මේ ඩෙංගු මදුරු කීටයන් වර්ධනය වන කාලයයි | සිළුමිණ

මේ ඩෙංගු මදුරු කීටයන් වර්ධනය වන කාලයයි

මේ දිනවල පවතින වැසි සමඟ ඩෙංගු මදුරු කීට ගහනයේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමට වහා පියවර ගත යුතු බව කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ කීට විද්‍යාඥ වින්ධ්‍යා සුභාෂිණී ආර්යප්‍රේම සඳහන් කරයි.

බොහෝ අය ඩෙංගු මර්දනයට යොමු වන්නේ ඩෙංගු රෝගීන් වාර්තා වූ පසුව බව පැවසූ ඇය මේ හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය ඉතා අසීරු වී ඇති බව සඳහන් කරයි.

වර්ෂා කාලයේ වර්දනය වන මදුරු කීටයන්ගෙන් ඩෙංගු වයිරසය ජනතාව තුළ ශරීරගත වී රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගත වන බවත්, රෝගීන් වාර්තා වූ පසු රෝගය පැතිරීම පාලනය කිරීමට අපහසු වන බවත් ඇය පවසයි.

මෙවසරේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ අප කළ විමසීමකදී ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගය පාලනය කර ඇති බවයි. 2017 වර්ෂයේ මේ කාලය වන විට ‍ඩෙංගු රෝගීන් එක් ලක්ෂ පනස්දාහක් (1,50,000) වාර්තා වූවත් මෙවසරේ මේ වන විට වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් ගණන 40,000ක් පමණ බවත්, මෙවසරේ වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 45ක් බවත් ඇය කීවාය.

Comments