පටු බැඳීම් නිසා සත්‍ය වැසී ගිහින් | සිළුමිණ

පටු බැඳීම් නිසා සත්‍ය වැසී ගිහින්

''ඒකාධිපති ව්‍යවස්ථාවක් පක්ෂය තුළ අටවාගෙන අවශ්‍ය අවස්ථාවන්වලදී එම ව්‍යවස්ථාවට අනුකූල ව ද අනෙත් අවස්ථාවන්හිදී සිරිකොත ඉදිරිපිට පාර කාපට් කරගැනීම වැනි ව්‍යවස්ථානුකූල නොවන ක්‍රමවලින් ද රනිල් එක්සත් ජාතික පාක්ෂිකයා;නොඑසේනම් යූඇන්පීකාරයා මර්දනය කරගෙන සිටින්නේ කලෙක සිට ම ය. ඔහු සිතන්නේ ඔහුට යූඇන්පීය මර්ධනය කළ හැකි ආකාරයෙන් ම රට ම මර්දනය කළ හැකි බවය. ඔහු හදන්නේ යූඇන්පීය පාලනය කළ ආකාරයෙන් රට ම පාලනය කිරීමට ය. ඔහු අරලියගහ මන්දිරයෙන් නොයන්නේ ඒ නිසා ය.''

බැඳුම්කර මගඩිය හෙළි වූ අවස්ථාවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම ප්‍රකාශ කළේ නීති විරෝධී කිසිවක් එහි සිදුව නැති බවකි. බැඳුම්කර ගනුදෙනු සිදුවන ආකාරය, ඉල්ලූම සැපයුම, වෙළඳපොළ ගැන විවිධ ආර්ථ­ික විද්‍යා මත සමඟින් එය නීත්‍යානුකූලව හා සාමාන්‍ය පරිදි සිදුව ඇති බවට විවිධ තර්ක රනිල් මහතා ඇතුළු මැති ඇමතිවරු විසින් ඉදිරිපත් කරනු ලැබිණි. විදේශ තානාපතිවරු හෝ ඩයස්පෝරාවට ද ඒ සියල්ල ඇත්ත විය. කරු ජයසූරිය මහතා ද හිටියේ නිහඬ ව ය. එහෙත් අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටුවන ලද ජනාධිපති කොමිසම හමුවේ ඇත්ත අනාවරණය විය.

ඇත්ත අනාවරණය තුළ බොරුව ඇත්ත කිරීමට රනිල් මහතා දත කාගෙන වලි කෑවේය; අද මෙන් ම ය.

ඝාතන කුමන්ත්‍රණය ගැන රනිල්ගේ අද ප්‍රතිපත්තිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන ද රනිල් මහතාගේ ප්‍රතිපත්තිය එබඳු ම විය. එය විහිලුවක් මෙන් පෙන්වීමට එදා මෙන් ම අදත් උත්සාහ කරනු දැකිය හැකිය. එහෙත් ඇත්ත ඉදිරියේ දී සාක්ෂි සහිතව අනාවරණය වූ විට රනිල්ගේ හැටි තවදුරටත් අනාවරණය වනු ඇත.

එදා මිල සූත්‍රය හා අද රනිල්ගේ සූත්‍රය

එසේම මහින්ද මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සපුරා අනුකූල වන පරිදිය. ඉතා නීත්‍යානුකූල ව එය ව්‍යවස්ථා විරෝධී ලෙස පෙන්වීමට හිටපු අගමැති රනිල් අද වලි කයි. එයට හේතුව රනිල් දන්නා එක ම දේශපාලන සෙල්ලම බොරුව ඇත්ත කිරීමේ සෙල්ලම වීමයි.

එහිදී මිල සූත්‍රය යැයි බොරුවක් පෙන්වූ මංගල හා රනිල් අතර කිසිදු වෙනසක් නැත. රනිල් ව්‍යවස්ථාව පෙන්වන්නේ මංගල මිල සූත්‍රය පෙන්වූ ලෙස ම ය; ජනතාව මුලා කිරීමටය. සැබවින්ම එක පාරක් දෙපාරක් බොරු කියා ගැලවීමට හැකිය. එහෙත් දිගටම කළ නොහැකිය. රනිල් ගැන ජනතාවගේ විශ්වාසය භංග වී ඇත්තේ ඒ නිසාය. ජනාධිපතිතුමා තුළ රනිල් ගැන වූ විශ්වාසය භංග වූයේ ද ඒ නිසාය. කෙසේ වුවත් ජනාධිපති තුමා විසින් රනිල්ට ඉවත්වීමට කටයුතු සැලසූවේ රනිල් ගැන ජනතාවට ඇති විශ්වාසය භංග වීම නිසා පමණක් නොව එසේ සිදුකිරීමට හැකි ව්‍යවස්ථානුකූල ව විධිවිධාන පැවතීම නිසා ය. ඒ බව මහචාර්ය නලින් ද සිල්වා මහතා විසින් ඉතා පැහැදිලි හා නොබිඳිය හැකි ලෙසින් තහවුරු කර ඇත.

