පාඨකයා නිදහස් කරන කෙටිකතා සංග්‍රහයක් | සිළුමිණ

පාඨකයා නිදහස් කරන කෙටිකතා සංග්‍රහයක්

කර්තෘ:- ලීලානන්ද වික්‍රමසිංහ

මිල:- රු.200

ප්‍රකාශක:- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

ලීලානන්ද වික්‍රමසිංහ සිය පස්වන කෙටිකතා සංග්‍රහය වූ සියඹලා ගහ යටට එන්න කෘතිය නොබෝ දා එළිදක්වා තිබේ.

ජීවිතය පිළිබඳ විවිධ අත්දැකීම් මුල්කර ගනිමින් ප්‍රබන්ධිත කෙටිකතා නිර්මාණ 12 කින් ‘සියඹලා ගහ යටට එන්න’ කෙටි කතා සංග්‍රහය සමන්විතය.

පාලමයට රාත්‍රියක්, පොල්වත්තේ හාමිනේ, වන්දනා ගමන, සින්දු කියන උණ පඳුර, හිම වැස්ස, සියපත්, සියඹලා ගහ යටට එන්න, වෙසක් පහන. ආදී වශයෙන් පෙළ ගස්වා ඇති මෙහි කෙටිකතා මාලාව වින්දනාත්මකව කියවිය හැකි ඒවාය. මේ එක් එක් කෙටිකතාවේ ඉදිරිපත් කර ඇති සංසිද්ධියේ නිමාව සොයමින් විරාමයක් නොතබා අභිරුචියෙන් කියවිය හැකි ය.

කෙටි කතා මුද්‍රණය පසු බා ඇති මෙවන් අවස්ථාවක මේ කෙටි කතා සංග්‍රහය නව පාඨක පිරිසක් බිහිකරන්නකි. එය වූ කලී නිර්මාණාත්මක සාහිත්‍යය උදෙසා ඇති වූ ප්‍රවණතාවකි. මෙම කෙටිකතා සංග්‍රහය පාසල් දරුවන්ගේ සාහිත්‍යාත්මක කියවීම් උදෙසා නිර්දේශය කළ හැකි ව්‍යතිරේකයෙකි. ලිංගිකත්වය, ලිංගික ආස්වාදය, අනියම් ආදර සබඳතා, විපරිත මානසිකත්වය. ආදී තේමා යටතේ බිහි කළ නිර්මාණ මඟින් අනිසි ලෙස පොත් අලෙවිය වර්ධනය කළ හැකි යයි සිතන අත්දැකීම් මුළුමනින්ම බැහැර කර ජීවිතය පිළිබඳ ගැඹුරු යථාර්ථය විශ්ලේෂණය වන පරිදි මෙහි ඉදිරිපත් කර ඇති සියලුම කෙටිකතා නිර්මාණය වී තිබීම ප්‍රශංසනීය වේ. ඒ නිසා මේ පොත ළමයින්ගේ කියවීමට වඩාත් යෝග්‍යවේ.

මේ කෙටිකතා සංග්‍රහයේ අන්තර්ගත සෑම කෙටිකතාවකින් ම ප්‍රකාශවන්නේ ජීවිතයයි. ජීවිතය වූ කලී ඕනෑම පාඨකයකුගේ අත්දැකීමයි. කෙටිකතා නිර්මාණකරුවා මෙන් ම පාඨකයා ද ජීවිතයේ කොටස්කරුවෝය. එහි විවිධ අත්දැකීම් විඳින්නෝය. ඒ නිසා ජීවිතය තේමාකරගත් කෙටිකතා පාඨක ජනයාට වඩාත් සමීපතම වෙයි. ඒ අනුව ‘සියඹලා ගහ යටට එන්න’ කෙටිකතා සංග්‍රහය පාඨකයාට වඩාත් ළංවූ අත්දැකීම් මාලාවකි. මේ පිළිබඳව මෙහි කතුවරයා ‘මගේ සටහන’ යටතේ කරන විවරණය ඔහුගේ කෙටිකතා නිර්මාණ තුළ අන්තර්ගතය.

