දෙස - බස - රැස සුරැකි මුනිදස් කුමරතුඟු | සිළුමිණ

දෙස - බස - රැස සුරැකි මුනිදස් කුමරතුඟු

මුනිදාස කුමාරතුංග යනු මෙරට පහළවූ දුර්ලභ ගණයේ උත්තුංග පඬිවරයෙකි. ඔහු 1887 ජූලි මස 25 වැනි දින දික්වැල්ලේ ඉඳිගස්ආර නමැති ග්‍රාමයේ උපත ලැබුවේ ය. කුමාරතුංග සිය පවුලේ දොළොස් වැනි දරුවා වූයේ ය. මේ පඬිවරයා විවිධ ක්ෂේත්‍රයන්හි කුසලතා දැක්වූ විද්වතෙකි. එතුමාට සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ හසළ දැනුමක් තිබිණ.‍ ඔහු ව්‍යාකරණ ග්‍රන්ථ රැසක් පළ කළ ව්‍යාකරණ විශේෂඥයෙකි; පැරණි සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කරණය කරමින්, විවරණ සපයන ලද ලේඛකයෙකි; උසස් රසඥතාවකින් යුත් ළමා සාහිත්‍ය නිර්මාපකයෙකි; එමෙන් ම ඔහු කවිය යනු කුමක්දැයි මනාව වටහා ගත් ප්‍රතිභාපූර්ණ කවියෙකි.

අප රට ඉංග්‍රීසීන්ගේ ආධිපත්‍යයට නතුවී තිබුණ යුගයක කුමාරතුංග ජීවත්වූයේ ය. එතුමා මුලින් ම ගමේ විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ ය. පසුව, මේ ශිෂ්‍යයා මාතර ශාන්ත තෝමස් විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබුවේ ය. කුමාරතුංග වසර දෙකක කාලයක් කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබයි. එහිදී ඔහුගේ දැනුම හා අත්දැකීම් පුළුල් කර ගැනීමට අවස්ථාව උදාවෙයි. අනතුරුව, කුමාරතුංග කඩුගන්නාව ද්විභාෂා පාඨශාලාවේ ප්‍රධානාචාර්යවරයා ලෙස සේවය කළේ ය. එයින් පසුව, මේ වියතාට පාඨශාලා පරීක්ෂකවරයකු වශයෙන් උසස්වීමක් ලැබෙයි. බලපි‍ටිය හා නිට්ටඹුව යන ගුරු විද්‍යාලයන්හි විදුහල්පති ලෙස ද කුමාරතුංගයන් සේවය කර ඇත. මේ ගුරු අභ්‍යාස විද්‍යාලයන්හි, සේවය කරමින් සිටි අවධියේදී, හෙ‍ෙතම භාෂා සටනට නායකත්වය දුන්නේ ය‍. දෙස, බස, රැස යන දර්ශනය මුල්කරගෙන කුමාරතුංග හෙළ හවුල පිහිටුවා ගනියි. හෙළ හවුල භාෂා සම්ප්‍රදායක් ලෙසින් දිවයින පුරා තරමක් ප්‍රචලිත විය. කුමාරතුංගගේ දර්ශනයට ‘ආගම’ ඇතුළු වූයේ නැත.

ජාතික නිදහස උදෙසා පෑන අවියක් ලෙස භාවිත කළ ලේඛකයන් අතර කුමාරතුංගයන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. බ්‍රිතාත්‍යයන්ගෙන් අප රට නිදහස් කරගැනීම සඳහා සිය පෑන හේ අභීතව මෙහෙයව‍ූයේ ය. එතුමාගෙන් සිදුවූ විශිෂ්ට සේවාවක් ලෙස හෙළ බස සුරැකීම සඳහා දරන ලද දැඩි කැපවීම දැක්විය හැකි ය. තමන් උපන් දේශය හා ජාතිය අවදි කිරීමට නම් පළමුව බස රැක ගත යුතු බව කුමාරතුංගයෝ විශ්වාස කළහ. ඒ යුගයේ සිංහල භාෂාවට හිමිවී තිබුණේ ඉතා පහත් තත්ත්වයකි. අපේ සංස්කෘතිය ගොඩනැංවිය හැක්කේ, හෙළ බසට නිසි ස්ථානය ලබාදීමෙන් යැයි එතුමා සඳහන් කළේ ය. මේ ලේඛකයා සිහල බස රැක ගැනීම සඳහා සම්භාව්‍ය සාහිත්‍යය වෙත නැඹුරු වන්නේ ය. ඒවායේ අනුසාරයෙන් වත්මන් භාෂාව පෝෂණය කිරීමට, කුමාරතුංග ‍‍උත්සුක වූයේය.

