දඩයම්කරුවෝ ඇන්ටන් චෙකොෆ් ලියූ යථාර්ථවාදී ඉන්ද්‍රජාලිකය | සිළුමිණ

දඩයම්කරුවෝ ඇන්ටන් චෙකොෆ් ලියූ යථාර්ථවාදී ඉන්ද්‍රජාලිකය

වර්තමානයේ සිංහල සාහිත්‍යය නැවතත් ක්‍රමිකව ව්‍යාජ අද්භූත කතාන්දරවලින් මිදී සංකීර්ණ ගැඹුරු කතා කලාව වෙත ගමන් කිරීමේ සංඥා පහළ වී තිබේ. ස්වතන්ත්‍ර සාහිත්‍යය තුළ ඉතා විරල වහයෙන් එය සිදු වුවද පරිවර්තන සාහිත්‍යය තුළ ස්වතන්ත්‍රයට වඩා වැඩි ඉඩක් උසස් සාහිත්‍යය සඳහා වෙන්වන බව පෙනේ. මෙයට කදිම උදාහරණයක් මෙම ලිපියේදී සාකච්ඡා කිරීමට කැමැත්තෙමි. ඒ ඇන්ටන් චෙකොෆ්ගේ, Shooting Party නම් කෘතියේ පූර්ණ සිංහල පරිවර්තන වන ‘දඩයම්කරුවෝ’ කෘතියයි. ලෝක සාහිත්‍යයේ විශිෂ්ටතම කෘති සිංහල පාඨකයා වෙත හඳුන්වාදීමේ ක්‍රියාවලියේ දිගින් දිගටම නිරත වී සිටින කැපවූ පරිවර්තකයකු වන ආනන්ද අමරසිරි පරිවර්තනය කළ ‘දඩයම්කරුවෝ’ මින් පෙර කිසිදා සිංහල පාඨකයාගේ ඇස නොගැසුණ - එහෙත්, නිශ්චිත වශයෙන් ම ඇස ගැසිය යුතු චමත්කාරජනක නිර්මාණයකි.

කෙටිකතාකරුවකු හා නාට්‍ය රචකයකු ලෙස ඉමහත් කීර්තියට පත් චෙකොෆ් කෙටි නවකතා රචනයේදී සුවිශේෂ ප්‍රතිභාවක් පෑ අයෙකි. ඔහුගේ තුන් අවුරුද්ද සිංහල පාඨකයා අතර ප්‍රචලිත වූයේ පරිවර්තන දෙකක් පමණ සිංහලට ලැබුණු නිසා ය. එහෙත්, සෝවියට් යුගයේ පරිවර්තකයන්ට හෝ ඉන් පසු බිහි වූ වෙනත් පරිවර්තකයන්ට හෝ මේ අගනා නිර්මාණය ඇස නොගැසුණු අතර, ආනන්ද අමරසිරි එය සිංහල පාඨකයාට ලබාදීම සිංහල පාඨකයාගේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

මේ කෘතිය තරමක රහස් පරීක්ෂක නවකතාවක ස්වරූපය ගන්නා අතර, චෙකොෆ්ගේ සෙසු නිර්මාණවලින් වෙන් වී අනන්‍යතාවක් නිර්මාණය කර ගන්නකි. මෙහි ගැඹුරු මනෝ විශ්ලේෂණාත්මක ලක්ෂණ දැකිය හැකි අතර, මෙහිදී චෙකොෆ් වඩාත් ළං වන්නේ දොස්තයෙවුස්කිගේ කතා රටාව දෙසට බව නිරීක්ෂණය කළ හැකිය.