බල්ලාගේ පිදුරු න්‍යාය

රනිල් මහතා පෙනී සිටින්නේ මහා න්‍යායවාදියකු ලෙසිනි. මංගල ඇතුළු ඔහු වටා සිටින බොහෝ අය ද එසේ ය. එහෙත් රනිල් හොඳින් ම දන්නේ එක ම එක තියරියක් පමණි. ඔහුගේ ශක්තිය ද දුර්වලකම ද දෙක ම එය ම ය. ඔහුගේ වාසනාව ද අවාසනාව ද දෙක ම එය ම ය. එනම් බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ යන්නයි. ඔහුට යූඇන්පීය ජයග්‍රහණය කරවිය නොහැකිය; ජයග්‍රහණය කරවිය හැකි අයකුට දෙන්නේ ද නැත. ඔහුට රට ජයග්‍රහණය කරවීමට කොහෙත්ම නොහැකිය. එහෙත් එසේ කළ හැකි අයකු ඒ අවස්ථාව ලබනු දැකීමට ද අකැමති ය.

ව්‍යවස්ථා කඩන රනිල්

ඒකාධිපති ව්‍යවස්ථාවක් පක්ෂය තුළ අටවාගෙන අවශ්‍ය අවස්ථාවලදී එම ව්‍යවස්ථාවට අනුකූල ව ද අනෙක් අවස්ථාවන්හිදී සිරිකොත ඉදිරිපිට පාර කාපට් කරගැනීම වැනි ව්‍යවස්ථානුකූල නොවන ක්‍රමවලින් ද රනිල් එක්සත් ජාතික පාක්ෂිකයා; නොඑසේනම් යූඇන්පීකාරයා මර්ධනය කරගෙන සිටින්නේ කලෙක සිට ම ය. ඔහු සිතන්නේ ඔහුට යූඇන්පීය මර්ධනය කළ හැකි ආකාරයෙන් ම රට ම මර්ධනය කළ හැකි බවය. ඔහු හදන්නේ යූඇන්පීය පාලනය කළ ආකාරයෙන් රට ම පාලනය කිරීමට ය. ඔහු අරලියගහ මන්දිරයෙන් නොයන්නේ ඒ නිසා ය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන යනු සජිත් ප්‍රේමදාස නොවන බව රනිල් මතක තබා ගත යුතුය. එසේම රට යනු සිරිකොත මූලස්ථානයක් කරගත් යූඇන්පීයක් නොවන බව ද එතුමා සිහිපත් කරගත යුතුය.

තානාපති පක්ෂය

රනිල්ගේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සියලු ක්‍රියාකාරීත්වයට පක්ෂයෙන් පිට ලොකු ම හයිය ජනතා විමුක්ති පෙරමුණ බවට පත්ව තිබීම ඉතිහාසයේ මහා ඛේදවාචකයකි. අද ඇත්තේ තරුණ ජවයක් ඇති ජේවීපීයක් නොව වයස පනහ පැන්නූ නායකත්වයක් ඇති ජේවීපීයකි. තරුණ වියේ ජවයවත් වැඩිහිටි වියේ පරිණත බවවත් නැති කම්මැලි ජේවීපී එකකි. ඒ අනුව කාගේ හෝ පදයකට අනුව නැටීම හැර ජේවීපී එකට වෙනත් ගමනක් අද නැත. ඒ නිසා ජේවීපී එකද අපේ රටට අත පොවන විදේශ තානාපතිවරු සමඟින් එක පෙළට සිටගෙන සිටියි. ජනතා විමුක්ති පෙරමුණ මේ රටට මොන රටේ තානාපති දැයි ප්‍රශ්නයක් ඇති වේ. ජේවීපී එක කටයුතු කරන්නේ එතරම් ආගන්තුක ලෙස ය. රට ගැන හා ජනතාව ගැන කිසිත් නොදන්නා නොපෙනෙන ලෙස ය. පිටරට තානාපතිවරුන්ට මෙරට ගැන දැනුමට වඩා දැනුමක් ඔවුනට නැති ලෙස ය.

