අපි ඇමැතිධූර ගන්නේ අන්තිමට | සිළුමිණ

අපි ඇමැතිධූර ගන්නේ අන්තිමට

  • එකමුතුව ඇති කරන්න මම ගමේ කුඹුරකුත් කළා

''අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තිරණය කළේ, මේ රට ව්‍යසනයට ඇදලා දානවාට දිගටම විරුද්ධ වුණ ජනාධිපතිවරයා ඝාතන කරන්න හැදු සැලැස්ම හෙළිවීම නිසයි. ඉන් පස්සේ කොහොමද ආණ්ඩුවෙ තවත් ඉන්නේ.''

පොදු ජන පෙරමුණ සහ ආණ්ඩු පක්ෂය එක්සත් කිරීමේ දී මූලික වූ පාර්ශ්වයන් අතර ඔබ ප්‍රමුඛ වුණා කිව්වොත් නිවැරැදියි. ඇත්තටම මේ භාරධූර කාර්ය ඉටු කළේ කොහොම ද ?

මට අමුතු දෙයක් නොවෙයි මේ වගේ එකතු කිරීම්. ඉතිහාසයේදීත් පක්ෂය සහ මේ රට අගාධයට වැටෙන අවස්ථාවල දී මම මැදිහත් වෙලා තියනවා. මැතිනියගේ ආදරණීය ම දරුවා අනුර, ඒ වගේ ම පෙන්නන්ම බැරි දුව තමයි චන්ද්‍රිකා. හැබැයි එදා අපිට දේශපාලනික වශයෙන් බලන කල චන්ද්‍රිකා හිටියේ වමේ බලවේගය විදිහට. අනුර දකුණේ බලවේගය විදිහට හිටිය නිසා එදා මම ඒ අවස්ථාවේදීත් චන්ද්‍රිකා වෙනුවෙන් මැදිහත් වුණා. එදා චන්ද්‍රිකා ගේන්න ඕන කියලා අපි විශ්වාස කළා. ඒ අභියෝගයත් අපි මේ වගේම ජයග්‍රහණය කළා. මේ වෙලාවේ ප්‍රශ්න තිබුණා. කටුක වුණා; අමිහිරි වුණා. මේ අභියෝගයත් අපි ජයග්‍රහණය කළා. සමහර වෙලාවට අපිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හොඳටම බැන්නා‍.

ඒ සියල්ල මැද අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එකතු වුණා. දැන් මේ රට හොඳ දිසාවකට යයි කියලා අපි විශ්වාස කරනවා. මේ ගොඩට බැසිල් රාජපක්ෂ මහත්තයා එකතු කරන්න හරි අමාරු වුණා; එයත් අපි කළා. ඒ සේරම කළේ ජනතා‍වගේ පැතුම සහ බලාපොරොත්තුව ජයග්‍රහණය කරවන්න. රටේ අවශ්‍යතාව ජනතාවගේ අවශ්‍යතාව මෙය වුණ නිසා.

මේ එකමුතුව ඇති කරන්න සහ මේ හවුල් වැඩේ පුපුරන්න අවශ්‍ය සියල්ල කරලා අගමැතිවරයා දිව්රුම් දෙන්න දින හතරකට කලින් මම කාටවත් හොයාගන්න බැරිවෙන්න ගමේ ගිහින් කුඹුරක් හැදුවා. මට බය හිතුණා මෙය කොහෙන් හරි හෙළි වෙයි කියලා. කුඹුරු වැඩ කරලා කෙළින්ම ආවේ අගමැති මහින්ද රාජපක්ෂ දිව්රුම් දෙන දවසේ. මේ දෙන්නා ගොවියන්ගේ දරුවො සහ ගොවිකම දන්න කෙත කමත හඳුනන අයයි. මිනිසුන්ගේ දුක දහදිය කඳුළ හඳුනනවා. මේ තැනට ගේන්න වෙන සුදුස්සෙක් නැහැ. මහින්ද රජපක්ෂ අගමැතිවරයා තරම් කියලා අපි දැනගෙන හිටියා.

