දූෂණ-කළු වලා වෙළුණු ගාල්ලෙන් ඇරැඹෙයි | සිළුමිණ

දූෂණ-කළු වලා වෙළුණු ගාල්ලෙන් ඇරැඹෙයි

ටෙස්ට් තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා එනම් 06 දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි ආරම්භ වෙයි. මීට මාස කිහිපයකට පෙර අල්ජසීරා රූපවාහිනිය එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ මෙකී තරගය ඔට්ටු කරුවන්ට අවශ්‍ය ආකාරයට පාවාදීමට සැකසූ පිඹුරුපත් එළිදරව් කිරීමත් සමඟ ම ඇති වූ කළු පැල්ලම තවමත් ‍ලාංකේය ක්‍රිකට් භූමියේ හොල්මං කරන බව පැහැදිලිය.

මෙම ටෙස්ට් තරගයේ ප්‍රතිඵල වෙනස් කිරීම සම්බන්ධයෙන් තණ තීරුව ඔට්ටුකරුවන්ට අවශ්‍ය ආකාරයට සකසා ගැනීම සඳහා ක්‍රීඩාංගණයේ තණ තීරු භාරකරුවන්ට අල්ලස් ලබාදීම පිළිබඳ අල්ජසීරා රූපවාහිනිය වැඩසටහනක් මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත කළු පැල්ලමක් එල්ල කළේ මීට මාස කිහිපයකට පෙරය. මෙකී වැඩසටහන පිළිබඳ සිය අවධානය යොමු කරන බවද පැවැසූ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය ICC පවත්වන ඕනෑ පරීක්ෂණයකට සහාය ලබා දෙන බව ද පැවැසීය.

ගාල්ල ක්‍රීඩාංගණයේ තරග පාවාදීම් පිළිබඳ චෝදනා එල්ල වූ ප්‍රථම වතාව ද මෙය නොවේ. හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද මිට පෙර ගාල්ලේ පැවැති තරගයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල ‍‍කළේය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයක් සම්බන්ධවය. එහිදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පැවැසුවේ අපට පැහැදිලිවම තොරතුරු ලැබුණා ක්‍රීඩකයන්ට තරග පාවාදිම සඳහා යෝජනා ඉදිරිපත් වුණා කියන එක. ඒ කුසල් ජනිත් පෙ‍ෙර්රා සහ රංගන හේරත්ට, ඔවුන් පැහැදිලිව ඒ යෝජනා ප්‍රතික්ෂේප කර තිබුණා යැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

ගාල්ල ක්‍රීඩාංගණය බාරව කටයුතු කළ ජයනන්ද වර්ණවීරට දූෂණ චෝදනා මත ඔහුගේ සේවය වසර තුනකට ICC දූෂණ විරෝධී ඒකකය තහනම් කළේ මීට වසර දෙකකට පෙරය. ඒ ICC දූෂණ විරෝධී ඒකකය විසින් පවත්වනු ලැබූ විමර්ශන කටයුතු සඳහා සහාය දැක්විමට අසමත් වීම නිසාය. තරග පවතින අතරවාරයේ ගාලු තණ තීරුවේ තොරතුරු පිටතට ලබාදීම පිළිබඳ වර්ණවීරට චෝදනා එල්ල වී තිබුණි. තරග පාවාදීමට අදාළව තණ තීරුවේ තොරතුරු පිටතට ලබාදීම කලක් මුළුල්ලේ ම කරගෙන ගිය බවට ඇතිවූ සැකය මත වර්ණවීරට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රකාශ සටහන් කර ගැනීමට අවස්ථා දෙකකදී ම පෙනී නොසිටීම, එසේ පෙනී සිටීමට නොහැකි වීම පිළිබඳ කරුණු දැක්වීමට අපොහොසත් වීම වර්ණවීරට තහනමක් පැනවීමට හේතු වූ ආසන්න සාධකයන්ය.

