පුහුණුවීම් කරද්දී මං දවසක්ම පොලිස් කූඩුවේ ලැග්ගා | සිළුමිණ

පුහුණුවීම් කරද්දී මං දවසක්ම පොලිස් කූඩුවේ ලැග්ගා

රු. 6000ක දඩයකුත් ගෙව්වා

යතුරු පැදියේ හිටගෙන ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබූ ගමේ කොල්ලා 

බොහෝ දෙනාට සිය ජීවිතයේ යම් යම් දේ පිළිබඳ සිහින තිබේ. ඇතැම් දෙනා ඒ සිහින සැබෑ කරගැනීමට ජීවිත පවා පරදුවට තබති. තවත් අය කිසිම ලාබ ප්‍රයෝජනයක් නොපතා යම් අරමුණු ඔස්සේ යමින් සිය අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ දරති. මේ සියල්ලටම අවශ්‍ය වන්නේ නොපසුබට උත්සාහය හා ධෛර්යයි. තරිඳු ඉෂාර ද කොතෙක් බාධා එළැඹියද දැඩි උත්සාහය නිසා සිය අභිප්‍රාය මුදුන් පමුණුවා ගත් තරුණයෙකි. ඒ නිසාම අප රටේ නම ලෝකයට ගෙන ගිය ගමේ කොල්ලෙකි. තරිඳු සිය නම ලෝකයට ගෙන ගියේ පැවැති ගිනස් වාර්තාවක් බිඳ හෙළා නව ගිනස් වාර්තාවක් පිහිටුවමිනි.

යතුරුපැදිය මත හිටගෙන පැයට කි.මී. 60-70 අතර වේගයකින් අඛණ්ඩව කි.මී.85 ක දුරක් පැද යෑමෙන් පසුගියදා ලෝක වාර්තාවක් පිහිටුවාලූවේ ගොකරැල්ල, පොල්ගොල්ල ගමේ පදිංචි ආර්. එම්. තරිඳු ඉෂාර අකලංක මැටිකුඹුර තරුණයාය. විසිතුන් හැවිරිදි තරිඳු මේ වාර්තාව පිහිටුවාලූයේ පසුගිය පෙබරවාරි 16 වැනිදාය. අනුරාධපුරයේ සිට ඇල්ල හරහා කුරුණෑගල මාර්ගයේ කුරුණෑගල සාරගම දක්වා යතුරුපැදිය මත හිටගෙන යතුරුපැදිය අඛණ්ඩව ධාවනය කරමින් ඔහු විසින් මෙම ලෝක වාර්තාව පිහිටුවනු ලැබීය.

ගිනස් වාර්තා කමිටුවේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ මෙම යතුරු පැදි ධාවනය සිදු කෙරිණ. යතුරුපැදිය මත හිටගෙන යතුරු පැදිය ධාවනය කර මෙතෙක් ලෝක වාර්තාවක් හිමිකරගෙන සිටියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි රත්නේශ් පාන්ඩේ නමැති තරණයායි. ඒ බව ලෝක වාර්තා පිළිබඳ අන්තර් ජාලයේ දක්වා ඇති සටහනක දක්වා තිබේ.

රත්නේශ් පාන්ඩේ ලෝක වාර්තාව පිහිටුවා තිබු‍ණේ කිලෝ මීටර් තිස් දෙකයි දශම තුනක දුරක් යතුරුපැදිය මත හිටගෙන ධාවනය කරවීමෙනි. ඔහු ලෝක වාර්තාව තබා ‍ඇත්තේ 2015 දෙසැම්බර් 05 වැනි දිනය. ඒ අනුව බලන කල අපේ ගමේ කොල්ලා එම දුරමෙන් තුන් ගුණයකට ආසන්න දුර ප්‍රමාණයක් ධාවනය කරමින් මෙවර පිහිටුවා ඇත්තේ සුවිශේෂී ලෝක වාර්තාවකි.