මිනිස් ජීවිතයේ ඇතුළත් වී ඇති යහපත් ගුණාංගය මානව දයාවයි. එකී මානව දයාවේ ස්වභාවයක් නිරූපණය කෙරෙන ‘පාලම යට’ කෙටිකතාවෙන් මෙම කෙටිකතා සංග්‍රහය ආරම්භ වෙයි. දරු ප්‍රසුතිය සඳහා රෝහල්ගත කර සිටින තම බිරිය පිළිබඳව ඇගේ සැමියා වූ උපජීවගේ ආවර්ජනය පාලම යටදී සිදු වූ සහානුභූතිය තම බිරියට පුතකු ලැබීමේ සුබ පණිවිඩය හා සම්බන්ධ කර ඇති අයුරු අගනේය.

කාර්යබහුලත්වය මත දරුවන්ට තම වැඩිහිටියන් වෙනුවෙන් අත්‍යවශ්‍යම වූ යුතුකම් ඉටුකිරීම පවා අත පසු වී යන ආකාරය තාත්වික අයුරින් නිරූපණය වන්නේ ‘පොල්වත්තේ හාමිනේ’ කෙටිකතාවෙන් ය. මේ නිර්මාණයේ අන්තර්ගත සංසිද්ධියට අද්‍යතන වැඩිහිටියෝ මුහුණ දී සිටිති. ජීවිතයෙන් නොදැමුණු එහි අත්දැකීම් නොලද සීමිත ආර්ථිකයකට මැදිවී සිටින කාන්තාවකගේ යටිසිත ඉස්මතු වී සිංහාසනාරූඪ වූ අයුරු ‘වන්දනාගමන’ කෙටිකතාවේ අවසානයට දැක්වෙන ‘ඒ ගොල්ලන් එක්ක අපේ ආස්සරේ ඉවරයි, එහෙ යන්න එපා, ඒ ගෑනි මහ ඊර්ෂ්‍යාකාර ගෑනී.’ යන සුබෝධාගේ ඒකමතික තීරණයෙන් තහවුරු වෙයි.

‘සින්දු කියන උණ පඳුර’ කෙටිකතාව කාව්‍යාත්මක කදිම නිරූපණයකි. පුද්ගලයා පංචකාමයේ බැඳී ඇති අයුරු ඔහුට එය උපාදානයක් වී ඇති අයුරු මේ කෙටි කතාවේ නිරූපණය වන ධනවත් මහල්ලාගේ කතාබහෙන් හා ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වෙයි.

‘හිම වැස්ස’ ඇතැම් පවුල් මුහුණ පාන දරුවන් නොමැති වඳ භාවය පිළිබඳ ගැටලුව අත්දැකීම් කරගත් කෙටිකතාවකි. බොහෝවිට වඳ භාව ඇත්තේ අඹු සැමි දෙදෙනාගෙන් එක් අයෙකුට පමණි. ස්වාභාවිකව සිදු වූ සිද්ධියක් නිසා රේඛාට දරුවකු ලැබීමේ සංසිද්ධිය මානුෂීය අයුරින් මෙහි නිරූපිතය. එය උපදේශයක් නොවේ. කෙටිකතා කරුවකුගේ අපුරු නිරූපණයකි. නොසිදුවිය හැකි දෙයක් ද නොවේ.

‘සියපත්’ කෙටි කතාව කතරගම පුදබිමේ මල් වෙළෙඳාමේ නිරතව සිටි මාලනී අක්කා නම් තරුණිය කේන්ද්‍රකරගෙන ප්‍රබන්ධිත වුවකි. මෙබඳු තරුණියන් අප සමාජයේ බහුලය.