නව අගමැතිවරයා පත් කිරීම නිත්‍යනුකූල නැහැ කියල කියනවා.?

මේ පත්කිරීම නිත්‍යනුකූල නැහැ කියන්න රනිල් වික්‍රමසිංහ මහතාට ලැජ්ජාව තියනවාද කියල මම අහනවා. එතුමා එදා හතලිස් හත් දෙනෙක් එක්කයි ආවේ. අපිට හිටියා එකසිය පනස් එක්දෙනෙක්. අපේ දිමු ජයරත්ත මහත්තයා අගමැති ප්‍රතිපලය එන්නටත් පෙර අගමැති නිල නිවාසය අතහැරලා ගියා. 2001 වර්ෂයේදි එතුමාට මතක ඇති බන්දුල, මහින්ද විජේසේකර, ජි.එල්.පීරිස් සහ මම චන්ද්‍රිකා මැතිනියත් එක්ක අමනාප වෙලා එළියට බැස්සේ. ඒ වෙලාවේ අපි බැහැලා ඒ ආණ්ඩුව පෙරළලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආණ්ඩුවත් අරන් දුන්නා. අද වගේ ම එදත් ඒක රැකගන්න එතුමාට බැරි වුණා. ජනතාවගේ අවශ්‍යතාව ගැන කල්පනා කරන්න එයාට බැරිවුණා. රටේ අවශ්‍යතාවටවත් ජනතාවගේ හඬටවත් එයාගේ මතය වෙනස් කරන්න බැරිවුණා. එක වෙලාවකට මට පව් කියලා හිතෙනවා එතුමා ගැන. එතුමාට මතයක් තියනවා. ඒක මේ රටට ගැළපෙන්නේ නැහැ. ලංකාවේ මිනිසුන්ගේ දුක කඳුළු හඳුනන්නේ නැති එ් වගේ කෙනෙක් මේ රටට හරියන්නේ නැහැ. එදත් අවුරුදු දෙකක් වෙන කොට චන්ද්‍රිකා මැතිනිය අමාත්‍යංශ කිහිපයක් බලෙන් අරන් ආණ්ඩුව විසුරුවා හැරියා. ඒ වේලාවෙදිවත් ඡන්ද ප්‍රතිපලය අනුව එක්සත් ජාතික පක්ෂයට 109යි එක්සත් ජනතා නිදහස් සන්ධානයට 105යි තිබුණේ. අරලිය ගහ මන්දිරයේ විශාල තර්ක ගොඩනඟනවා වැඩි ඡන්ද තියන නිසා අපි අයින් වෙන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් ඒ වෙලාවේ මම කිව්වා රටේම ජනතාව අපිව පරාද කරලා ඉවරයි. මිනිස්සු එක්සත් ජනතා නිදහස් සන්ධානයට මේ රට‍ භාර දිලා ඉවරයි. මිනිස්සු කිරිබත් කනවා මහපාරේ. ඒ නිසා ගෞරවනීය විදිහට අපි බැහැලා යන්න අවශ්‍යයි කියලා මම ඒ වෙලාවෙත් පැහැදිලි කරලා දුන්නා.

නව අගමැතිවරයා පත්කිරීම නිත්‍යනුකූල නැහැ කියල එජාප තර්ක කරනවා නේද?

විධායකයට අවශ්‍යතාවක් මතුවූ අවස්ථාවලදි විධායකයට අවශ්‍ය තීරණයක් ගන්න පුළුවන්. අපි මේවා කළේ මේ රටේ නීති විශාරදයන්ගේ උපදෙස් අනුව. ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ තියනවා යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ ද ඒ තාක්කල් අගමැතිතුමා සිටියි කියලා . අපි ජාතික රජයෙන් ඉවත් වූ මොහොතේ සිට අමාත්‍ය මණ්ඩලය අහෝසි වෙලා යනවා. හතලිස් නවයක් හිටියා තිහට අඩුවෙන්න ඕනෑ, මෙය අවලංගු වෙනවා ඒ නිසා. ඒ අවලංගු වුණාම අගමැතිවරයත් නිකම්ම අවලංගු වෙනවා. ඒක තේරුම් ගන්න මේ අයට බැහැ. නීති විරෝධි නම් ව්‍යවස්ථා විරෝධි නම් පොඩි කොළ කෑල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්නේ.