කතාවේ මූලික පුවත ඈත පිටිසර වතුයායක සිදුවන මිනීමැරුමකි. මරා දැමෙන්නේ තරුණියකි. ඇය විවාහක ය. ඈ විවාහ කරගන්නේ තරමක් වැඩිමහලු වැන්දඹු මිනිහෙක් වන අතර, සිටුවරයකු, ආණ්ඩුවේ නිලධාරියකු ආදී චරිත ගණනාවක් වතු පරිශ්‍රයේදී පාඨකයා ඉදිරියට පැමිණෙති. කතාව ඉතා සුවිශේෂ ආකෘතියකට නිර්මාණය වී ඇති අතර, සඟරාවෙහි පළ කිරීමට බාර දෙන සටහන් පොතක ආකෘතියෙන් එය ලියැවෙයි. සඟරා සංස්කාරකවරයා වෙත ගෙනෙන සටහන් පොත නවකතාව ලෙස දිග හැරේ.

මැදිවිය ද පසු කරමින් සිටින බීමට ඇබ්බැහි වූ සමාජ හා ධන බලය සහිත පිරිමින් කීප දෙනෙකු වතුයායේ වෙසෙන තරුණියකට ආලය කිරීමත්, එක් අයකු ඇයව විවාහ කරගැනීමත් පසුව ඇය අද්භූත අන්දමින් ඝාතනයට ලක්වීමත් මෙහි කතා පුවතයි. ශෘංගාරාත්මක හා ගූඪාත්මක බවින් පිරී ගිය ද මෙහි ගැඹුරු මානව සබඳතා විවරණය කෙරෙන්නේ චෙකොෆ්ට සුපුරුදු විලාසයෙනි. ඇතැම් විට මෙහිදී චෙකොෆ්, දොස්තයෙවුස්කිගේ කරමසෝ සහෝදරයෝ, අපරාදය සහ දඬුවම වැනි කෘතිවල ඇති ගැඹුරට ළඟා වන අතර, දොස්තයෙවුස්කිට වෙනස් වෙමින් ඉතා විශිෂ්ට කාව්‍යාත්මක බස් වහරක් නිර්මාණය කර ගනියි.

පහත උදාහරණ විමසා බලන්න.

“මේ වන විට අහස් තලය සුදුමැලි පැහැයට හැරී තිබුණි. උදා වන හිරු මඬලෙහි කිරණ තම රන්වන් ආලෝකය උස් තුරු මුදුන්හි විසුරුවාලීම මේ වන විටද අරඹමින් තිබුණි. කාර්ය බහුලව හැසිරෙන ගේ කුරුල්ලන්ගේ කිචි බිචියද, සැලළිහිණි කුරුල්ලන්ගේ ගායනයද, තුරුපත්වල සරසරයද රෑ කාලය පුරා බරින් වැඩී ගියා වූ පියාපත් සැලෙන හඬද අවට හැමතින්ම මට ඇසෙයි. ගව රළ තප්පුලන හඬද ගොපල්ලන්ගේ කෑ ගෑම්ද මට ඇසිය හැකිය. මා අසලම වූයේ මතුපිට කිරිගරුඬ තලයකින් යුක්ත වූ කුඩා මේසයකි. එය මත මන්දාලෝකයක් විහිදුවන ෂන්දෝර් ඉටි පහනකි. සිගරැට් කොටද, ටොෆී දවටනද, බිඳුණු වීදුරු කැබලිද, දොඩම් ලෙලිද මෙහි ඇත.”

(දඩයම්කරුවෝ - 95 හා 96 පිටු)

