අගමැති පත්කරන්න පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් අවශ්‍ය නැහැ | සිළුමිණ

අගමැති පත්කරන්න පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් අවශ්‍ය නැහැ

දහනමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 42 - 4 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසයක් දිනාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැති ලෙස පත්කළ හැකියි. පාර්ලිමේන්තුව රැස්කර, පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදුකළ යුතුයි කියා මෙහි කොතනකවත් සඳහන් වන්නේ නැහැ. 41 - 4 උපවගන්තියට අනුව ද ඒ සඳහා ජනාධිපතිවරයාගේ මතය ප්‍රමාණවත් වෙනවා. යහපාලන ආණ්ඩුව පැවතුණේ ජාතික ආණ්ඩුවක් ලෙසටයි. ජාතික ආණ්ඩුවක් කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ජනමතයක් දිනාගත් දේශපාලන පක්ෂය හා වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය. ඊළඟට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනූ පක්ෂය එකතුවී පිහිටුවූ ජාතික රජයයි. යහපාලන ආණ්ඩුව කියන්නේ එම ආණ්ඩුවයි.

එහි ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මහින්ද අමරවීර මහතා කථානායකවරයා වෙත ලිපියක් භාර දෙමින් තම පක්ෂය යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වන බව දැනුම් දුන්නා. එම ලිපිය භාරදුන් වහාම ජාතික ආණ්ඩුව, අවසන් වී කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් ම අහෝසි වුණා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46 - 2 උපවගන්තියට අනුව අමාත්‍ය මණ්ඩලය අවසන් වූ පසු අගමැති දුරය ඉබේම ‍අහෝසි වුණා. ඒ අනුව තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒ වනවිට පාර්ලිමේන්තු බහුතරය‍කගේ විශ්වාසය දිනා සිටි මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත්කළේ. ඒ සඳහා ජනාධිපතිවරයාට පූර්ණ බලතල තියෙනවා. උදාහරණයක් වශයෙන් ගතහොත්, ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්පූර්ණයෙන් විසුරුවා හැරියාට පසු, ක්‍රිකට් නායකයා තවදුරටත් නායක තනතුරේ සිටින බව ප්‍රකාශ කිරීමට නොහැකියි.

මීට අමතරව අර්ථ නිරූපණ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, යම් පත්වීමක් සිදුකරන බලධරයාට එම පත්වීම ලබන පුද්ගලයාව එම තනතුරින් ඉවත් කිරීමේ බලය ද තිබේ. ඒ අනුව ද රනිල් වික්‍රමසිංහ මහතාව ඉවත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයාට හිමි වෙනවා. එම නිසා හිටපු අගමැති ඉවත් කිරීම සම්පූර්ණයෙන් නීත්‍යානුකූලයි.

මෙය වැරදි තීරණයක් බව එක්සත් ජාතික පක්ෂය පැවසුවත් එය පදනම් විරහිතයි. 2015 ජනවාරි 9 දින මන්ත්‍රී ධුර 42 ක අවම බලයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන අවස්ථාවේ එවකට ආග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඉල්ලා අස්වී හෝ අස්කිරීමක් යන දෙකම සිදුකර තිබ‍ුණේ නැහැ. ඒ අවස්ථාවේදී ජාතික රජයක් යන සංකල්පයක් තිබුණෙත් නැහැ.

ඒ වගේම අපි මේ රටේ වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි. යම්කිසි ව්‍යවස්ථාමය ගැටලුවක් ඇත්නම් ජනතාව ප්‍රකෝප කරමින් තොරව, ලේ වැගිරීම්වලින් තොරව, නිවට නියාලු ආකාරයෙන් ජාත්‍යන්තර සහාය නොපතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර සදාචාරාත්මක ආකාරයෙන් මෙම ප්‍රශ්නය නිරවුල් කරගන්න කියලා.

 

 

 

අදහස්