පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම ව්‍යවස්ථානුකූලයි | සිළුමිණ

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම ව්‍යවස්ථානුකූලයි

"දේශපාලන බලය තහවුරු කර ගැනීම පිළිබඳ මෙතෙක් පැවැති භාවිතාවන් අනුව මෙහි ඇත්තේ සාපේක්ෂභාවයකි. කෙසේ හෝ තමන් අතට බලය පත් වූ විට, එය තහවුරු කර ගැනීමට නොහැකි නම් ඔහු දේශපාලනය නොකළ යුතු අයෙකි. ලංකාවේ මුල්ම පාර්ලිමේන්තුවේ (1947) බලය අල්ලා ගත් එක්සත් ජාතික පක්ෂය පවා 1947 මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලබාගත්තේ නැත"

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XI වැනි පරිච්ඡේදයේ ව්‍යවස්ථාදායකය කාර්ය පටිපාටිය සහ බලතල ප්‍රකාරව 70: (1) වැනි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම ව්‍යවස්ථානුකූල වේ. එහි සඳහන් වන ආකාරයට ‘ජනාධිපතිවරයා විසින් කලින් කළ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය.’

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 27 වැනිදා සිය බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට පියවර ගත්තේය. එහි කිසිදු ආකාරයක ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් නොවේ.

නමුත් මෙම වාරාවසාන කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දැඩි විවේචනයක් එල්ල කරමින්, මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නිර්මාණය කර ගැනීමට ඉඩප්‍රස්ථාව සලසාදීම සඳහා කාලය ගැනීමට පාර්ලිමේන්තුව වාරාවසාන කළ බව කියා සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ නිර්මාණය වූ අනපේක්ෂිත පරිසරය තුළ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරවාසාන කිරීම එම විවේචන දැඩි වීමට හේතු විණි. එසේම එම තීරණය ව්‍යවස්ථා විරෝධී, පාර්ලිමේන්තු විරෝධී ක්‍රියාවක් වශයෙන් නාමකරණය කිරීමට දැඩි වෙහෙසක් ගන්නා බවක් දැකිය හැකිය. එහෙත් මෙම ප්‍රකාශ ද අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ප්‍රවාද සේම සාවද්‍ය එමෙන්ම ජනතාව නොමග යවන සුලු ඒවා බව පැහැදිලිව පෙනී යයි.

දේශපාලන බලය තහවුරු කර ගැනීම පිළිබඳ මෙතෙක් පැවැති භාවිතාවන් අනුව මෙහි ඇත්තේ සාපේක්ෂභාවයකි. කෙසේ හෝ තමන් අතට බලය පත් වූ විට, එය තහවුරු කර ගැනීමට නොහැකි නම් ඔහු දේශපාලනය නොකළ යුතු අයෙකි. ලංකාවේ මුල්ම පාර්ලිමේන්තුවේ (1947) බලය අල්ලා ගත් එක්සත් ජාතික පක්ෂය පවා 1947 මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලබාගත්තේ නැත.

එසේම අදටත් මහ මැතිවරණයකින් පාර්ලිමේන්තුවේ බහුතර බලය වන ආසන 113 දිනා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයක් සමත් වුයේ නැත. (1994, 2000, 2001, 2004 හා 2015) පාර්ලිමේන්තුවේ බහුතර බලය (142) දිනා ගත්තේ 2010 මහ මැතිවරණයෙන් ජයගත්තේ ද මහින්ද රාජපක්ෂ මහතාය.

රාජ්‍ය නායකයා : අග්‍රාණ්ඩුකාරයා ජනාධිපති විසින් තම අභිමතය පරිදි හෝ ජාතික අවශ්‍යතාව පරිදි පාර්ලිමේන්තුව කල් දැමීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පමණක් ගත් ඓතිහාසික තීන්දුවක් නොවේ. ඒ බව පාර්ලිමේන්තු වාර්තා මගින් මනාව පැහැදිලි කරගත හැකිය. ඒ අනුව, ප්‍රථම පාර්ලිමේන්තුව (1947.07.26 - 1952.04.08) අවස්ථා 04ක දී ද, දෙවන පාර්ලිමේන්තුව (1952.04.28 - 1956.02.18) අවස්ථා 03ක දී ද, තෙවන පාර්ලිමේන්තුව (1956.03.08 - 1959.12.05) අවස්ථා 03 ක දී ද, පස්වන පාර්ලිමේන්තුව (1960.08.05 - 1964.12.17) අවස්ථා 05 ක දී ද, හයවන පාර්ලිමේන්තුව (1965.04.25 - 1970.03.25) අවස්ථා 04ක දී ද, හත්වන පාර්ලිමේන්තුව (1970.06.07 - 1972.05.18) අවස්ථා 03ක දී ද මෙලෙස වාරාවසාන කර තිබේ.