ගම්බද මන්දිරයකට යන නවකතාවේ කථකයා හාත්පස දකින, අසන දේ මෙහිලා වර්ණිත ය. ඉතාමත් ම සියුම් ලෙසත්, විචිත්‍ර හා සංවේදී ලෙසත් සංකල්ප රූප ජනනය කරමින් තම චරිත හා ඒ චරිත දිවි ගෙවන පසුබිම ප්‍රති-නිර්මාණය කිරිම සර්වකාලීන, විශිෂ්ට සාහිත්‍ය කෘතියක ලක්ෂණයකි. චෙකොෆ් මෙහිලා ඉටු කරන්නේ ඒ කාර්යභාරයයි. ගම්බද රුසියාවේ විචිත්‍රත්වය මෙන්ම ඒ විචිත්‍රත්වය යටින් දිවෙන ගූඪ මුග්ධ බිහිසුණු බව ද චෙකොෆ් අතින් ගැඹුරින් නිරූපණය වන අතර, විටෙක ටෝල්ස්ටෝයිට ද තවත් විටෙක දොස්තයෙවුස්කිට ද සමීප වෙමින් නවතම ආරකින් රචනා වි තිබීම මෙහි සුවිශේෂ ලක්ෂණයකි.

ඔලෙන්කා හෙවත් ඝාතනයට ලක් වන්නිය - කතා නායිකාව වනාරක්ෂකයාගේ දියණියකි. ඇය ප්‍රථම වරට සෙසු ප්‍රධාන චරිතවලට හමුවන්නේ දඩයමේ යන විට වැහි කුණාටුවක් නිසා ඇගේ නි‍ෙවසට අහම්බෙන් ඇතුළුවන ගමනේදීය. ඒ හමුවීම කෙතරම් තීරණාත්මක හා කාව්‍යාත්මක බවින් නිරූපණය කරන්නේ ද යන්නට පහත ඡේදය කදිම උදාහරණයකි.

“මඳ වේලාවකට පසුව, සන්සුන්ව පෙරළා පැමිණි ඈ දොරටුවට ඉතා ආසන්නව තිබුණු අසුනෙහි වාඩි ගත්තාය. අනතුරුව ඈ අප දෙස පරීක්ෂ්‍යාකාරීව බලන්නට වූවාය. අප සියලු දෙනා සත්ත්වෝද්‍යානයකට අයත් සතුන් වූවාක් මෙන්ද, තමාට අලුත් මුහුණු නොවූවාක් මෙන්ද ඈ නිබයව අවධානාත්මකව අප දෙස බලා සිටියාය. අපිදු නිශ්චලව නිහඬව මිනිත්තුවක් පමණ වේලා ඇය දෙස බලා සිටියෙමු. ඒ සැඳෑවෙහි ඈ කෙතරම් සුන්දරව දිස්වූවාද යත්, ඇය දෙස බලා සිටිනු පිණිස පමණක් වුවද, මුළුමනින්ම නිසලව, වසරක කාලයක් පුරා මා එහි කැමැත්තෙන් වාඩි වී සිටින්නට ඉඩ තිබිණ. පවන් රොදක් සේ නැවුම් වූ ඇයගේ රෝස පැහැති දෙකොපුළද, වේගවත් ආශ්වාස ප්‍රශ්්වාසයෙන් ඉහළ ගිය ළයමඬලද, ඇයගේ නළල් තලයෙහි, දෙඋරෙහි හා ඇඳුමේ කොලරය සකසමින් තිබුණු සුරතෙහි විසිරී තිබුණු රැලි සහිත කෙස් කලඹද, විසල් දෑසද යන මේ සියලු දෑ ඔබට එක් බැල්මකින් බැලිය හැකි වන ලෙස මේ කුඩා සිරුරෙහි පිහිටා තිබිණ.”

(දඩයම්කරුවෝ - 67 පිටුව)

ප්‍රේමය හා ඔවුනොවුන් අතර පවතින ආකර්ෂණය මෙතරම් පුළුල් සංකල්පීය රූප මඟින් ගැඹුරින් නිරූපණය කළ කෘති විශ්ව සාහිත්‍යයේ පවා ඉතා විරලය. මෙහි වැදගත්කම වන්නේ මෙම හමුවීම සමස්ත කෘතියේ අර්ථයට සිදු කරන බලපෑමේ විශාලත්වය මතය. නවකතාවක කේන්ද්‍රීය කාරණය වන චරිත නිරූපණයට දක්වන දායකත්වය මතය. ඇය දෙස වසරක් වුවත් බලා සිටිය හැක යන යෙදුම මෙහිලා තීරණාත්මකය. එය තෝල්ස්තෝනියානු කාව්‍යෝක්තියකි. එහෙත්, දොස්තයෙවුස්කියානු අර්ථයකි.

