සමාජ මාධ්‍ය අවහිර කොට ප්‍රධාන මාධ්‍ය ගැන නිහඬවීම | සිළුමිණ

සමාජ මාධ්‍ය අවහිර කොට ප්‍රධාන මාධ්‍ය ගැන නිහඬවීම

 මාර්තු මස හත්වැනිදා බදාදා උදෑසන ෆේස්බුක් අවකාශය නොසෑහෙන ලෙස මන්දගාමී විය. දහවල වනවිට කිසිසේත්ම ඊට ප්‍රවේශ වන්නට නොහැකි විය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක අමාත්‍යාශයේ ඉල්ලීමක් පරිදි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දැනුම්දීමක් මත සේවා සපයන්නන් විසින් සියලුම සමාජ මාධ්‍ය අවහිර කර ඇති බවයි.

සමාජ මාධ්‍ය යනු තවදුරටත් කොල්ලන් හා කෙල්ලන් ප්‍රේම කිරීම සඳහාත් හුදු විනෝදය සඳහාත් යොදා ගන්නා මාධ්‍යයක් නොවේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම එයට ද ජන සමාජය තුළ ප්‍රබල ඉල්ලුමක් පවතී. ජනාධිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට ද සමාජ මාධ්‍ය ගිණුම් පවතී. ලෝකයේ බොහෝ රටවල එවැනි තත්ත්වයක් පවතී. මෙතරම් භාවිතාවක පවතින සමාජ මාධ්‍ය අවහිර කිරීමේ දී රජය විසින් කිසිම පූර්ව දැනුම්දීමක් සමාජ මාධ්‍ය භාවිතාකරන්නන්ට නොකිරීම නුසුදුසු ය. ඔවුන් කිසිම ආචාර ධාර්මික භාවිතාවක නොයෙදෙමින් හිටි හැටියේ එම ක්‍රියාව කළ අතර පසුව එවැන්නක් කිරීමට හේතු වූ කරුණු ඉදිරිපත් කරන්නට විය.

සමාජ මාධ්‍ය ගැටුම් ඇති කිරීමේ දී ප්‍රබල ලෙස යොදා ගත් බව ඇත්තකි. ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම්වලින් මෙන්ම සත්‍ය ගිණුම් වලින් ද සමහරු එම සමාජ විරෝධී ක්‍රියාවේ යෙදුනේ ලැජ්ජාවකින් මෙන්ම ආචාරශීලීභාවයකින් ද තොරව ය. මෙවර ඇතිවූ ගැටුම්වල දී ට වඩා සමාජ මාධ්‍ය යොදා ගනිමින් වාර්ගික ප්‍රචණ්ඩ හැඟීම් ඇති කළේ අලුත්ගම සිද්ධියේ දී යැයි කිව හැකිය. එහෙත් යම්තරමකට ගාල්ලේ ඇති වූ සිද්ධියේදීත් අම්පාරේ ඇතිවූ සිද්ධියේ දී යහමිනුත් සමාජ මාධ්‍ය යොදා ගනිමින් වාර්ගික බේද මෙන්ම වාර්ගික ප්‍රචණ්ඩ හැඟීම් ද ඇති කළහ. තෙල්දෙණිය සිද්ධියේ දී එය මනා සංවිධානාත්මකව කරමින් වාර්ගික හැඟීම්, ප්‍රචණ්ඩත්ව යොමු කිරීම් හා වාර්ගික අසමගියට හේතු වන අසත්‍ය පැතිරවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කළහ.

එහෙත් ඒ සමාජ මාධ්‍ය මේ වාර්ගික ගැටුම් ප්‍රතික්ෂේප කිරීමටත් ඒ පසුපස ඇති හාස්‍යජනක දේශපාලනයත් මනා ලෙස ඉස්මතු කළහ. විශේෂයෙන් අම්පාර සිද්ධියේ දී සමාජ මාධ්‍ය විසින් සාපේක්ෂව බැලුවහොත් වඩා විශාල මෙහෙයක් කළේ ගැටුමේ පසුපස ඇති බොරුව හෙළිදරව් කිරීමටයි. ඒ විශිෂ්ට ක්‍රියාව කළේ සමාජ මාධය භාවිත කරන හු‍ෙදකලා චරිත විසිනි. උදාහරණයකට මෙච්චර උනන්දුවෙන් කටයුතු කරන සිංහල බෞද්ධයන් හරක් මස් සමග පරාටා කන්නේ ඇයිදැයි හාස්‍යයෙන් ප්‍රශ්න කළේ සමාජ මාධ්‍යවල ය. එසේම සිංහල බෞද්ධයන්ට විෂ සහිත ආහාර ඇති බව ඔච්චරටම දන්නේ නම් මුස්ලිම් හෝටලවලට යන්නේ මන්දැයි උත්ප්‍රාසයෙන් ප්‍රශ්න කළේ සමාජ මාධ්‍යවල ය.