ජත්‍යන්තර මට්ටමින් මේ පත් කිරීමට සහ පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් විරෝධයක් ඇති බව එජාපය කියනවා?

වෙඬරු සහ ලෑටියා වගේ සංවිධානවලින් 'මේ වැඩේ හරි නැහැ' කියලා ලියුම් කෑල්ලක් ගන්න පුළුවන්. ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවකදි පාර්ලිමේන්තුව කල් දාන්න පුළුවන්. එය පොඩි දෙයක්.

හවුල් ආණ්ඩුවේ ඔබතුමා ඇතුළු ඇමැතිවරුන් දහසය දෙනෙක් නව ආණ්ඩුව පිහිටුවීමට හවුල් ආණ්ඩුවෙන් ඉවත් වුණා. එසේ ඉවත් වෙන්න හේතුව හවුල් රජයේ ඇතුළේ තිබුණ ගැටුම් ද ?‍

මේ අය රටට සහ රටේ ආර්ථිකයට කරන හානිය අපි ඉවත් වෙන්න මූලික හේතුවක් වුණා. රට අනාරක්ෂිත තැනකට ඇද දැමීම සහ මේ කරන ව්‍යසනයට විරුද්ධව අපි දහසය දෙනා ඉවත් වුණා. ඉන්පසුව ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තිරණය කළේ රට ව්‍යසනයට ඇදලා දානවාට විරුද්ධ වුණ ජනාධිපතිවරයා ඝාතන කරන්න හැදූ සැලැස්ම හෙළිවීමයි. ඉන් පස්සේ කොහොමද ආණ්ඩුවේ තවත් ඉන්නේ. අපිට නෙමෙයි අපේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටයි හුඟාක්ම කරදර කළේ. එතුමා විශාල බලාපොරොත්තු ඇතිව පොරොන්දු මාලාවක් දීලා තමයි ‍මේ රජය පටන් ගත්තේ. එසේ හදපු මේ රජය පටන්ගත්ත තැන ඉදලා ප්‍රශ්න මතු කළා.

උදාහරණයක් විදිහට අමාත්‍ය මණ්ඩලය පත් කරන වෙලාවේ උසස් අධ්‍යාපනය, මහ මාර්ගය කිරිඇල්ලට දුන්නා. රස්සාවල් දෙන්න අධ්‍යාපනය. හොරකම් කරන්න මහ මාර්ගය. විදේශ ආයෝජන ඇතුළු විශාල විෂයයන් රැසක් මලික් සමරවික්‍රමට දුන්නා. විකිණීම සඳහා බැංකු ටික රජයේ වතු ටික ‍හෝටල් ටික කබීර් හෂිම්ට දුන්නා. විදේශ අමාත්‍යංශයට ස්විප් ටික දැම්මා. එංගලන්තයට ස්විප් විකුණන්න වෙන්න ඇති. මේ දේවල් ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා හිටියේ හරිම වේදනාවෙන්.‍ රටක රන්දෙවොල තමයි මහ බැංකුව. එකේ තමයි සල්ලි ටික අච්චු ගහන්නේ. රත්තරන් ටික තියෙන්නේ; රටේ ඩොලර් ටික තියෙන්නේ; පවුම් ටික ‍තියෙන්නේ. ඒක ඉතාම ස්වාධින මුල්‍ය මණ්ඩලයක් හරහා මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ආයතනයක්. ඒක ගත්තා අගමැතිතුමා ළඟට‍. ජනාධිපතිතුමාගේ ඇහැ වහලා ‍විදේශිකයකු ගෙනල්ලා එහි අධිපති කළා. බලන්න අපේ රටේ මුදල්වලට අස්සන් කරන්නේ විදේශිකයකුයි. ලෝකේ කිසිම රටක ඒ වගේ දෙයක් වෙලා නැහැ. ගුගල් එකට ගිහින් බලන්න පුළුවන් කොහේවත් එහෙම වෙලා නැහැ. පටන්ගත්ත දවසේ ඉඳලා එයා කළේ අපේ දේශිය කර්මාන්තකරුවාට ගහපු එකයි. ‍ඒ අයව බිමට ඇදලා දැම්මා. චීනයෙන් කොරියාවෙන් සපත්තු ටික ගෙන්න ගත්තා. ඒ අයටත් පිටරටින් ගේන්න තත්ත්වය උදා කළා.