කතාව ආරම්භ වන්නේ තරමක ඉන්ද්‍රජාලික ස්වරූපයකිනි. එය කෙතරම් ඉන්ද්‍රජාලිකද යත් එය යම් ආකාරයක මාර්කේස්ගේ ශෛලිය සිහිපත් කරන්නකි.

‘සැමියෙක් තමාගෙ බිරිය මරලා!’

සැමියෙක් තමාගෙ බිරිය මරලා යන පාඨය කතාව ආරම්භයේම ගෙදර ඇති කරන සුරතල් ගිරවකුගේ මුවින් නික්මේ. මේ ගිරා චරිතය බෙහෙවින් මාර්කේස්ගේ නවකතා හා කෙටිකතාවල හමුවන්නකි. එහෙත්, 19 සියවසේදීම චෙකොෆ් මෙබඳු චරිත අපූරුවට නිර්මාණය කළ බව මෙයින් පෙනේ.

ගිරවා පවසන වදන මේ පොත තුළ විවිධ අවස්ථාවල රැව් දේ. එය කතාවේ ප්‍රධාන සිදුවීම වන මිනීමැරුමට ප්‍රතිබද්ධ වන අතර, කතුවරයා ඉතාමත්ම සියුම්ව ආකෘතිය හා අන්තර්ගතය අතර සම්බන්ධය ගොඩනැඟීම සඳහා ගිරවා සහ උගේ වැකිය යොදා ගනියි. ගිරවාගේ වදන නවකතාව තුළ පුනරුක්තිමය බවින් යුතුව ඉදිරිපත් කෙරේ. එය ඉතාමත්ම තීව්‍ර හා සාර්ථක සාහිත්‍ය උපක්‍රමයක් වන අතර, චෙකොෆ්ගේ ප්‍රතිභාව කදිමට අඟවන සංකේතයකි.

විශාල වතුයාය, වැව, හාත්පස විහිදී ගිය වනාන්තර හා කෙත්වතු මෙම නවකතාව තුළ විචිත්‍ර භූගෝලීය පසුබිමක් නිර්මාණය කරයි. කතාවේ ප්‍රධාන චරිත සියලු දෙනාම ඍජුව හෝ වක්‍රව දඩකෙළියට සහභාගි වන අතර, මේ විචිත්‍ර භූගෝලීය පරිසරය වරක් සොඳුරු වුවද සමස්ත කතා පුවතේ අරුත සමඟ සසඳා බලන විට එයින් උදා කරන්නේ දුකඳුරකි.

කතුවරයා එම සංකීර්ණ තත්වය නිරූපණය කරන්නේ මෙසේය.

“එය අගෝස්තු මාසයේ මනාකොට හිරු එළිය පැවති වියළි කාලගුණයෙන් යුක්ත දිනයක් විය. ගිම්හානයේ උණුසුම් බවින් සපිරි හිරුමඬල අහස් ගැබ්හි බැබැළෙමින් පැවැතියේය. නිල්වන් අහස්තලය කෙනෙකුට ඇත පෙදෙසට එන්න යැයි සංඥා කළේය. එහෙත්, ඒ වන විටද ශරත් ඍතුව පිළිබඳව කිසියම් හැඟීමක් අවට වායුගෝලයෙහි පැවැතියේය. තමන්ගේ ජීවිතයෙහි කෙළවරට පැමිණියා වූ තුරුපත්, චිත්තාපර බවක් පළ කළ වනපෙතෙහි කොළ පැහැති අතු පතර රන් පැහැයට හරවමින් සිටියේය. ඒ අතරවාරයෙහි අඳුරු පැහැ ගනිමින් තිබුණු කෙත්බිම්වල වූයේ ආශාවෙන් පිරුණු දුක්මුසු පෙනුමකි.”

