අගමැති පත් කළ හැක්කේ ජනාධිපතිට පමණයි පාර්ලිමේන්තුවට ඒක කරන්න බැහැ | සිළුමිණ

අගමැති පත් කළ හැක්කේ ජනාධිපතිට පමණයි පාර්ලිමේන්තුවට ඒක කරන්න බැහැ

  • මේ ගැටලු ඇති කරන්නේ ව්‍යවස්ථාවෙන් නොවේ දේශපාලන අධිකාරියක් විසින්
  • මේ පත්වීම නිසා පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑමක් සිදු කර නැහැ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම මෙරට 22 වැනි අග්‍රාමත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම පසුගිය 26 දින පස්වරුවේ සිදු විය. විධායක ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාදාමයේ ව්‍යවස්ථානු කූල බව නීතිවේදියකු ලෙස පැහැදිලි කළොත්?

මෙම පත්කිරීම හා තනතුරෙන් පහ කිරීම පිළිබඳව ජනාධිපතිතුමා එදිනම රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. තමන් එම පත් කිරීම කළේ ව්‍යවස්ථාවේ කුමන ජේදය යටතේ ද යන්න එහි දී පැහැදිලිව සඳහන් කළා කිසිම නීතිවේදියකු හෝ විද්වත් සමාජය මේ පත්කිරීම ව්‍යවස්ථානු කූල නොවන බවත් නීති විරෝධියි කියලා හෝ සඳහන් කරන්නේ නෑ.

ජනාධිපතිතුමා සිදු කළ මේ ක්‍රියාදාමය ව්‍යවස්ථානුකූලයි. නිත්‍යානු කූලයි. ජනාධිපතිවරයා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ලැබි ඇති බලතල ප්‍රකාරව විධායකයේ වගකීම ඉටු කරමින් මේ පත් කිරීම හා ඉවත් කිරීම කර තිබෙනවා. මෙය ව්‍යවස්ථානුකුල නොමැති යැයි මතයක් ඉස්මතු වුයේ නම් එය සමාජය තුළ ඇති වූ දෙයක් නොව යම් දේශපාලන අධිකාරියක් විසින් ඇති කළ දෙයක් ලෙස මා දකිනවා. මන්ද යත් අපේ රටේ උත්තරිතර නීතිය අනුව සාමන්‍ය ජනතාව හැටියට සියලු දෙනාම දන්නවා අගමැතිවරයෙක් පත් වෙන්නේ කොහොමද? කියලා. අපේ රටේ ලිඛිත ව්‍යවස්ථාවක් තිබෙනවා. කොහොමද අගමැතිවරයා තෝරා පත් කර ගන්නේ කියලා. එම නිසා මෙය දේශපාලනික වශයෙන් ඇති වූ යම් කුකුසක් මිස නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ඇති වූ ප්‍රශ්නයක් නෙවෙයි. මෙම පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට හිමි බලය අනුව ව්‍යවස්ථානුකූලව සිදු කළ බව පැහැදිලිව කිව හැකියි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය නොමැති බවයි. හිටපු අගමැතිවරයා සඳහන් කරන්නේ?

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි මෙම ඉවත් කිරීම සිදු කර ත‍ිබෙන්නේ. පැහැදිලිවම අගමැතිවරයා පත්කිරීමේ බලය හා ඉවත් කිරීමේ බලය මෙරට විධායක ජනාධිපතිවරයා සතුව තිබෙනවා.

ව්‍යවස්ථාවේ 48 .1 ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුව හෝ අන්‍යාකාරයකින් ධූරය දැරීම නතර වූ විට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව නව අගමැතිවරයකු පත් කළ හැකියි.

ව්‍යවස්ථාවේ 42, 43,44 හා 45 ව්‍යවස්ථාවෙන් එම බලය ලැබිලා තිබෙනවා.

ජාතික ආණ්ඩු සංකල්පය එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වීමත් සමඟ අහෝසි වෙනවා. එවිට කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා. අග්‍රාමාත්‍ය ධුරය නතර වෙනවා. 70 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සිය බලතල ක්‍රියාත්මක කරන්න බලය ලැබෙනවා. හතළිස් අට එක ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ මෙලෙසයි. “48 (1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබිමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර ධූරයෙන් ඉවත් කරනු ලැබිමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධූරය දැරීම නතර වූ විට 70, වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එසේ වූ විට ජනාධිපතිවරයා විසින් 42 වැනි 43 වැනි 44 වැනි හා 45 වැනි ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයකු ද අමාත්‍ය මණ්ඩල අමාත්‍යවරයන් ද, අමාත්‍ය මණ්ඩලයේ නොවන අමාත්‍ය වරයෙක් ද නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත් කළ යුත්තේය.” මේ අනුව ඉතා සරලව පැහැදිලි වෙනවා ජනාධිපතිතුමා සිය පත් කිරීම නිත්‍යනුකූලව කර ඇති බව.