තරිඳු ඉෂාර සිය සහජ හැකියාව මොනවට පෙන්නුම් කරමින් ලෝක වාර්තාව පිහිටුවූ දිනයේ අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා මඟ දෙපස රැඳී සිටි දහස් සංඛ්‍යාත ජනතාව ජනතාව ප්‍රීති ඝෝෂා නංවමින් ඔහු දිරිමත් කළේය.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් තරිඳු අප හා මෙසේ පැවසීය.

“මට මේ තරම් දුරක් එන්නට එක්තරා සිද්ධියක් ප්‍රධාන වශයෙන් හේතුවුණා. මීට වසරකට පමණ ඉහතදී මම කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යතුරුපැදිය මත හිටගෙන ධාවනය කරමින් පුරුදු වීම් කරද්දී ගොකරැල්ල පොලීසිය මගින් මා අත්අඩංගුවට ගනු ලැබුවා. මම දවසක්ම පොලිස් කූඩුවේ හිටියා. අනතුරුදායක ලෙස යතුරුපැදිය පැදවීමේ චෝදනාව යටතේ මා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රුපියල් 6000ක දඩයක් ගෙවන්නත් සිදුවුණා.

ඒත් මම මේ සිදුවීමෙන් අධෛර්යයට පත් නොවී කවදාහෝ මගේ හපන්කම් ලෝකයට පෙන්වනවා කියා එදා පොලිස් කූඩුවේ සිටම දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තා. මම අද මේ විශිෂ්ට ජයග්‍රහණය ලැබුවේ ඒ අධිෂ්ඨානය මත කටයුතු කිරීමෙන්. අධිෂ්ඨානයක් ඇතිකරගෙන ඒ අනුව නොසැලී ඉදිරියට ජයගත හැකිබව මා ඔප්පු කළා.

පුහුණු කටයුතු කරගෙන යෑමට ඉබ්බාගමුව - මඩගල්ල මාර්ගය යොදාගැනීම‍ට මට පොලිස් අවසරය ලබාගත හැකිවූයේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීම මතයි. ඇමැතිතුමා මට රුපියල් 50,000ක මූල්‍යාධාරයක්ද ලබා දුන්නා. එම සහයෝගය වෙනුවෙන් මා ඒ මහතාට මාගේ කෘතවේදීත්වය පුදකරනවා. ඒ වගේම මගේ මිතුරනුත් මට මේ සඳහා ‍‍බොහෝ උදව් උපකාර කළා. ඒ සහයෝගයද මා සදා සිහිපත් කරනවා.”

සිය පුතා කුඩා කල සිටම සයිකල් සඳහා විශාල කැමැත්තක් දැක්වූ බව තරිඳු ඉෂාරගේ මව චන්ද්‍රා සමරසිංහ මහත්මිය සඳහන් කරන්නීය.

“පුතා පොඩි කාලේ සිටම සයිකල් පිස්සෙක්. මුලින්ම හපන්කම් පෙන්නුවේ පාපැදියෙන්. පාපැදියේ ඉස්සරහ රෝදය උඩට ඔසවාගෙන තනි රෝදයෙන් පැදගෙන යද්දී අපට මහත් බියක් ඇති වුණා. ගමේ අතුරුපාරවල්වල සහ වැව් පිටිවල එයා පාපැදියෙන් සෙල්ලම් පෙන්නුවා. පස්සෙ පොඩි චැලියකින් හපන්කම් පෙන්නන්න පටන් ගත්තා. පස්සෙ තමයි යතුරු පැදියෙන් හපන්කම් පෙන්නන්න පටන්ගත්තෙ. අපි දුප්පත්. අපේ නෑදෑයෝ කවුරුවත් මෙහේ නැහැ. අපට උදව් උපකාර කළේ අවට ගම්වාසීන්. පුතාට හොඳ මිතුරන් පිරිසක් ඉන්නවා. ඒ පිරිසගේ ලද සහයෝගය නිසයි පුතාට මෙතරම් දුර ගමනක් එන්න පුළුවන් වුණේ.”

Comments