ලාංකේය ක්‍රීඩාව මෙතැනින් කොතැනට ද? | සිළුමිණ

ලාංකේය ක්‍රීඩාව මෙතැනින් කොතැනට ද?

යම්තම් එංගලන්තය සමඟ පැවැති එක්දින තරගාවලිය 3 - 1 ක් ලෙස පරාජය වී ජාම බේරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. සාග් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හරහා පිබිදුණු ලාංකේය කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු කනිෂ්ඨ තරගාවලිය හරහා යොවුන් ඔලිම්පික් උලෙළේ ද විශිෂ්ට දස්කම් දක්වමින් පාරමී වසන්ති මාරිස්ටෙලා දිනා ගත් ලෝකඩ පදක්කම සමඟ සනිරු ඩිලාන් සහ ෂෙලින්ඩා ලොව පළමු දස දෙනා අතරට පැමිණීමට ද සමත් වූහ. ශ්‍රී ලංකාවේ පැවැති පළමු ආසියානු පිරිමි වොලිබෝල් අභියෝග ශූරතා තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගනිද්දි, වසර නවයකට පසු ආසියානු නෙට්බෝල් කිරුළ මෙන් ම කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි අංශයෙන් ශූරයන් සහ කාන්තා අංශයෙන් අනුශූරියන් වීමට ද ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ. ‍

මේ සියලු ජය පරාජයන් අතර, තෙවැනි යොවුන් ඔලිම්පික් උලෙළේ පදක්කම්ලාභි පාරමීට සහ මීටර් 200 ඉසව්වේ ලොව නවවැනි ස්ථානය හිමි කර ගත් ෂෙලින්ඩාට ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන උපදේශිකා සුසන්තිකා ජයසිංහ සැලකූ ආකාරය පිළිබඳ මාධ්‍ය කතා කළ ද, ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් ඒ පිළිබඳ සඳහනක්වත් නොකෙරුවේ සුසන්තිකාගේ එකී කතාව අනුමත කළ හෝ කරන නිසා දැයි නොදනිමු. මුදල් මිලියන ගණන් නොව, බිලියන ගණන් වියදම් කළද, ක්‍රීඩාව කර ගෙන යාමට සිදුව ඇත්තේ සුසන්තිකා වැනි අය සමඟ නම් ක්‍රීඩාව මේ තිබෙන තැනින් පහළට වැටෙනවා මිස ගොඩ ඒම සිහිනයක් බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. එසේ ම මොන ශිල්ප දක්වමින් ක්‍රීඩාව ගොඩ ගැනීමට වෙර දැරුව ද ඉන් පලක් නැත.

මේ ජයග්‍රහණයන් සමඟ මෙරට ක්‍රීඩා සංගම් - සම්මේලන නිලධාරින් සතුටු වෙයි ද? සුසුම් හෙලයි ද? යන්න නොදනිමු. ජයග්‍රහණයක් දෙකක් එහෙන් - මෙහෙන් අත්පත් කර ගත් පමණින් සතුටු වෙනවාද? අඬනවා ද? යන්න ඔවුන්ට ම තීරණය කළ හැකිය. තමන් ක්‍රීඩාව ම වෙනුවෙන් ම ඇප කැප වී සිටින බව බොහෝ දෙනා ප්‍රකාශ කළ ද සුසන්තිකාට මෙන් ම ඔවුන්ට ද මහ පුටු හිමි වූ විට සියල්ල අමතක වී යන බව නොරහසකි. බොහෝ දෙනෙකුට නැත්තේ ද ලාංකේය ක්‍රීඩාව කෙරෙහි ආදරයක් සහ ඇල්මකි. ලාංකේය ක්‍රීඩාවට අබමල් රේණුවක තරම්වත් ආදරයක්, ඇල්මක් නොදක්වන බොහෝ දෙනා වැඩියෙන් ම දිවි හිමියෙන් ම ආදරය කරන්නේ මහා පුටුවලට බව රහසක් නොවේ. එය එසේ නොවේ යැයි කිසිවකුට හෝ තර්ක කළ හැකි යයි ද නොසිතමු. මන්ද යත් අප ක්‍රීඩා සංගම්, සම්මේලන නිලධාරින් ලාංකේය ක්‍රීඩාවට මහත් සේ ආදරය කරයි නම් මෙරට ක්‍රීඩාව එක තැන පල්නොවී, වෙනස් ම මඟක ගමන් කළ යුතුය. කප්පරක් වන්දනා මාන කළ ආසියානු ක්‍රීඩා උලෙළේ සියල්ල හිස් අතින් පැමිණෙන විට තිස් වසරක යුද්ධයෙන් බැට කෑ විරෝධාර රණවිරුවන් එදා මෙන් ම මෙදා පැරා ආසියානු තරගාවලියේ ලාංකේය නාමයට වටිනාකමක් එක් කිරීමට මෙවර ද සමත්වීම සුවිශේෂි සිද්ධියකි.