අගමැති කළ යුත්තේ බහුතරය ඇති පුද්ගලයා නේද. බහුතරය තමන්ට බවයි හිටපු අගමැතිතුමා තවමත් පවසන්නේ?

මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ කොටසක් පත් කර අවසානයි. බහුතරය තිබෙන පක්ෂයේ අයත් ඒ අතර ඉන්න බව සාමාන්‍ය ජනයා පවා දන්නවා. නව අගමැතිවරයා ලෙස පත්කර ඇත්තේ මෙරට දෙවතාවක් ම ජනාධිපති වූ 13 වැනි අගමැතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා පක්ෂවල හා රටේ මතයට ගරු කරමින් පාර්ලිමේන්තුවේ දැනට බහුතරය පෙන්විය හැකි පුද්ගලයා පත්කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම එක් හේතුවක් වූ බව සඳහන් කෙරුණා. එම අවස්ථාවේදී ජාතික ආණ්ඩු‍වේ ප්‍රධාන පක්ෂයක සහාය නැතිව යනවා. එවිට වැඩි බහුතරයක් ඇති පුද්ගලයා වත්මන් අගමැති බවට ජනාධිපතිවරයාට තීරණය කළ හැකියි. ව්‍යවස්ථානුකූලව අගමැතිවරයා පත්කිරීමේදි ජනාධිපතිවරයාගේ මතය පමණයි බලපාන්නේ. අපේ රටේ ව්‍යවස්ථා දායකයත්, විධායකයත් වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට බෑ අගමැතිවරයෙකු පත් කරන්න අගමැතිවරයෙකු පත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට බෑ මෙතෙක් කල් කිසි කලක ජනාධිපතිවරයකු පත්කළ අගමැතිවරයකුට විරුද්ධව විපක්ෂය කලබල කළේ නැහැ 2015 දී වත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය.” යන්නෙන් සඳහන් වෙනවා. මේ අනුව පැහැදිලියි මෛත්‍රිපාල ජනාධිපතිතුමා මේ පත් කළේ ජනාධිපති ධුරයක් දරලා ගෙදර ගිහිල්ලා විවේක ගන්න පුද්ගලයෙක් නෙවෙයි. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බහුතරයක් විශ්වාසය දිනාගත් මන්ත්‍රිවරයෙක්. අගමැති ධුරයක් දරලා විශ්‍රාම ගන්න කෙනෙක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් නායකත්වයට ඉල්ලා සිටි අයෙකි.

මේ ක්‍රියාදාමය සිදුවන්නේ හිටි හැටියේ. 26 උදෑසන පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතා. මේ වන විට නව අමාත්‍ය මණ්ඩලයක්ද දිවුරුම් දී අවසන්?

මෙයට පැහැදිලි උත්තරයක් ජනාධිපතිතුමා දුන්නා. දේශපාලනික වශයෙන් හා එහි නිත්‍යානුකූල භාවය හා ව්‍යවස්ථානුකූල බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිතුමා එම කර්තව්‍ය කර ඇති බව පැහැදිලියි.

“ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරණ ලද විෂය සහ කාර්යය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරණු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේය. “

මේ අනුව පැහැදිලි වන්නේ අටවන පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑමක් සිදුව නැති බව

මෙය ව්‍යවස්ථාදයකයත්, විධායකයත් අතර ගැටුමක් නිර්මාණය කිරීමක් යැයි කෙනෙකු සඳහන් කළොත්?

අගමැතිවරයා පත් කිරීම, එම පත්කළ පුද්ගලයා විසින්ම ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව විධායකයේ ක්‍රියාදාමයක් මිස ව්‍යවස්ථාදායකයේ කාර්යයන් නෙවෙයි. එසේත් නැත්නම් පාර්ලිමේන්තුවේ කටයුත්තක් නොවෙයි. එම නිසා ගැටුමක් ඇති විය නොහැකියි. මෙහි අයහපත් නැහැ.

මෙ‍තෙක් ක්‍රියාත්මක වූයේ ජාතික ආණ්ඩුවක්.

බහුතරය, රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාට තිබෙනවා. යන මතයේ එජාපය තවදුරටත් සිටිනවා නේද ?

