පාසල් මලල ක්‍රීඩා කෙළිබිම ජය බිමක් කරගත් ශාන්ත පීතර විද්‍යාලය | සිළුමිණ

පාසල් මලල ක්‍රීඩා කෙළිබිම ජය බිමක් කරගත් ශාන්ත පීතර විද්‍යාලය

පොළො‍ව යට වැළලී තිබෙන මැණිකක අගය දැනෙන්නේ එය සොයා ගෙන ඔප මට්ටම් කළ විටය. ‍එසේම යමකු තුළ සැඟව පවත්නා සහජ ක්‍රීඩා කෞශල්‍යයන් රටට, ලෝකයට පෙනෙන්නේ ද එය වැර වෑයමෙන් ඉස්මතු කරගත් තරමටය. එසේ මතු කරගත් ක්‍රීඩා කෞශල්‍යයන් රටක්- ජාතියක් නියෝජනය කරන්නට නම් ඊට හයිය හත්තිය තිබිය යුතුය. අපේ රටේ පමණක් නොව, මුළු මහත් ‍ලෝකයාගේම කතාබහට ලක්වන ලෝක පුජීත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවිය සහ ශක්තිය දෙන පාසල් මේ දැවැන්ත කාර්යය පසුපස ඉටු කරන්නේ නිහඬ සේවයකි. මෙයින් පළමුව ක්‍රීඩාවත්, දෙවනුව ඊට දායක වූ ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ද තෙවැනුව ඊට දායක වූ පාසල් ද බැබළෙන්නට මඟ හසර පෑදෙනු අපි කොතෙකුත් දැක ඇත්තෙමු.

එහෙත් අප බොහෝවිට හඳුනා ගන්නේ අපට පෙනෙන ක්‍රීඩාව සහ එහි නිරත වන්නන් වීම ඊට සවිය බලය සපයන පාසල නොවේ. ගහට පොත්ත මෙන් බැඳි පවතින මෙකි සබැදියාව එකට ගැට ගසන්නට ගන්නා උත්සාහයකි මේ.

ගෙවී යන වසරේ ලාංකේය පාසල් මලල ක්‍රීඩා කෙළිබිමේ ජය කෙහෙළි නංවමින් ඉදිරියට පැමිණි බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය වසර නිමා කරන්නේ සමස්ත ලංකා පාසල්, සර් ජෝන් ටාබට් කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ සහාය දිවිමේ තරගාවලි සියල්ලම ජය ගනිමින්ය. මීට පෙර මෑත ඉතිහාසයේ මෙවන් ජයග්‍රහණයක් හිමි කර ගෙන තිබුණේ මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයයි. මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය 2013 සහ 2014 දෙවර්ෂයේම අඛණ්ඩව පාසල් මලල ක්‍රීඩා පිටිය ජය බිමක් කර ගත්හ. මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයට පසුව මෙවන් ජයක් හිමි කර ගත්තේ ශාන්ත පීතර විද්‍යාලයයි.

වසර 96 ක ඉතිහසයකට හිමිකම් කියන ‍ශාන්ත පීතර විද්‍යාලය එතෙක් මෙතෙක් පාසල් මලල ක්‍රීඩා කෙළිබිමේ සැලකිය යුතු ජයග්‍රහණ හිමි කර ගත්තද සමස්තයක් ලෙස ගත් කළ ලාංකේය පාසල් කෙළිබිම ජය බිමක් කරගත් ප්‍රථම වතාව මෙය වෙයි.

ශාන්ත පීතර විද්‍යාලයේ ප්‍රධාන අදියුරු ට්‍රෙවෝ මාටින් පියතුමාගේ මඟ පෙන්වීම මහ උප අදියුරු සමිත් රංගන ප්‍රනාන්දු සහ ක්‍රීඩා බාර තිළිණ පැතුම් පියතුමන්ලාගේ ප්‍රමුඛ මලල ක්‍රීඩා පුහුණු කාර්යය මණ්ඩලය මෙකී ජයග්‍රහණය පසු පස දැවැන්ත සෙවණැල්ලක් වී තිබේ.

ඡායාරූපය - රංජිත් අසංක

අදහස්