රංගන හේරත් ටෙස්ට් කරළියෙන් බැස යයි | සිළුමිණ

රංගන හේරත් ටෙස්ට් කරළියෙන් බැස යයි

උපත -1978 මාර්තු 19

උපන් පළාත- කුරුණෑගල

පිතිහරඹය - වමතින්

පන්දු යැවීම - වමත් දඟ පන්දු

ක්‍රීඩා කළ කණ්ඩායම් - ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ඒ, කඳුරට මෙරූන්ස්, කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය, ටැමිල් යුනියන්, වයඹ, හැම්ප්ෂයර්, ‍සරේ (එංගලන්තය)

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 06 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් සිය ටෙස්ට් දිවිය නිමා කර ලන්නට සුපිරි දඟ පන්දු යවන්නකු වන රංගන හේරත් සැරසෙයි. ඔහු පොල්ගහවෙල ශාන්ත බර්නදෙත්, නාරම්මල මයුරපාද සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාරා තිබේ. රංගන ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා ඇත්තේ මයුරපාද විද්‍යාලයේදීය. මයුරපාද විද්‍යාලයේ දැක්වූ දස්කම් මලියදේව විද්‍යාලය දක්වා පැමිණීමට රංගනට දායක වී තිබේ. රණුග සහ රවිත් රංගනගේ පුතුන් දෙදෙනායි. රංගනගේ දිවි මගෙහි සෙවණැල්ල සේනානියි.

රංගන හේරත් ටෙස්ට් තරගවලට ක්‍රීඩා කළේ 1999 සිට 2018 දක්වාය. එහිදී තරග 92 කි. ඒ මෙවර එංගලන්තය සමඟ පැවැත්වෙන පළමු තරගයට පෙරය. ඉහත ටෙස්ට් තරගවලදී රංගන තරගයේ වීරයා සම්මාන 11 ක් හිමිකර ගෙන සිටියි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම තරගයේ වීරයා සම්මාන හිමිකර ගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ ජාක්ස් කාලිස්ය.

කාලිස් 1995 - 2013 දක්වා ක්‍රීඩා කළේය. එහිදී තරග 166 කි. තරගයේ වීරයා සම්මාන 23 කි. එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ටය. මුරලි 1992 - 2010 අතර ක්‍රීඩා කළේය. එහිදී තරග 133 කදී සම්මාන 19 කි.

වැඩි ම ටෙස්ට් තරගමාලා වීරයා සම්මාන හිමිකර ගත් ක්‍රීඩකයා වන්නේත් මුරලිමය. ඒ තරගමාලා 61 කදී සම්මාන 11 කි. රංගන තරගමාලා 46 කදී වීරයා සම්මාන 05 ක් හිමිකර ගැනීමට සමත් වී තිබේ.

ඔබේ සම්පූර්ණ නමින් ම කතාව පටන් ගත්තොත්?

හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත්.

කවුරුද නම තිලා තියෙන්නේ?

අම්මයි - තාත්තයි.

විශේෂ හේතුවක් එහෙම තිබිලා තිබෙනවාද?

ඒක නම් මම හරියට දන්නේ නෑ. මම හිතන්නේ නම් නෑ එහෙම හේතුවක් තියෙන්න ඇති කියලා. අම්මයි - තාත්තාගෙයි කැමැත්තට තිබ්බ නමක් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා.

සම්පූර්ණ නම කරදරයක් වෙච්ච අවස්ථා එහෙම තියෙනවාද?

සමහර අවස්ථාවලදි ලියන්න එහෙම අපහසුතා වෙච්ච තැන් නැතුව නෙවෙයි. හැබැයි එහෙම කියලා කරදරයක් නම් නෑ. මීට වඩා දිග නම් තියෙන අය තව ඉන්නවා. අපේ රටේ සාමාන්‍ය නමක් කියලා හිතනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් පටන් ගත්ත ටෙස්ට් ජීවිතය ගාල්ලෙන් ම නිමා කරන්න යනවා. දශක දෙකක් ක්‍රීඩා කර මේ ඉතිහාසය දිහා හැරිලා බලන කොට මොනවාද හිතෙන්නේ?

සතුටු වෙන්න තියෙන කාරණා ගොඩක් තියෙනවා. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබෙන ‍එකම ලොකු දෙයක්. විශේෂයෙන් අපේ රටේ මිලියන 20 කට ටිකක් වැඩි ජනගහණයක් ඉන්න රටක ඉතාමත් අඩු ගණනකට තමයි ක්‍රිකට් ආයතනයේ තියෙන නාම පුවරුවේ තියෙන්නෙත් නම් එකසිය හතළිස් ගණනක් විතරයි. ඒ අතරින් එක් කෙනෙක් මම. ඒකම ලොකු භාග්‍යයක් විදියට සලකනවා.

මේ දශක දෙක පුරාම මම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා නෑ. එළියට ගිහින් තියෙනවා. ඇතුළට ඇවිත් තියෙනවා. මේ කාලය තුළ ලොකු පළපුරුද්දක් ලැබුවා. මේ දේවල් මගේ සාමාන්‍ය ජීවිතයටත් ක්‍රිකට් ජීවිතයටත් උදව් වුණා.

මේ ගමන තනියම ආපු ගමනක් නෙවෙයි?

