සදාචාරය ප්‍රශ්න කිරීම! | සිළුමිණ

සදාචාරය ප්‍රශ්න කිරීම!

අදින් සතියකට පමණ පෙර ඔක්තෝබර් මස 26 වනදා මේ රටේ සිදු වූ දේශපාලන බල පෙරළිය බොහෝ දෙනකුට එක්වරම අදහාගත නොහැකි වූ බවක් පෙනෙන්නට තිබිණ. වසර තුනහමාරකට පෙර 2015 ජනවාරි 08 වනදා රට තුළ සිදු වූ දේශපාලන විප්ලවයට දායක වූ බොහෝ දෙනෙක් මෙවර සිදුවූ බල පෙරළිය දෙස බලන්නේ කම්පාවෙනි. එය සාමාන්‍යයෙන් අපේක්ෂා කළ යුතු, සිදුවිය හැකි සාමාන්‍ය තත්ත්වයයි.

සත්‍ය වශයෙන් ම පසුගිය සතියේ අප රටේ සිදුවූයේ කුමක්ද? සාමාන්‍යයෙන් බල දේශපාලනයෙහි සිදුවිය නොහැකි කිසිවක් නොමැති තත්ත්වයක් තුළ පමණක් නොව, ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන ක්‍රියාකාරීත්වය විමසා බැලීමේ දී ද එය පිළිගත යුතුව ඇති යථාර්ථයක් බව තේරුම් ගැනීමට හැකිවනු ඇත. එසේ ඒ බව තේරුම් ගැනීමට අකැමැති හා ඒ සඳහා වන දැක්මකින් හා දැනුමකින් තොර බොහෝ දෙනෙක් අද වනවිට මෙකී සංසිද්ධිය විමසා බැලීමට උත්සාහ කරන්නේ හුදු සදාචාරාත්මක කෝවකට ඔළු ගෙඩි රිංගවමිනි. එහි දී ඔවුන්ට නොපෙනෙන එකම දේ ඒ අවට දැකිය හැකි කටුක යථාර්ථයයි.

ජනවාරි 08 ජනතා බලවේගය විසින් බලයට පත්කරන ලද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ බලයට මුවා වෙමින් ආණ්ඩු බලය අත්පත් කරගත් රනිල් වික්‍රමසිංහ මහතා අතර පුපුරා ගිය අර්බුදය හුදු පුද්ගලික හෝ පක්ෂ අතර සිදුවිය හැකි සාම්ප්‍රදායික ගැටුමක් නොවේ. නියතවශයෙන්ම සිදුවීම්වල පරිණාමයන් තුළ නොවැළැක්විය හැකි අවසන් කෙළවරකි. බොහෝ දෙනෙක් නොදන්නවාට එම ගැටුමේ ආරම්භය සටහන් වන්නේ 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව පාලනයේ වෙනසක් සඳහා ඡන්දය ප්‍රකාශ කර පැය කිහිපයක් යාමටත් පෙර දී ය.

එදා රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ඉල්ලා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි වූ විධායක ජනාධිපති බලතල අග්‍රාමාත්‍යවරයාට පවරා දෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමිනි; නාමික ජනාධිපතිවරයෙක් ලෙස ඉදිරි කාලයේ දී කටයුතු කරන ලෙසටයි. ඒ අනුව ජනවරමකින් වෙනකකු වෙත හිමි වූ බලය කූට උපායමාර්ගයන් හරහා තමන් වෙත අත්පත් කරගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරා ඇත්තේ අදින් වසර තුනහාමාරකටත් පෙර දී ය. මහබැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන්නේ ද ඉන් මාස දෙකක් ගතවීමටත් පෙර ය. ඒ බව හෙළිදරව් වීමත් සමඟ ම ජනාධිපතිවරයා සිදුකර ඇති ඉල්ලීම වී ඇත්තේ අගමැතිවරයා කැදවා ශිෂ්ට සම්පන්න ලෙස ඉල්ලා අස්වන ලෙස ඔහුට දැනුම් දීම ය. එදා ඔහුගෙන් දක්නට ලැබුණ එ් අවනත නොවීම ගෙවීගිය වසර තුනහමාරක ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ ද මැනවින් දැකගත හැකි විය.

එයාර් ලංකා සමාගමේ සිදු ව ඇති දූෂණ, දේශීය හා විදේශීය සමාගම්වලට රාජ්‍ය සම්පත් විකුණා දැමීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ රාජ්‍ය බැංකු ගණනාවක සිදුව ඇති සැක කටයුතු ගනුදෙනු හා අයථා ක්‍රියාමාර්ග, අප සතු එක ම වරාය පර්යන්තයට ඉන්දියාව කැඳවීම සඳහා සිදුකරන ලද කූට සැලසුම් වැනි ඕනෑ තරම් උදාහරණ ඒ අතර දැකගත හැකිය. මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සැලසුමක් ඇති බවට කරුණු හෙළිදරව් වන්නේ ඒ සියල්ල අතරේ දී ය.

අප රටේ සිදුව ඇති රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිහිපයක මහා බණ්ඩාරනායක ඝාතනය වැනි අපරාධ සහ දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳ සැලකීමේ දී එදා පැවැති රජයන් එහි දී ගෙන ඇති ක්‍රියාමාර්ග හා එදා රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවට හෙළිදරව් වීමේ දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය අහසට පොළොව තරම් වෙනස් ය. රටක වගකිව යුතු නායකයකුට තීරණයක් ගැනීම සඳහා ඒ කරුණු හොඳට ම ප්‍රමාණවත් ය. එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලැබූ තීන්දුව ප්‍රශ්න කරමින් දේශපාලන සදාචාරය ගැන කතා කරන්නට පෙර රනිල් වික්‍රමසිංහ මහතාගේ සදාචාරය විමසා බැලීම ඉතා වැදගත් වනු ඇත. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරළා බලමින් නීති තර්ක ගෙනහැර පෑම අවශ්‍ය නොවන වග තේරුම් ගත යුුතුය.

අදහස්