සිංගප්පුරු ගිවිසුම අස්සන් කරලා කරපු අපරාධය සුළුපටු නොවෙයි. ඒ ගිවිසුමේ ගැසට් කරලා තියනවා. කුණු කානුවල මඩ ගෙන්වන්න මේ මඩ කන්නද මිනිස්සුන්ට. ඌරුබොකු බූරු මයිල් මොනවට ද? අපද්‍රව්‍ය පිළිබද ලොකු ප්‍රශ්නයක් තියනවා සිංගප්පූරුවට. ඒ කුණු කොහේ හරි දාන්න පුළුවන් නම් ඒ අයට හොඳ ආදායමක්. ඒවා කොහෙට හරි දාලා ව්‍යාපෘතියක් පටන් ගනී. මේවායේ පරිසරයට ඇති අහිතකර තත්ත්වය මේ අයට තේරුම් ගන්න බැරිද. ලෝකේ කොහේවත් රටවල් වල කුණු ගේන්න දෙන්නේ නැහැ.

ගිවිසුම අස්සන් කරලා තියෙන නිසා දැන් අපි බැහැ කිව්වොත් ඒ අය අපිට නඩු දානවා. ඒ රටේ කොමර්ෂල් බැංකුවට අපිට ගෙවන්න වෙනවා බිලියන දහස්ගණන් දඩ.

මාසයකට කලින් රත්තරන්වලට සියයට පහළොවක් බදු ගැහුවා. මේගේ දේවල් වලින් වෙන්නේ රටේ ආර්ථිකය කඩාවැටෙන එකයි. සියයට පහළොව නොවෙයි සතයකවත් ආදායමක් නැතුව යනවා මේ වගේ වැඩවලින්.

ආර්ථික කළමනාකරණ කැබිනට් කමිටුවක් කියලා එකක් පත් කරගෙන තියෙනවා. එහි ඇමැතිවරු දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ අගමැතිට හුඟාක් හිතවත් ඇමැතිවරුන්. සියලුම‍ යෝජනා එතැනට ගේනවා ඒ යෝජනාව අනුමත ‍කරනවා. ඒ යෝජනාවේ මැදින් දානවා කැබිනට් එක අනුමත නොකරන යෝජනා. දාලා ලැයිස්තුවම අනුමත කරපුවා හැටියට කැබිනට් එක තියන දවසේ උදේ අ‍පේ මේස උඩටත් ගෙනත් තියනවා. අගමැතිගේ අත්සනින් ආවාම අපි ඒ වගේ එකකට ගරු කරනවා. ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. හරියටම තොරතුරු සොයන්නේ නැහැ. අනුමත කරලා දෙන්න කිව්වාම අපි අනුමත කරනවා.