කරු මහතා නමක් දිනාගෙන සිටියේ දේශප්‍රේමියකු ලෙසිනි. රට ගැන හිතන්නකු ලෙසිනි. කරු ආවේ හිරු පෑව්වා ලෙසිනි. එහෙත් ඔහු අද රනිල් නමැති කළු වලාකුළට සම්පූර්ණයෙන් ම යට වී සිටියි. ඒ නිසාම ඔහුට රනිල්

විනා ඇත්ත ද නොපෙනේ. මේ ගැන තැන්පත්ව සිටිමට සිහිනුවණින් කල්පනා කිරීමට එතුමාට අරලියගහ මන්දිරයේ දේශනා කළ පිරිත්වල අනුහසින් හෝ පිනක් පෑදේවා යැයි ප්‍රාර්ථනා කරමි.

ජේවීපී සාදුකාර

මංගල මහතාගේ එක ම ප්‍රාර්ථනය බුදුදහමක් නොව කිසිදු ආගමක් නොමැති ලංකාවක් බිහිකිරීම ය. ඒ අතින් ඔහු නූතන දේවදත්ත යැයි යමකුට පෙනුණොත් එය ද එතරම් වැරදි නොවේ. කාදිනල්තුමාට ද කතෝලික ආගම

රැකෙන්නේ ද බුද්ධාගම රැකුණොත් පමණක් යැයි ප්‍රකාශ කරන්නට සිදුවූයේ ඒ නිසා ය. මංගලගේ පමණක් නොව ජේවීපිය ද ප්‍රාර්ථනා කරන්නේ ආගමෙන් දහමෙන් තොර රටකි. ඇතැමුනට රනිල් මහා බුද්ධිමතකු ලෙස පෙනෙන්නේ ද රනිල් සිටින්නේ ද මේ මතයේ ම වීම නිසා ය. එහෙත් අනාගමික රාජ්‍යයක් පිහිටුවීම උදෙසා ව්‍යවස්ථාවන් ද ගෙනා රනිල්ට අවසානයේ පිහිට පතන්නට වූයේ පිරිත්වල ය. ආගම එපා යැයි කියන මංගල ද අරලියගහ මැදුරේ පිරිත් කීමට විරුද්ධ වූයේ නැත. ජේවීපීය ද සාදුකාර දෙන්නට ඇත.

ප්‍රභාකරන්ගේ සේවය

කෙසේ හෝ මෙසේ ලීවාට අද මේ අවස්ථාව ඉතිහාසයේ ඉතා බැරෑරුම් මොහොතකි. එයට හේතුව අන් කිසිවක් නොව පාක්ෂික හා වෙනත් පටු බැඳීම් නිසා ඇතැම් අයට සත්‍යය දැක ගැනීමට නොහැකිව තිබීම ය. ප්‍රභාකරන්ගෙන් සිදුවූ එක හොඳක් තිබිණි. එනම් පක්ෂවලට බෙදී නොව ජාතියක් ලෙසින් සිතන්නේ කෙසේද යන්න ලංකාවේ මහජනතාවට ඉගැන්වීමට ඔහුගෙන් සේවයක් සිදු වීමය. සැබවින් ම එල්ටීටීඊට එරෙහිව රට ම ජාතියක් ලෙස එකමුතු විය. අද මෙන් ම ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවේ ද තවත් විදේශ රටවල ද ආශිර්වාදය අනුබලය ලැබූ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ ඒ නිසා ම ය.

එදා පැරදුණු ඒ සියලු බලවේග අද යළිත් එක්සේසත් වී ඇති බව පෙනේ. ප්‍රභාකරන්ගේ අරමුණ වූයේ රටෙන් කෑල්ලක් ලබාගැනීම ය. අද විජාතික බලවේගවල අරමුණ ජාතියක් ආගමක් සංස්කෘතියක් නැති රටක් බිහිකිරීම ය.

ඉතින් එයට එරෙහිව ජාතිය එක්සේසත් නොවිය යුතු ද? එයට මහා සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ආගමික නායකයන්ගේ ආශීර්වාදය නොලැබිය යුතු ද? මෙය පක්ෂ ලෙසින් නොව රටක් ලෙසින් සිතා තීන්දු තීරණ ගත යුතු මොහොතකි. රනිල්ට එසේ නොසිතුණත් බහුතරයක් මන්ත්‍රීවරුන්ට ඒ නුවණ පහළ වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

අදහස්