එජාපයට රට ගොඩ ගන්න බැරි නිසයි ආණ්ඩුවට ආවේ | සිළුමිණ

එජාපයට රට ගොඩ ගන්න බැරි නිසයි ආණ්ඩුවට ආවේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන බලතල අනුවයි එතුමා කටයුතු කරන්නේ. ඒ අනුවයි එතුමා අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් ‍කළේ. ගරු ජනාධිපතිතුමා කිසි විටෙකත් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් සිදු කර නැහැ.

නීති විශාරදයන්ගෙන් කරුණු කාරණා හරිහැටි දැනගෙන තමයි එතුමා එම පත් වීම සිදු කළේ. ඒ නිසා කිසිවකුටත් ඒ ගැන නීති තර්ක ගේන්න බැහැ. ගෙනත් වැඩකුත් නැහැ. මේ ක්‍රියාදාමය සිදු කළේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන්. එය ජනතාව දන්නවා. මම මේ සඳහා කොන්දේසි විරහිතව සහය ලබා දුන්නා.

එසේ බිය නොවි සත්‍ය තේරුම් ගෙන ජනාධිපති, අගමැති යන ගමනට එක් වූ පළමු වැනියා මමයි. මම ඒ වෙනුවෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. අඩුම ගානේ මට ලබාදුන් සංචාරක හා වන ජීවී නියෝජ්‍ය ඇමැති ධුරය මට ලබා දෙන බවෙවත් මම දැන සිටියේ නැහැ. මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුයේ ඔවුන්ගේ කිසිදු දැක්මක් හෝ කිසිදු සාර්ථක වැඩ පිළිවෙළක් නැති නිසයි. රජය බලයට ඇවිත් වසර තුනහමාරක් ගියත් කරපු කිසිම දෙයක් නැහැ. සිදු වූ එකම දේ රුපියල බාල්දු කිරීම පමණයි.

විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට කිසිදු සහනයක් ලබා දුන්නේ නැහැ. ජනතාවගේ පැත්තෙන් කිසිදු දෙයක් ඔවුන්ට ඉටු කර දුන්නේ නැහැ. බදු බර වැඩි වුණා; ජීවන වියදම වැඩි වුණා; ජනතාවට ජීවත්වන්නට තිබු සහන ඔක්කොම කප්පාදු කළා. කිසිම ගැටලුවක් නැහැ.

අපේ හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එදා රටේ යුද්ධය නැති කර ඒ ජනතාවට තිබු බිය දුරු කර රට සාමකාමී දේශයක් කළා. එතුමන්ට නිවැරදි දැක්මක් තිබුණා; සැලසුම් තිබුණා. මේ නිසා වත්මන් රජයට එක්වීමෙන් ජනතා බලාපොරොත්තු ඉටු කළ හැකි බව මා තේරුම් ගත්තා. එම නිසා පිහිටුවා තිබෙන නව රජයට මම මගේ සහය ලබා දෙනවා.

 

අදහස්