මේ කෙටිකතා සංග්‍රහයේ සංඥා නාමය වූ ‘සියඹලා ගහ යටට එන්න’ නිර්මාණය ගුරුවිදුහලක පුහුණුව ලැබූ සාරු ජයනෙත්ති, අබ්දුල්ලා, වේලායුදන්, මර්ති. යන පස්දෙනා ගුරු විදුහලෙන් පිටව යාමෙන් පසු අවුරුදු 20 කට පසුව හමුවීමට නියම කරගත් සියඹලා ගහ යට දී මුණ ගැසීමට අදාළ සංසිද්ධියයි. මෙහි නිරූපිත චරිත පහෙන් ජීවිතය පිළිබඳ අනිත්‍යාව ඉස්මතු වෙයි. ඉන් ගැඹුරු දහමක් ධ්වනිතවත් වෙයි. මෙහි සඳහන් සියඹලා ගහ ආශාවන්හි වර්ධනයක් වැන්න. දැඩිලෙස ස්ථාවර වූ කාලය ගොරහැඩි බවද මෙයින් සංකේතවත් කරයි. මෙහි ඇතුළත් සෙසු කෙටිකතාවලින් ද මිනිස් ජීවිතය පිළිබඳව යට සැඟවී ගිය යථාර්ථය විනිවිද දැක්වීමට මෙහි කතුවර ලීලානන්ද වික්‍රමසිංහ සාර්ථය උත්සාහයක් ගෙන තිබේ.

මෙම සංග්‍රහයේ ඇතුළත් එක් එක් කෙටිකතාව විකාශනය වී ඇත්තේ සරල කලාත්මක බස් වහරකිනි. ඒ ඒ අත්දැකීම් පාඨකයා තුළ භාවාත්මක කිරීම සඳහා මාධ්‍ය කරගත් බස නිර්මාණාත්මකව හසුරුවාගෙන තිබේ. ඉන් රස ජනනය කළ හැකිය. සාහිත්‍ය නිර්මාණයක රසය ජනනය කළ හැක්කේ එහි උපයුක්ත බස් වහරෙනි. මේ එබඳු තැන් බොහොමයක් අතුරින් එක් නිදසුනකි.

‘‘සියුම් හඬකින් ඔහු අවදි කරවනු ලැබීය. එම හඬ බෙන්තර ගංගා මිටියාවතෙහි රැව් පිළි රැව් දී ගෙන ගියේය. ඒ වූ කලී ඉතා සිත් ගන්නා වූත් ප්‍රිය ජනක වූත් ලෝක ආරම්භය පිළිබඳ හඬක් විය...’’(පාලම යට රාත්‍රියක් )

කෙටිකතාකරුවා බස අලංකාරවත් ව යොදා ගැනීම සඳහා රූඩ් අර්ථ අලංකාරව භාවිත කරයි. ඒ මෙසේය.

*අතු ගා පවිත්‍ර කරන ලද මිදුල සිනාසෙන්නාක් බඳුය.

*කිරි වෙහෙර බිම මතුපිට එම සංගීත රාවය ගලා බසී.

* අවට සිටියෝ නිසොල්මන්ව එයට කන්දී සිටිති.

* ඇය සමඟ ගෙදර ප්‍රීතිය ද ඕ රැගෙන ගියා ය.

ඒ සමඟ ම මෙබඳු වාක්‍ය යෝජන මඟින් බස අලංකාරවත් ව යොදයි.

*ඔහු තමා රැක බලා ගත්තේ ආදරයෙන් නොවේ යැයි කිව නොහැකිය. (සියඹලා ගහ යටට එන්න)

*සාරිය ඇයට කීකරු වන බවක් නොපෙනේ(එම)

*නියර උඩ දී පය තියලා තියෙන්නේ ‍ෙපාළෙගෙකුගේ ඇඟ උඩට (සියඹලා ගහ යටට එන්න.)

එක් එක් කෙටිකතාවේ ඇතුළත් චරිත තෝරාගැනීම, නම් කිරීම හා නිරූපණය කිරීම, සිද්ධි පාඨකයාට සමීපකරවීම සඳහා භාවිත කළ විවිධ සාහිත්‍යාත්මක සංකේත සමස්ත කෙටිකතාව තුළ ම අන්තර්ගත භාෂා ශක්තිය. අන්තර්ගත තේමාව මඟින් ලබා‍දෙන ජීවන පරිඥාන දර්ශනය. හා විශේෂයෙන් සාහිත්‍ය නිර්මාණයක් කියවීමෙන් පාඨකයාට ලැබිය යුතු සහන ශීලිත්වය යන අංශ යටතේ සලකා බැලීමේ දී නූතන කෙටිකතාව මෙවන් මගක යා යුතු බව අපට හැ‍ඟේ.

Comments