මේ ප්‍රශ්න කිරීම් වාර්ගික භේදයන් අවුලන සමාජ මතය ඛණ්ඩනය කරන්නා වූ ද එමෙන්ම ප්‍රබල ප්‍රති විරෝධයක් ඇති කරන්නා වූ ද තාර්කිකයකින් යුක්තය. අම්පාරේ සිද්ධියේ දී හෝටල හිමිකාර තරුණයාව ප්‍රචණ්ඩකාරීන් විසින් තම ග්‍රහණයට ගෙන ආහාරවලට "වඳ පෙති දැම්මා" යැයි ඔහු ලවා කියවා ගන්නා අවස්ථාව පිළිකුලෙන් බැහැර කරමින් එම අවස්ථාව මොනවට විග්‍රහ කළේ සමාජ මාධ්‍ය විසිනි.

මේ අන්දමින් වෙනදාට වඩා සක්‍රීය ලෙස සමාජ මාධ්‍යය භාවිතා කරමින් වාර්ගික ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කිරීමට බොහෝ දෙනෙක් කටයුතු කළහ. එම මැදිහත්වීම සිදු කළේ ස්වේච්ඡාවෙනි. කිසිම දේශපාලන ධාරාවක් නියෝජනය නොකරමිනි. එහෙත් එවැනි මාධ්‍ය භාවිතාවක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ට නොතිබුණි. රජයට ද නොතිබුණි.

තෙල්දෙණියේ දී ඇතිවූ සිද්ධියේදීත් සමාජ මධ්‍ය යම් මැදිහත්වීමක යෙදුණි. එහෙත් එම සිද්ධියේ දී සිංහල තරුණයකු ප්‍රහාරවලින් මිය යෑමේ කම්පනය බොහෝ දෙනෙකුගෙන් ප්‍රකාශ වුණි. ඒ කම්පනය තුළ මුස්ලිම් ප්‍රජාවේ විවිධ ක්‍රියාකාරකම් බරපතළ ලෙස ප්‍රශ්න කරන්නට ඔවුහු පෙලඹුණහ. ප්‍රචණ්ඩත්වය මර්දනය කරන්නටත් අසත්‍ය ප්‍රචාරයවීම වළක්වන්නටත් රජය අපොහොසත්වීම නිසා සිංහල ජන කොටස් කෝපයට පත්ව තිබුණි. ඒ ආවේගයන් සමාජ මාධ්‍ය තුළට ද ගලා ආවේ ය. එහෙත් ඒ කිසිම ක්‍රියාවක් කළමනාකරණය කර ගන්නට නොහැකි තරම් ආන්තික හෝ ප්‍රචණ්ඩ හෝ ක්‍රියාකාරකම් නොවේ.

සමාජ මාධ්‍ය තාවකාලිකව ෙහා් අවහිර කිරීම අදහස් ප්‍රකාශ කිරීමේ ජන සමාජය තුළ පවතින නෛසර්ගික අයිතිය උදුරා ගැනීමකි. එසේම ජන මාධ්‍යයේ නිදහස උදුරා ගැනීමකි. තියුණු පිහියක් කාර්යන් දෙකකට යොදා ගත හැකිය. එකක් සමාජ යහපත වෙනුවෙනි. අනෙක සමාජ අයහපත වෙනුවෙනි. එම තියුණු පිහිය සමාජ අයහපත වෙනුවෙන් යොදා ගැනීමට පවතින ඉඩකඩ නිසා එය තහනම් කිරීම කෙතරම් නම් අනුවණකමක් ද?

සමාජ මාධ්‍ය අවහිර නොකර තිබුණා නම් වාර්ගික නොසන්සුන්තාව හා ප්‍රචණ්ඩත්වය වපුරන අපරාධකරුවන් හඳුනා ගැනීමට රජයට අපූරු අවස්ථාවක් ලැබුණි. ඒ අනුව හඳුනා ගන්නා අපරාධකරුවන්ට නීතිය මගින් දඬුවම් දීමට ද හැකියාවක් තිබුණි. සමාජ මාධ්‍ය අවහිර නොකරමින් රජයට කරන්නට තිබුණේ එවැනි ප්‍රචණ්ඩ භාවිතාවක නිරතවන අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමයි. එසේම වාර්ගික අගතියක් ඇති කරවමින් ප්‍රචණ්ඩත්වයට දිරිදෙන සමාජ මතවාදය ඛණ්ඩනීය කරන අරමුණෙන් ඊට මුහුණදීමයි. ඒ සඳහා රජයේ මැදිහත්වීම මෙන්ම ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍ය භාවිත කරමින් සමාජ යුක්තිය උදෙසා කටයුතු කරන පිරිස්වල සහාය ලබා ගන්නට හැකියාවක් පැවතුණි.