ඒ වගේ තමයි වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට හොරට කැබිනට් අනුමැතිය ගත්තේ. කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට බදු පදනම යටතේ දෙන්න තිරණය කරන අවස්ථාවේදි තමයි කැබිනට් එකේ අය දැනගත්තේ නැගෙනහිර එක දුන්න බව. ඒ හොරට කරන වැඩ. ඉන් පස්සේ ජනාධිපති තුමා තමයි කිව්වේ එහෙම දෙන්න බැහැ කියලා. ඒ වගේ හොරට කැබිනට් යෝජනා හදනවා හිටපු අගමැතිවරයා. මේවායින් වෙන්නේ දළ දේශිය නිෂ්පාදනය අඩාළ වීමයි. උද්දමනය, විරැකියාව, ණය වේගයෙන් වැඩිවෙනවා. ආර්ථික සංවර්ධන වේගය අඩු වෙනවා. අපි මේ සම්බන්ධයෙන් කතා කළා. එතුමා ඒ ‍දේවල්වලට කන්දෙන්නේ නැහැ.

ආව ගමන් අපිට වැඩියෙන්ම මුදල් දුන්න චීනයට ගැහුවා‍. චිනය කියන්නේ මොන තරම් දැවැන්ත රටක්ද? ආව ගමන් කළේ චිනයේ ඔළුවටම ගහපු එක. අපේ අ‍ාර්ථිකය කඩාවැටෙන්නෙ නැද්ද. දේශිය නිෂ්පාදකයන් ඔක්කොටම ගැහුවා. රට කඩන් වැටෙන්නේ නැද්ද; රුපියල අවප්‍රමාණ වෙන්නේ නැද්ද. කොටස් වෙළද පොළ වැටෙන්නේ නැද්ද. ඒ සියල්ල වුණා . බැඳුම්කර හොරකමත් එක්ක රට අගාධයට වැටුණා. අපිට උදව් කරන රටවල් අමනාප කර ගන්නේ නැතුව ර‍ට ගෙනියන්න ඕන.

ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරන්නට ආසන්නතම හේතුව වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂ ලේකම් ඝාතන සැලැස්මයි. නමුත් එවැනි ඝාතන සැලැසුමක් සම්බන්ධයෙන් ඇති චෝදනාව එජාප ප්‍රතිෂේප කරනවා නේද ?

අපි ආණ්ඩුවෙන්ම ඉවත් වෙන්න තිරණය කළේ, මේ රට ව්‍යසනයට ඇදලා දානවාට දිගටම විරුද්ධ වුණ ජනාධිපතිවරයා ඝාතන සැලැස්ම හෙළිවීම නිසයි. ඉන් පස්සේ කොහොමද ආණ්ඩුවෙ තවත් ඉන්නේ. ආසන්න වශයෙන් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිදරව්වක් මතුවෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඊළඟට ජනාධිපතිවරයා වෙයි කියලා හිතන පුද්ගලයායි ඉලක්කය. නියෝජ්‍ය පොලිස්පතිවරයා‍ගේ ‍හඬ කියලා තහවුරු වෙලා තියනවා. ඒ, ඩි. අයි. ජි. පොලිස්පතිවරයාගේ හොදම මිත්‍රයෙක්. මේ හඬපටිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කරන කොට පොලිස්පතිවරයා ගිහිල්ලා කැලණියේ බෝධිපුජාවක් තියනවා. මේකේ ෆොන්සේකාගේ නමත් සදහන් වෙනවා. මේ වගේ ඝාතන සැලැසුමක් පිළිබඳව කරුණු හෙළිදරව් වෙලා තිබියදීත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව කොතෙක් මුණ ගැසුණත් කවදාවත් ‍ඒ සම්බන්ධයෙන්වත් ජනාධිපතිවරයාගෙන් හිටපු අගමැතිවරයා විමසීමක් කරලා නැහැ. මේ ඝාතන සැලසුම සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සම්බන්ධයෙන්වත් කිසිදු දෙයක් සම්බන්ධව කිසිදු කරුණු විමසීමක් කරලා නැහැ. මෙතැන හොරකමක සේයාවක් නැද්ද කියලා ඕන කෙනෙකුට පේනවා. කවදාවත් රාජ්‍ය නායකයෙකුට තර්ජන එන්නේ නැහැ පෞද්ගලික හේතු නිසා. ඒවා දේශපාලන හේතු අනිවාර්යෙන්ම.