(දඩයම්කරුවෝ - 222 පිටුව)

කතාවේ පවතින මූලික ප්‍රතිවිරෝධතා හා සංකීර්ණතා සමස්තයම යථෝක්ත ඡේදයෙහි ගැබ්වන්නේ යැයි පැවසුවහොත් එය වරදක් නොවේ. නිල්වන්, පැහැදිලි අහස් තලය ලබා දුන් සංඥාවන්ගෙන් කියැවෙන්නේ මේ පෙදෙසේ විසූ කාගෙත් චිත්තාකර්ෂණීය බවට ලක් වූ තරුණියයි. ගස්වල කොළ රත් පැහැ ගැන්වීමත් එම පරිවර්තනය තුළ මහලු විය සිහිපත් කිරීමත් ඔස්සේ කැපී පෙනෙන්නේ තරුණියගේ හදවත හා ඇගේ කාමාස්වාදය පැතූ වැඩිමහල් මිනිස් සමාගමයි

මේ සියලු දෑ මැද කෙත්බිම්වල අඳුර හා දුක්මුසු පැහැය පැතිරෙමින් තිබූ අතර, එයින් සංකේතවත් වන්නේ කුරිරු මිනීමැරුමේ පවතින ඛේදවාචකය යැයි කිව හැකිය. පරිසරය හා මිනිස් මනසත්, පරිසරය හා මිනිස් ක්‍රියාකාරීත්වයත් අතර සම්බන්ධය මෙහිදී ගැඹුරින් කියැවෙන අතර, එය බොහෝ ස්ථානවලදී ඉතාමත්ම සාර්ථකව ගෙන හැර පෑ ආකාරය දැකිය හැකිය.

නවකතාව සඟරාවක පළ කිරීම සඳහා දුන් අත්පිටපතක ආකෘතියෙන් පවතියි. එනමුදු එය පාදකසටහන් හා විවිධ තර්කවාදවලින් පිරී ගිය විචිත්‍ර එකකි. හුදෙක් ගලා යන සමතලා කථාන්දරයක් නොව, තීව්‍ර උච්චාවචනයන් සහිත චරිත ගැටුම් රැසක් ගැඹුරු අර්ථයෙන් තිබෙන කතාන්දරයකි. කතා කලාව පැත්තෙන් සිංහල නවකතාකරුව්නට බොහේ දේ ඉගෙන ගැනීමට මෙම නවකතාව කදිම මූලාශ්‍රයක් සපයයි.

මේ කතාවේ තීරණාත්මක අවස්ථාවල බොහෝ අය බීමත්ව සිටිති. ඔවුන් බොන්නේ එක්තරා අන්දමකින් ලෝකය කලකිරීමෙනි. නැතහොත් ඇබ්බැහියෙන් ගැලවීමට දක්වන අපොහොසත්කම නිසාය. සුරාව හා ස්ත්‍රිය මන්දිරය අවට වනාන්තරයේ දඩ කෙළියේ යෑම මෙහිලා කැපී පෙනෙන ප්‍රධාන සිදුවීම්ය. එසේ යන ගමන්වලදී මෙන්ම ඔවුනොවුන් හැඳින්වීමේදීද ඔවුහු නොයෙක් වාදවල පැටලෙති. මේ සිදුවීම් සියල්ල විමර්ශනය කර බලන විට පෙනී යන එක් සිදුවීමක් වන්නේ මෙම නවකතාවේ අභ්‍යන්තරයෙන් දිවෙන රහස් පරීක්ෂක, ගූඪ ස්වභාවයයි.