සමාජ මාධ්‍ය තුළ වාර්ගික හැඟීම් ඇති කරන විට ප්‍රචණ්ඩත්වය වපුරන විට ඊට එරෙහිව ද මතයක් පළ කළ හැකිය. එහි ඇති බොරුව හෙළිදරව් කළ හැකිය. පසුගිය දිනවල වාර්ගික හැඟීමෙන් යුතුව සමාජ මාධ්‍ය භාවිතා කරන හැම විටම ඊට ප්‍රතිබද්ධ මතයක් තුළින් සමාජ විරෝධී අදහස් ව්‍යාප්තවීමට බාධා එල්ල කෙරිණි. නමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්ගික හැඟීමකින් අසත්‍ය වපුරනවිට ඊට ක්ෂණිකව පිළිතුරු දෙන්නට හැකියාවක් නොපවතී. ඒ නිසා සමාජ මාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සැලකිල්ලට ගතහොත් ඒවාට ආවේනික භාවිතාමය තත්ත්වයන් නිසා වඩා වැඩි අගතියක් කළ හැක්කේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ට ය.

මූලාශ්‍රය නොමැති නමුත් වාර්ගික හැඟීමකින් යුක්තව කර්තෘ වාක්‍ය පවා ලියන පුවත්පතක් සිංහල ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින්නේම එහි දෘෂ්ටිවාදයේ බරපතළ අවුලක් නිසා ය. නො එසේනම් වගකිවයුතු පුවත්පතක් ලෙස මූලාශ්‍රය නොමැතිව කතෘ වාක්‍ය ලිවිය නොහැකිය. එක් ප්‍රධාන සිංහල පුවත්පතක කර්තෘවරයාට අනුව තෙල්දෙණියේ ගැටුම සම්බන්ධයෙන් සිංහලයන් අත සියඹලා තිබිලාම නැත. සියල්ල කර ඇත්තේ මුස්ලිම්වරුන් ය. මේ කතා ප්‍රචණ්ඩත්වය මෙහෙය වූ "මහසෝන් බළකාය" පවා හාස්‍ය‍යෙන් සිනහ ගන්වන සුලු ය.

කොළඹ දී ශිෂ්‍ය උද්ඝෝෂණ මතුවන විට ආරක්ෂක අංශ පහර දී ඒවා මර්දනය කරන්නේ අමානුෂිකව ය. තඹුත්තේගම දී ගොවීන් උද්ඝෝෂණය කරන විට පහර පිට පහර දී ඒවා මර්දනය කරන්නේ අමානුෂිකව ය. එහෙත් ඒ ආරක්ෂක අංශම වාර්ගික ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට උත්සාහ නොදරති. ගාල්ලේ දී අම්පාරේ දී පමණක් නොව තෙල්දෙණියේ දී ද ඒ ආරක්ෂක අංශ සිටියේ නිද්‍රා සහගතව ය. මතු කී පුවත්පත් කතුවැකියට අනුව ආරක්ෂක අංශ එසේ නිද්‍රාසහගත වන්නේ මූල්‍ය අපරාධ අංශයට යන්නට වේ යැයි බියෙනි. එසේ නම් ඒ ආරක්ෂක අංශම කොළඹ දී හා තඹුත්තේගම දී වැරයොදා උද්ඝෝෂකයන්ට පහර දෙන්නට පෙලඹෙන්නේ ඔවුන් මූල්‍ය අපරාධ අංශයට ගෙන නොයනවා යැයි පිළිගත හැකි පොරොන්දුවක් ලැබී ඇති නිසාදැයි කියා පැහැදිලි කිරිමක් නැත.

රජය ප්‍රධාන ධාරාවේ මෙවැනි මාධ්‍ය භාවිතාවන් ගැන කිසිම අවධානයක් යොමු නොකරයි. වාර්ගික හැඟීමෙන් ද ප්‍රචණ්ඩත්වය ඉස්මතුව වන ලෙස ද මාධ්‍ය භාවිතාවේ යෙදීම සම්බන්ධයෙන් නිවැරැදි මැදිහත්වීමක් කරන්නේ නම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කළ යුතුය. එහෙත් මේ අවස්ථාවේ දී රජය එසේ කරන්නේ නැත. ඒ වෙනුවට සමාජ මාධ්‍ය අවහිර කරයි.

කේ.ජී. පිලිප් ශාන්ත
[email protected]

Comments