පසුගිය වසරේ ඉන්දු - ලංකා ටෙස්ට් තරගාවලියේ ගාලු තරගයේ (ජූලි 26 - 29) තණ තීරු සැකසීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණුවලට පටහැනිව තණතීරු සැකසූ බවද ලසිත් මාලිංග චෝදනා කළේ ලා‍ංකේය ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටිම නවතා ගැනීමට හා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පත් කරන ලද කමිටුව හමුවේ අදහස් දක්වමින්ය. එහිදී මාලිංග වැඩිදුරටත් පැවැසුවේ අපි තණකොළ තියෙන විකට්ටුවක් ඉල්ලන කොට ඔවුන් අපට ලබා දුන්නේ තට්ටයක් ව‍ෙග් ගාපු තණ තීරුවක්. ඇයි එහෙම කළේ කියලා අහන කොට ඒක මැෂිං එකේ වරදක් කියලා මග හැරියා. මේ දේ වුණේ එක පාරක් නොවෙයි. මේවා බලධාරින්ට කියන‍කොට ගණන් ගන්නෙත් නෑ. මාලිංග වැඩිදුරටත් පැවැසීය.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයේ පසුවෙමින් එංගලන්තය මේ ටෙස්ට් තරගාවලියට එක්වන විට ශ්‍රී ලංකාව හය වැනි ස්ථානයේ පසුවෙයි. එංගලන්ත කණ්ඩායම මේ ටෙස්ට් තරගාවලියට එක් වන්නේ මවුබි‍මේදි ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමෙන් අනතුරුවය. එමෙන් ම එංගලන්තයේ සුපිරි ආරම්භක පිතිකරුවකු වන ඇලෙස්ටෙයාර් කුක් නොමැතිවය. එංගලන්තයේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වන කුක් වසර දොළහක සිය ටෙස්ට් දිවියට සමු දුන්නේ පසුගියදා අවසන් වූ ඉන්දීය තරගාවලියත් සමඟමය. එමෙන් ම මෙකී ගාලු තරගයේ ලොව සුපිරි වමත් දඟ පන්දුකරු වන රංගන හේරත් ද සිය සමු ගැනීමේ තරගය කරගෙන තිබීම විශේෂත්වයකි. ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභි පන්දු යවන්නා වන මුරලි සිය ටෙස්ට් දිවිය නිමා කළේ ද ගාලු තරගයේ දීය.

මේ අතර එංගලන්තයේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභි පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ද මේ ටෙස්ට් තරගාවලියේ එංගලන්තය සමඟ එක්වෙයි. නිමා වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම වේග පන්දු යවන්නා බවට පත් වීමට ද ඇන්ඩර්සන්ට හැකි විය. ටෙස්ට් ඉතිහාසයේ වැඩි ම කඩුලු ලාභි පන්දු යවන්නන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන්නේ ද ඇන්ඩර්සන්ය. මුරලි (800), ෂේන් වෝන් (708) අනිල් කුම්බ්ලේ (619) ඇන්ඩර්සන්ට වඩා ඉදිරියෙන් සිටින සුපිරි දඟ පන්දු ත්‍රිත්වයයි.

එංගලන්තය ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගාවලියකට එක්වන්නේ වසර හයකට පසුවය. අවසන් වරට දෙපිල අතර මෙරට පැවැති ටෙස්ට් තරගාවලිය 1 - 1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය. ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට මුහුණ දුන් 1982 පටන් 2016 දක්වා දෙපිල අතර තරග 31 ක් පවත්වා තිබෙන අතර එංගලන්තයට ජයග්‍රහණ 12 කි. ශ්‍රී ලංකාවට 8 කි. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග 11 කි. දිනේෂ් චන්දිමාල් යටතේ ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙන විට එංගලන්තය ජෝ රූට් පෙරටු කරගෙන ගාලු ජාත්‍යන්තර පිටියෙන් (6 - 10) ටෙස්ට් තරගයට අවතිර්ණ වෙයි. දෙවැනි තරගය (14 - 18) පල්ලෙකැලේ සහ තෙවැනි තරගය (23 - 27) එස්.එස්.සී. පිටියෙහි පැවැත්වෙයි.

අදහස්