ඒ අභ්‍යන්තර ගූඪ ස්වභාවය පාඨකයා පිටුවෙන් පිටුවට කුතූහලාත්මක ව ඉදිරියට ගෙන යන අතර, එහි විශේෂත්වය වන්නේ හුදෙක් ගූඪ මිථ්‍යාවක් බවට පත් නොවෙමින් යථාර්ථය නිරූපණය කිරීමට සේවය කිරීමයි. වර්තමාන බොහෝ සිංහල නවකතාවල විශේෂයෙන්ම ඉහළ ම සම්මාන උළෙලවලින් තෝරාගන්නා නවකතාවල ඇති ප්‍රධානතම අර්බුදය වන්නේ ගූඪ මිථ්‍යා පුරාණෝක්ති යනාදියෙන් නිරුපණය වන දෑ යථාර්ථමය ලෝකයක් සමඟ ඓන්ද්‍රීය සම්බන්ධයක් ඇති නොවීමයි. එය වර්තමාන සිංහල නවකතාකරුවන්ගෙන් අති බහුතරයක් දෙනා මුහුණ පාන්නා වූ ගැඹුරුතර අර්බුදයකි. බලවත් දුබලතාවකි.

චෙකොෆ් මේ නවකතාවේදී ඒ තත්ත්වය මුළුමනින්ම ජය ගන්නා අතර, යථාර්ථය ග්‍රහණය කරගැනීම හා ශිල්ප ක්‍රම අතර පවතින සම්බන්ධයේ සංකීර්ණ බව මනා ලෙස කළමනාකරණය කිරීමට සමත් විය. හුදෙක් ඉන්ද්‍රජාලිකත්වය හා ගූඪ ආලෝචනා සමස්ත කතාවෙන් වෙන්කොට ගුප්තමය රුචියක් නිර්මාණය වන සේ නිරූපණය කිරීමේ බංකොළොත් ක්‍රියාවලියට පිළිතුරක් ලෙස ද මෙය සැලකිය හැකිය.

කතාව කියවාගෙන යෑමට රුචි ඇති කරවන්නා වූ සහ පාඨකයාගේ මන වඩන්නා වූ රහස් පරීක්ෂක ආඛ්‍යාන ශෛලියක් මෙහිදී දැකිය හැකිය. එය සම කළ හැක්කේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ සහ අපරාධය හා දඬුවම වැනි කෘතියක සම්මිශ්‍රණයක් ලෙස ය. වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය මාර්කේස් වැනි රචකයන් මෙහිදී සිහිපත් වන අතර, චෙකොෆ් තුළ සැඟවී සිටි එහෙත්, අපතර එතරම් ප්‍රකට නොවූ නවකතාකරුවා උපරිම දක්ෂතා සහිතව පාඨකයා ඉදිරියට පැමිණීමේ ක්‍රියාවලිය මෙහිදී සිදුවන බව නිරීක්ෂණය කළ හැකිය.

ආඛ්‍යානයේ නිරවුල් බවක් ඇතත් චරිත නිරූපණයේදී හිතාමතාම යම් ව්‍යාකූල බවක් නිර්මාණය කරන අවස්ථා දැකිය හැකිය. මීට කදිම උදාහරණයක් වන්නේ මිනීමැරුමේ විමර්ශන කටයුතු භාර මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරන සර්යෝසාගේ චරිතයයි. එම චරිතය ඉවාන් පෙට්ට්‍රොවිච් කමිෂේවු යන නමින් ද ලෙකෝ යන නමින්ද හැඳින්වෙන බව පෙනේ. මෙය හිතාමතාම කරන ලද්දක් බව පෙනෙන්නේ මේ චරිතය කතාව තුළ යම් පැටලිලි සහගත සංකීර්ණ භූමිකාවකට පණ දෙන හෙයිනි.

පරිවර්තන ආනන්ද අමරසිරිද මෙම තත්වය සියුම් ලෙස වටහාගත් බව තම පරිවර්තනයේ පෙරවදනට ඔහු ලියන පහත ඡේදය අපට පවසයි.