නිලධාරීන්ගේ කියුම් කෙරුම් තරමට ම ජාත්‍යන්තර පිටියේ ජයග්‍රහණයන් හිමි නොවූ අතර, යන්තම් එහෙන් මෙහෙන් අත්පත් කර ගත් ජයග්‍රහණයන් තුළ පවා මනා සැලසුම් සහගත ජයග්‍රහණයන්ට වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ උත්සාහ - උනන්දුව මෙන් ම කැප කිරීම් මත ලත් ජයග්‍රහණයන් බව පැහැදිලිය. මේ සඳහා කදිම උදාහරණය පාරමී සහ ඇගේ පුහුණුකරු ජනිත්ය. වියදම් කළ යුතු දෑ කප්පරක් තිබියදී පවා වියදම් කරන්නේ බොරු සෝබන ආටෝප වැඩවලට බව පැහැදිලිය. සෑම තරගාවලියක් අවසානයේ ම අසන්නට දකින්නට ලැබෙන්නේ පරාජයන්හි අදෝනාවන්ය. අඩු ම තරමේ මෙකී පරාජයන්ට හේතු සාධක සොයා බැලූ බවක්වත් පෙනෙන්නට නැත. මේවා ගැන එක් අතකින් කතා බහ කිරීම ද නොවටිනා නමුත්, මේ වන්දනා නඩ නඩත්තුව සඳහා විය පැහැදම් කරන මහජන මුදල් ගැන නම් කතා කළ යුතුය. ප්‍රශ්න කළ යුතුය. තරගාවලියකට පෙර අච්චර පදක්කම් මෙච්චර පදක්කම් යැයි මාධ්‍ය සංදර්ශන පවත්වමින් කෑමොර දුන්න ද, හිස් අතින් පැමිණි පසු හෝ විමසීමක් කිරීමට නිලධාරින් උනන්දු නොවීම තුළ ම ඇත්තේ මේ තරග සංචාරයන් හුදෙක් ම සංචාර පමණක් වී ඇති බැවිනි.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන බිඳ වැටීම සහ පසුබැස්ම හමුවේ මෙකී නරා වළෙන් ගොඩ ඒමට පසුගිය වසර කිහිපයේ ම යහපත් තීන්දු තීරණ රැසක් ගනු ලැබුව ද ප්‍රතිඵල නම් අවම බව පැවැසිය යුතුය. කාට කාටත් ක්‍රීඩාව ගැන යහපත් දැක්මක් තිබිය යුතුය. එසේ නැතිව සුබ ගමනක් යා නොහැකිය. යල්පැන ගිය නීති රීති වෙනස් කරමින් ජාතික ප්‍රතිපත්තියක් මහ තනතුරුවලට අරක්ගත් නිලධාරි වාදයට අභියෝග කරමින් නව ගමනක් යාමටත් ඒ හරහා තරගකාරි ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ කොන් වී ඇති ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ මානසිකත්වයක් ඇති කිරීමටත් පසුගිය කාලය පුරාම කළ වැඩක් පෙනෙන්නට නැත. එහෙත් කටින් බතල කොළ සිටුවීමට උපන් හපන් මෙරට ක්‍රීඩා සංගම් නිලධාරින් ගෙවී ගිය කාලය පුරා ම එකී රාජකාරිය නම් අඩුවක් නැතුව සපුරාලීය. ක්‍රීඩා සංගම් සම්මේලන 60 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුවද කතා කිරිමට හැකියාව ලැබී ඇත්තේ අ‍ෙත් ඇඟිලි ගණනටත් වඩා අඩු සංඛ්‍යාවක් පිළිබඳ පමණි. අද ක්‍රිකට් ක්‍රීඩාව ගත්ත ද දූෂණයෙන් පිරී පවතින අතර, එය දෙවැනි වන්නේ සිම්බාබ්වේට පමණි.

ඔලිම්පික් පදක්කම් දෙකක් පවා දිනා ගෙන ඇති මලල ක්‍රීඩාවට අද දකුණු ආසියාව ජය ගැනීමට පවා මරාගෙන මැරෙන සටනක් කිරීමට සිදුවී තිබේ. රටක ක්‍රීඩාවේ කොඳු නාරටිය වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් තොරව ක්‍රීඩාවක් පැවැතිය නොහැකිය. සියල්ල සිදුවිය යුත්තේ ඔවුන් ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුල් තැනදී ඔවුන්ව දිරිමත් කරන වැඩපිළිවෙළක් තුළ මිස තනතුරුවලට අරක් ගත් නිලධාරින්ට මුල් තැනදී නොවන බව අමතක කිරීම මේ සියලු විනාශයන්ට මුලය. එහෙත් අද බොහෝ විට සිදුවී ඇත්තේ ක්‍රීඩාවේ නාමයෙන් තනතුරුවලට පොරකාගෙන එන්නන් ක්‍රීඩාව තම පාරම්පරික බූදල් බවට පත් කරගත් නිලධාරි පැලැන්තියක් බිහිවීමය. අද එකී නිලධාරින් දුම්මල ගසාවත් එලවා ගත නොහැකි තරමට ක්‍රීඩාව අරක්ගෙන තිබේ. අතීතයේ ද කලින් කලට බිහි වූ ක්‍රීඩා අමාත්‍යවරු ක්‍රීඩාවේ වැඩි දියුණුව වෙනුවෙන් යහපත් සිතුවිලි සමඟ ක්‍රමවත් වැඩපිළිවෙළක් යෝජනා කරමින් ක්‍රියාත්මක කිරීමට වෙර දැරුවද ඒවා බොහොමයක් අසාර්ථක වූයේ ක්‍රියාකාරිත්වයේ සහ නිලධාරින්ගේ කුඩුකේඩුකම් සහ පැවැති ක්‍රියාකාරකම් නිසාය.

අදහස්