ජනතාව තුළ ජාත්‍යනුරාගය වර්ධනය කිරීමේ අරමුණෙන්, කුමාරතුංගයෝ පුවත්පත් හා සඟරා කිහිපයක් ආරම්භ කළහ. ඒවා නම් :- ලක්මිණ පහන (1934), සුබස (1939), පහන (1939) හා Helio (හේලියෝ) වේ. මේ මාධ්‍යයන් ඉවහල් කරගෙන හෙළ බස පෝෂණය කිරීමට හේ උපරිමයෙන් කැපවෙයි. එකල භාෂා ව්‍යවහාරයේ පැවති අවියත් වචන බොහොමයකට නිවැරැදි වචන හඳුන්වාදීමේ ගෞරවය ඔහුට හිමිවන්නේ ය‍. රෝහල, හෙදිය, කටුගේ, සරසවිය, කමිටුව වැනි වචන, හෙළ හවුලේ මූලිකත්වයෙන් හඳුන්වාදී ඇත. කුමාරතුංග පඬිවරයා ‘ඇ’ කාරය යළිත් වරක් හෙළ බසට හඳුන්වා දෙයි.

කුමාරතුංගයන්ගෙන් සිදුවූ තවත් විශිෂ්ට සේවාවක් ලෙස සැලකිය හැක්කේ, සිංහල ව්‍යාකරණය රැක ගැනීම සඳහා කළ මෙහෙයයි. ඔහු ලිඛිත බසෙහි පවතින වියරණය රැක ගැනීම සඳහා දැවැන්ත මෙහෙයක් කරයි. මේ පඬිවරයා වටිනා ව්‍යාකරණ ග්‍රන්ථ කිහිපයක් පළ කළේ ය. සිදත් සඟරා විවරණය, ක්‍රියා විවරණය හා ව්‍යාකරණ විවරණය මේ අතුරින් විශේෂත්වයක් ගන්නේ ය. කුමාරතුංගයන් තුළ තිබූ ව්‍යාකරණ දැනුම හා භාෂා විශාරදත්වය මේ ග්‍රන්ථවලින් පෙනේ. කෙසේ වෙතත්, එතුමා කතා ව්‍යවහාරයේ පවතින වියරණය සම්බන්ධයෙන් අවධානය යොමු නොකළේ ය.

සම්භාව්‍ය ග්‍රන්ථයන්ට විවරණ සැපයීම ද කුමාරතුංගයන්ගෙන් සිදුවූ තවත් සේවාවකි. මේ විවරණ හා සංස්කරණයන් පද්‍ය කාව්‍ය හා ගද්‍ය කාව්‍ය වශයෙන් වර්ග කළ හැකි ය. කව්සිළුමිණ, මුවදෙව්දාවත, සසදාවත, සැළලිහිණි සන්දේශය යන පද්‍ය කාව්‍යයන්ට එතුමා විසින් විවරණයන් සපයා තිබේ. අමාවතුර, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය යන ගද්‍ය ග්‍රන්ථයන්ට ද කුමාරතුංගයන් විසින් හරවත් විවරණ දක්වා තිබේ. මෙවැනි ග්‍රන්ථ හැටකට ආසන්න සංඛ්‍යාවක් සංස්කරණය කර ඇත.

මේ ලේඛකයාගෙන් සිදුවූ තවත් සේවාවක් නම් සංගීතය, කවිය හා ගීතය අගය කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සපයමින්, ග්‍රන්ථකරණයට එළඹීමයි. ප්‍රබන්ධෝපදේශය, ප්‍රබන්ධ සංග්‍රහය, කවි ශික්ෂාව, විරිත් වැකිය, හෙළ මියසිය මේ අතරින් ප්‍රශස්ත කෘතීහු වෙති. විරිත් වැකිය හා කවි ශික්ෂාව යන ග්‍රන්ථවලින් කවි රචනා කිරීමට මෙන් ම, රස විඳීමට ඉවහල් වන උපදෙස් ලබාගත හැකි ය. නවකයන්ට ගීත ලිවීමට අවශ්‍ය උපදෙස්, ප්‍රබන්ධෝපදේශය හා ප්‍රබන්ධ සංග්‍රහය යන කෘතිවල අඩංගු වන්නේ ය. කුමාරතුංගගේ ‘හෙළ මියසිය’ ග්‍රන්ථයෙන් සංගීත කලාව පිළිබඳව අගනා තොරතුරු රැසක් ලබාගත හැකි ය.