ඒ මතය පිළිගන්න බෑ පැවැති ජාතික ආණ්ඩුව කුමක්ද? එය පිහිට වුයේ කෙසේද ? ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ජාතික ආණ්ඩුවේ සිටි එක් මන්ත්‍රිවරයෙක් ඉන්න මුස්ලිම් පක්ෂයක් අපි තවම ආණ්ඩුවේ කිව්වට ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන්න බෑ. ව්‍යවස්ථාව ප්‍රකාරව වැදගත් වන්නේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම. අද වන විට ජාතික ආණ්ඩුවේ පිළිගත් දේශපාලන පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බව සඳහන් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා සිය ඉවත්වීම සනිටුහන් කර අවසානයි. එහෙම නම් ජනාධිපතිවරයා සිය බලය ප්‍රකාරව ජාතික ආණ්ඩුව නොමැති බවට නිගමනය කිරීම කළ හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 - හතර ව්‍යවස්ථාවේ පළමුවන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව එය පැහැදිලිව සඳහන්කර තිබෙනවා.

“(41) (1) වන අනු ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාවද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාවද නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාවද පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේය.”

නමුත් මේ සංවාදය යන මොහොතේත් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා. නව ඇමැති මණ්ඩලයක් ද දිවුරුම් දී අවසන් මෙය ඔබ දකින්නේ කෙසේ ද?

දේශපාලන කරුණු මීට වඩා වෙනස් ව්‍යවස්ථානු කූල ක්‍රියාදාමයන්ට අනුව මේ දේශපාලන ක්‍රියා හසුරුවනවානම් ප්‍රශ්න අඩු විය හැකි බවයි මම කියන්නේ. ව්‍යවස්ථානු කුලව ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක නොවන විට ජනාධිපතිවරයාට බෑ ඇමැති මණ්ඩලය 30 ට වඩා පවත්වාගෙන යන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 –(1) (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව ඇමැති මණ්ඩලය තිහ නොඉක්ම විය යුතුයි.

එසේ නම් කොහොමද අමාත්‍ය මණ්ඩලයක් පත් නොකර සිටින්නේ. ව්‍යවස්ථාවේ 44.4, 44.1, 46.4 ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා.

හිටපු අගමැතිවරයා ධුරයෙන් ඉවත් කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එතැනින් නොනැවතී ඔහුට සෘජුවම ඇඟිල්ල දිගු කරමින් චෝදනා කරනවා, රටේ සමහර දුෂණ ක්‍රියාවලට ඔහු සම්බන්ධ බවට. ඒ මඟින් කරනුයේ අගමැතිධුරය ඉවත් කිරීම සාධාරණී කරණය කිරීමක් ද?

මේ රටේ සාමාන්‍ය පුරවැසියාගේ සිට උත්තරීතර නීතිය රකින ජනාධිපතිවරයකු කළ යුතුම දෙයක් ව්‍යවස්ථානු කූලව කිරීමක් කියලයි මේ අවස්ථා‍ව මම එය දකින්නේ. පොදු දේපළ සුරැකීම ඒවා අයථා පරිහරණය වැළකීම කවුරුත් කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන පරිඡේදයේ සඳහන් ජනාධිපතිවරයාගේ කාර්ය, බලතල හා කර්ත්‍යවයන් සුරකිමින් මුලික යුතුකමක් ඉටු කිරීම ජනාධිපතිතුමා කර තිබෙනවා.

ව්‍යවස්ථාවේ 33.1 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කළ යුතුයි. එය ආරක්ෂා කළ යුතුයි. හයවන පරිඡේදය අනුව ජාතික අභිවෘද්ධිය වර්ධනය ජාතික සමගිය පෝෂණය කළ යුතුයි. පොදු ‍දේපළ සුරක්ෂිත කළ යුතුයි. ආරක්ෂා කළ යුතුයි. අයථා ප්‍රයෝජනය නාස්තියට එරෙහිව ක්‍රියා කළ යුතුයි. ස්වභාව ධර්මය ආරක්ෂා කළ යුතුයි.

එසේ නම් ජනාධිපතිතුමාගේ ජාතිය අමතා කළ කතාවෙන් පැහැදිලි වන්නේ එනම් එවැනි පුද්ගලයින්ගෙන් රට බේරා ගැනීමට ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයක් අනුගමනය කළ බවයි. මෙය දේශපාලන කරුණු පසෙකින් තබා රට ගැන නීතිය ගැන සිතා ගත් තීරණයක් බව පැහැදිලියි.

සංවාද සටහන රෝෂන් තුෂාර

 

අදහස්