“The Shooting Party නවකතාවෙහි පඨිතය අතිශයින් ම අලංකාරවත් ලෙස සකසා ඇත. කථා ව්‍යුහයෙහි ඇති අලංකෘත ස්වභාවය චෙකොෆ් හටම ආවේණික වූවකි. කතාවෙහි අත්පිටපත රැගෙන පුවත්පත් සංස්කාරකවරයා වෙත පැමිණෙන සේවයෙන් ඉල්ලා අස් වූ මහේස්ත්‍රාත්වරයකු එය ප්‍රකාශයට පත් කරන්නැයි අයැද සිටියි. කතාව රචනා කැර ඇත්තේ මහේස්ත්‍රාත්වරයකුගේ දෘෂ්ටිකෝණයෙනි. සංස්කාරකවරයාගේ දෘෂ්ටිකෝණය ඔස්සේ කතාව දිග හැරෙයි. ඒ පඨිතය තුළ චෙකොෆ්ද පෙනී සිටියි. ඔහු යොදන පාදක සටහන් අනුව, ඔහු කතුවරයා නොව, බාහිර නිරීක්ෂකයකුගේ භූමිකාව නිරූපණය කරයි. අබිරහසක් පදනම් කරගත් රහස් පරීක්ෂක කතාවකට වඩා, මනුෂ්‍ය ජීවිත විෂයයෙහි හැම සීමා මායිමක්ම අවලෝකනය කළ හැකි අයුරින් සැකසුණු එකකි.”

(පෙරවදන 08 හා 09 පිටු)

ඒ අනුව චෙකොෆ් මෙහිදී කතා ව්‍යුහයට දක්වන සැලකිල්ල බෙහෙවින් විශාල එකක් බව පෙන්වා දිය හැකිය. එහි බොහෝ දෘෂ්ටිකෝණ ගණනාවක් තිබෙන අතර, එම දෘෂ්ටිකෝණ ඉස්මතු වන සේ කතා ව්‍යුහය සකසා තිබේ. ඇත්තෙන්ම මෙරට බොහෝ විචාරකයන් හා ප්‍රකට සාහිත්‍ය සම්මාන මණ්ඩලවල විනිසුරන් කිසිදු තර්කානුකූල සාහිත්‍ය විචාර ප්‍රවේශයකින් තොරව ආකෘතික හරඹ වෙත දැක්වූ උනන්දුව මෙම නවකතාව වෙත නොදැක්වීම උත්ප්‍රාසාත්මක බවක් ගෙනෙන අතර, එයින් ඔවුන්ගේ නොදැනුම හා අසංවේදී බව නිශ්චිතවම හෙළිවන බව අපගේ අදහසයි.

ප්‍රසිද්ධ විචාර අවකාශ තුළ දඩයම්කරුවෝ මීට වඩා විශාල සාකච්ඡාවකට ලක්විය යුතුව තිබෙන  අතර, එසේ සාකච්ඡාවක් නිර්මාණ කිරීම සාහිත්‍ය ළැදි අප කාගේත් උර මත පැටවෙන වගකීමකි.

දිගුකාලීනව ඉමහත් කැපවීමකින් යුතුව ශ්‍රේෂ්ඨ විශ්ව සාහිත්‍යය කෘති සිංහල පාඨකයාට ගෙන එමින්, කෙටි වුවත් සාරපූර්ණ පෙරවදනක්ද රචනා කරන ආනන්ද අමරසිරි මහතා සිංහල සාහිත්‍යයට කරන මෙහෙවර ඉතා ඉහළය. එම මෙහෙවරින් පලක් ගත හැක්කේ මෙබඳු කෘති පිළිබඳ දිගු සංවාදයක් ඇරඹීමෙන් පමණි. මේ කෙටි විමසුමෙන් අප අදහස් කළේ එවැනි සංවාදයක ආරම්භය පමණි. 

Comments