සත්තකින් ම. ඇත්ත කියන්න ඕනෑ. නම් වශයෙන් නොකිව්වත් මේ ගමන පිටිපස්සේ ගොඩක් අය ඉන්නවා. අම්මා තාත්තාගේ ඉඳලා මගේ වටේ හිටපු හැමෝගේ ම එකතුවක් සමඟ ආපු ගමනක් කිව්වොත් මම හරි කියලා හිතනවා.

මේ දීර්ඝ කාලයෙන් ඔබ නිකරුණේ ගෙවා දැමූ වසර 7 - 8 ක් තිබුණා? හැබැයි ඔබ අතහැරියේ නෑ. මොකක්ද රහස?

ඔව්. ඒ වගේ දීර්ඝ කාලයක් මගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම කාලය නිකම් ම ගෙවුණා. මගේ පළවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායම බැලුවොත්, සනත් (නායකයා), මාවන්, රොමේෂ්, මහේල, අරවින්ද, අර්ජුන, මුරලි, වාස්, ප්‍රමෝද්‍ය, නුවන් සොයිසා, ආර්නල්ඩ් වගේ දැවැන්තයෝ එක්ක තමයි මට ක්‍රීඩා කරන්න ලැබුණේ. 1999 පළමුවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන කොට මට අවුරුදු 21 යි. මම ඒ වෙලාවේ හිතුවේ මගේ හැකියාවක්, දක්ෂතාවක් තියෙන්න ඕනෑ, ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න කියලා.

ඒ වගේ ම මට මං ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. කණ්ඩායමෙන් එළියට ගියත්, මම ඒ දවස්වල ක්‍රීඩා කළේ මුවර්ස් ක්‍රීඩා සමාජයට, එතැන විකට් අරගෙන මට ආයෙත් කණ්ඩායමට එන්න පුළුවන් කියන විශ්වාසය මගේ හිතේ තිබුණා. මම දිගින් දිගට ම ටීම් එකෙන් එළියට ගියාට, විසි වුණාට, ක්‍රීඩා සමාජ තරගවලදි වැඩි වැඩියෙන් විකට් අරගෙන මගේ දක්ෂතා වර්ධනය කර ගත්තා. එහෙම අවුරුද්දෙන් අවුරුද්ද යන කොට පළපුරුද්දත් ඉබේම වගේ ම එනවා. දැනුමත් මේ කාලයේ එකතු වෙනවා. දැනුම පළපුරුද්ද එක්ක මම ආයෙත් කණ්ඩායමට ආවා.

මේ මඟින් ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය වුණා?

ඇත්තට ම, ඔව් මම කරන්න ඕනෑ මොනවාද කියලා දැනගෙන හිටියා. විශේෂයෙන් මුරලිගේ දෙවැනි දඟ පන්දු යවන්නා විදියට තමයි මම ක්‍රීඩා කළේ. මගේ භූමිකාව මොකක්ද, මොන වගේ තරගද, වටපිටාව ගැන එහෙම මට හොඳ අවබෝධයක් තිබුණා.

පළමු ටෙස්ට් තරගයේ ඔබට කඩුලු 4 යි. මුරලිට 5 යි. රිකි පොන්ටිං පළමු කඩුල්ල. එතැන ඉඳලා වමත් දඟ පන්දු යවන්නකු දවා ගත් වැඩි ම කඩුලු සංඛ්‍යාවේ අයිතිකරුත් ඔබ?

ඔව් මේවා පෞද්ගලිකව ගත්තොත් සතුටු වෙන්න ඕනෑ දේවල්. වමත් දඟපන්දු යවන්නකු සතු වැඩි ම කඩුලු සංඛ්‍යාව දවා ගැනීම වගේ දේවල් විශේෂයෙන් සිහිපත් කරන්න ඕනෑ, මේ තරගවලදි විශේෂයෙන් අපි ජය ගත් තරග ගත්තොත් මට විශේෂයෙන් සතුටු වෙන්න පුළුවන්. ඒ වගේ ම මගේ ටෙස්ට් දිවියේ වමත් දඟ පන්දු යවන්නෙකු දවා ගත් වැඩි ම කඩුලු දවා ගැනීමට හැකි වීම ගැන මට ආඩම්බරයක් තියෙන්නේ.

කාලයත් එක්ක තණතීරුවක් දැක්ක ගමන් ඔබට යම් තක්සේරුවකට එන්න පුළුවන් වුණාද?

එහෙම එක පාරට ම බෑ. තණතීරුවක් දැක්ක ගමන් මේ බෝලිං එකක් ද බැටිං එකක් ද, දඟපන්දු පන්දුවට ද, වේග පන්දුවට ද කියලා දළ අදහසක් ගන්න පුළුවන්. ටෙස්ට් තරගයක නම් පළමුවැනි දවසට වඩා දෙවැනි දවසේ විකට් එක වෙනස් වෙනවා. තුන්වැනි, හතරවැනි, පස්වැනි දවස්වලට යන කොට සමහරවිට හිතා ගන්නවත් බැරි වෙනවා. ඒ වගේ තණතීරු ඕනෑ තරම් හම්බ වෙලා තියෙනවා. පළපුරුද්දත් එක්ක විකට් එකක් දැක්ක ගමන් අදහසක් ගන්න අපහසුත් නෑ.

 ඡායාරූප - ලක්රුවන් වන්නිආරච්චි

 

අදහස්