මේක අරුම පුදුම දෙයක්. ෆොන්සේකාව පාර්ලිමේන්තුවට ගත්තේ නිත්‍යනුකූල ක්‍රමයකට නෙමෙයි. එජාපයෙන් තරග කරපු කෙනෙකුත් නෙමෙයි. තරග කරලා ති‍ෙයනවා නම් ජාතික ලැයිස්තුවෙන් ගන්න පුළුවන්. නමුත් මෙහෙම අය ගන්න බැහැ. ෆොන්සේකාව ගත්තේ මොකද අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාට පහර දෙන්න. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගහන්න ෆොන්සේකාව පාවිච්චි කරන්න හැදුවා. නිතිය සහ සාමය දුන්න වෙලාවේ එයට ජනාධිපතිතුමා විරුද්ධ වුණා, ප්‍රශ්නය උග්‍ර වුණා.

එක්සත් ජාතික පක්ෂය කියනවා පාර්ලිමේන්තුව කල් දැම්මේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව නැති නිසා කියලා. ඒ වගේ ම ශ්‍රීලනිප හිටපු ඇමැතිවරුන් එජාපයට සහයෝගය දක්වන බවත් සඳහන් කරනවා. පාර්ලිමේන්තු බහුතර බලය පෙන්වන්න නොහැකි වුණොත් මොකද වෙන්නේ?

කිසි දෙයක් වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මන්ත්‍රීවරුන් ඉන්නවා අපිට. එජාපයෙන් මේ වන විටත් මන්ත්‍රීවරුන් නව රජයට සහය පළ කරමින් සිටිනවා. අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන විටත් බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් අපිට හිටියා‍. අපිට වැඩිවෙන්නත් මන්ත්‍රීවරුන් ඉන්නවා. අපිට දෙමළ පක්ෂ මුස්ලිම් පක්ෂ අපිත් සමඟ ඉන්නවා.

ඔබතුමා ඇමැතිධුර බාර නොගෙන ඉන්නේ එජාපෙයන් එකතු වෙන මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර දෙන්නද?

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අපි බහුතරයක් තාම ඇමැතිධුර ලබා ගත්තේ නැහැ. අපි අන්තිමට ඇමැතිධුර ලබා ගන්න තීරණය කළේ එන අයගේ අවශ්‍යතාව ඉටුකරන්න ඕන නිසයි.

මේ රටේ ආර්ථිකයට අති විශාල හානියක් සිදු වුණ බැඳුම්කර වංචාවෙන් රජයට අහිමි වු මුදල් නැවත අය කරගැනීමට නව රජය කඩිනම් පියවරක් ගන්නවාද ?

අනිවාර්යෙන්ම අපි ඒ පියවර කඩිනමින් ගන්නවා. බැඳුම්කර වංචාව මුල ඉඳලම ජනාධිපතිතුමාගේ ඇහැ වහලා කළේ. විදේශිකයෙකු ගෙනල්ලා දැම්මා මහබැංකුවට. මහබැංකුව තනිකරම අගමැතිවරයාගේ යටතට අරගත්තා.

පසුගිය රජයට තිබුණ ලොකුම චෝදනාවක් තමයි මැතිවරණ කල් දැමීම. නව රජය ඒ සදහා කඩිනම් පියවර ගන්න බලාපොරොත්තු වෙනවාද ?

මේ වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඉක්මනින් ජන්දය පවත්වන්න කටයුතු සුදානම් කරන්න කියලා. ඒ අනුව කල් දමමින් තිබුණ පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන්න නව රජය කටයුතු කරනවා.

සේයාරූ දුෂ්මන්ත මායාදුන්න

අදහස්