතුළේ ජෝන් ඩොයිලි අවතාරයක් විදියට සක්මන් කරවන්නෙ?

ජෝන් ඩොයිලි කියන්නෙ කන්ද උඩරට ප්‍රමුඛ තවත් බොහෝ ප්‍රදේශ සුදු අධිරාජ්‍යවාදින්ගේ අණසකට යටත් කරගැනීම උදෙසා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඉතාමත් කූට ලෙස මැදිහත් වූ විදේශීය නියෝජිතයෙක්.. ඔහු ඒ විදියට අපේ රට යටත් කරගන්න අනුගමනය කරපු කූට උපක්‍රම බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ඒව දැනගන්න පුළුවන් වෙන්නෙත් ජෝන් ඩොයිලිගෙන් ම යි. නමුත් මේ කතාවට පසුබිම් වන කාලවකවානුව වෙද්දි ජෝන් ඩොයිලි මිය ගිහින් වසර ගණනාවක් ගත වෙලා. නමුත් එයාගෙ අවතාරය කන්ද උඩරට පුරා ම සක්මන් කරන බව ඒ අවධියේ කටකතාවක් විදියට පැවතුණා. මම ජෝන් ඩොයිලි අවතාරයක් විදියට කෘතිය ඇතුළට ගේන්නෙ මේ ඓතිහාසික පසුබිම යටතේ.

ඔබ කලින් සඳහන් කළා මේ නවකතා ද්විත්වය ම ලියවෙන්නෙ ඔබේ දිවියේ සැඳෑ සමය ගෙවා දැමීම සඳහා නියැළෙන කටයුත්තක් විදියට බව. ඔබේ මේ ව්‍යායාමය අනාගතයේදී පාඨකයාට අස්වැසිල්ලක් වේවි ද?

ඇත්තට ම ‘නගච්ඡති’ කෘතිය ලිව්වට පස්සෙ මම තව කතා දෙකක් ලිව්වා. ‘වරණ’ එකක්. තව කතාවක් ලියලා දැන් ඒකෙ සංස්කරණ කටයුතු කරමින් ඉන්නවා. නමුත් ඒක නම් ඉතිහාස කතාවක් නෙවෙයි.

 

Comments