වැඩිහිටියන්ට මෙන් ම, ළමයින් සඳහා සාහිත්‍ය ග්‍රන්ථ රචනා කිරීම ද කුමාරතුංගගෙන් සිදුව‍ූ තවත් වටිනා සේවාවකි. ළමයින්ගේ මනස හොඳින් වටහාගෙන, ඔහු ළමයින් සඳහා කාව්‍ය රචනා කරයි. එතුමාට ඉතා ගැඹුරු වියරණ දැනුමක් තිබුණත්, ළමා සාහිත්‍ය නිර්මාණයන්හි උපයුක්ත බස ඉතා සරල ය.

මඟුල් කෑම, හත්පණ, පුදුම තැන, හීන්සැරය වැනි ග්‍රන්ථ තවමත් අපේ මතකයේ රැඳී තිබෙන්නේ, ළමා මනසට ගැළපෙන පරිදි රචනා කර තිබෙන නිසා ය. ‘හීන්සැරය’ කෘතියෙන් ළමයිනට සාහිත්‍ය රසයක් මෙන් ම, ජීවිතාවබෝධයක් ලබාගැනීමට හැකි වේ. උක්ත කෘති සියල්ල රචනා කර තිබෙන්නේ ළමා මනසට හා වයසට උචිතව ය.

සිංහල කවියට කළ අගනා දායකත්වය, කුමාරතුංගගෙන් වූ විශිෂ්ටතම සේවාවකි. පැරණි කාව්‍ය සම්ප්‍රදාය අනුගමනය කරමින්, රචිත ‘පිය සමර’ ඔහුගේ විශිෂ්ට කාව්‍ය සංග්‍රහයකි. පද්‍ය එකසිය දහ අටකින් සමන්විත මේ පොතේ පියාණන් තුළ තිබුණ දාරක ප්‍රේමය හා දරුවා තුළ පියාණන් කෙරෙහි පැවැති පීතෘ ස්නේහය ධ්වනිත කෙරේ. මේ කවියා ජාතිකාභිමානය හා දේශවාත්සල්‍යය දනවන පද්‍ය රාශියක් ද රචනා කර තිබේ. හෙළ හවුලේ කවියකු වුවත්, කුමාරතුංග සිය පද්‍ය නිර්මාණයන්හි පොදු වහර උපයෝගි කරගත් බව පැහැදිලි ය.

මගෙ රට මගෙ දැය නිසා - යුද වැද සතුරන් නසා
මදිවි ගිය මට එසා - යස වෙද සියවස් වසා

රට වෙනුවෙන් දිවි පුදන කෙනෙකු මිය ගියත්, ඔහුගේ නාමය හා කීර්තිය ශත වර්ෂ සියයක් වුව පවතින බව කවියා පවසන්නේ සරල බස් වහරකිනි.

මේ නිර්මාපකයා ළමා කාව්‍ය රචකයකු වශයෙන් ද කැපී පෙනෙයි.

ඔහුගේ ළමා කාව්‍ය සංග්‍රහ ලෙස කුමාර ගී, කුමාර පද්‍ය සංග්‍රහය, කියවන නුවණින් උපුටා ගත් පද්‍ය පන්ති හා ශික්ෂා මාර්ගයෙන් උපුට‍ා ගත් පද්‍ය පන්ති නිදසුන් ලෙස දැක්විය හැකි ය.

‘උදය වැනුම’, ‘හෙළ රණ ගී’, ‘නැළැවිල්ල’, හාවාගේ වග’ යන කවි පන්තිවලින් මෙය පෙනී යයි‍. ‘නැළැවිල්ල’ පද්‍ය පන්තියේ එන මතු දැක්වෙන පද‍්‍යයෙන් කවියා තුළ ඇති ප්‍රතිභා ශක්තිය කදිමට පෙනේ.

තොටිල්ල සැම සුවපිරී - පැද්දෙයි තාලෙට සරී
අසමින් ගී සුමිහිරී - නිදන්න පුත රන්කිරී

මෙහි ගැබ්වෙන විරිත, නින්දට යන දරුවකුගේ නැළවෙන අවස්ථාවට උචිත ය. කවියා යොදන භාෂාව ඉතා සරල ය. එයින් ළමා සිතට පහසුවෙන් පිවිසීමට හැකි වන අතර චිත්ත රූප මැවෙන්නේ ය.

රටක හෝ සමාජයක අභිවෘද්ධිය සිදුවන්නේ නවීන දේවල් තැනීමෙන් බව කී, මේ ලේඛකයාණන් ‘වියරණ බුදුන්’ ලෙස ජනතාව අතර මෙන් ම, උගතුන් අතර ප්‍රචලිත විය. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට ප්‍රථම 1944 මාර්තු මස 02 වැනි දින කුමාරතුංග පඬිවරයා සිය දෙනෙත් සදහටම පියා ගත්තේ ය. එහෙත්, එතුමාගේ නාමය සැමදා පවතියි.‍

Comments