1977 මහ මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්ෂය (1978.09.07 - 1988.12.20 දක්වා කාලය තුළ) පාර්ලිමේන්තුව කල් තැබූ අවස්ථා ගණන 08කි. ජනපති රණසිංහ ප්‍රේමදාස යුගයේ (1990.03.23 - 1993.03.23) දක්වා අවස්ථා 04ක දී ද පාර්ලිමේන්තුව වාරාවසන කර තිබේ.

එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ (1994.08.25 - 2000.8.18) අවස්ථා 05ක් ද, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරූ 2001.12.19 - 2004.02.09 කාලයේ එක අවස්ථාවක දී ද මහින්ද රාජපක්ෂ යුගයේ අවස්ථා 02ක දී ද පාර්ලිමේන්තුව වාරාවසාන කර ඇත. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018.04.12 වැනි දා ද, 2018.10.27 මේ අවස්ථාවේ දී ද පාර්ලිමේන්තුව වාරාවසාන කර ඇත. මින් හැඟී යන්නේ රාජ්‍ය නායකයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීම යනු ව්‍යවස්ථා විරෝධී හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් නොවන බවය. එය ජාතික කාර්යභාරයක් හේතුවෙන් හෝ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව අනුව ක්‍රියාත්මකවන නීත්‍යනුකූලද වූ පියවරකි.

ඉහත සඳහන් සියලු තත්ත්වයන් තුළ පැහැදිලි වන කරුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කිසිදු ආකාරයක අනෛතික, ව්‍යවස්ථා විරෝධී හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් ගෙන නැති බවයි. එකී පියවර සියල්ල නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට (බහුතර මතයට) එකඟව සිදු වු ඒවා බව සිහිපත් කළ යුතුය.

ජනාධිපතිවරයා විසින් වාරාවසාන කළ පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස මේ වන විට එජාපය, ජවිපෙ හා දමිළ ජාතික සන්ධානය විසින් ඉල්ලීම් කර තිබේ. කතානායකවරයාගේ පාර්ශ්වයෙන් වාර්තා වෙන්නේ හිටපු කතානායකවරයකු වන ජෝෂප් මයිකල් පෙරේරා (එජාප) මහතාට අනුව ජනාධිපතිවරයාගේ නියෝගය නොකතා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගැනීමට සූදානම් වන බවය.

එහෙත් කතානායකවරයා මෙවැනි අනීතික, ව්‍යවස්ථාව මගින් ලබා නොදුන් බලයක් භාවිත කරන යම් පියවරකට යෑම උචිත නොවේ. එසේ ගියහොත් වත්මන් දේශපාලන වාතාවරණය සම්පූර්ණයෙන් විකෘතියකට මෙන්ම බරපතළ අර්බුදයක් රට තුළ නිර්මාණය කරන බව කිව යුතුය. ඒ එය පාර්ලිමේන්තුවේ බහුතර බලය අබිබවා යන, එය අතික්‍රමණය කළ හා එය පිළිනොගන්නා වාතාවරණයක් වන නිසාය.

මෙහි දී ඇත්තටම ජනමතය ඇති තැන කල්පනාවට ගතු යුතුව ඇත. අද ජනමතය පවතින්නේ මීට වසර තුනකට ඉහත පැවැති මට්ටමින් නොවේ. යම් ජනමතයක් මේ වන විටත් නිර්මාණය වී තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලිව ප්‍රකාශ වූ ජනමතය වඩාත් ප්‍රකටය. එනිසා වත්මන් ප්‍රවණතා කතානායකවරයාගේ විචක්ෂණශීලී දැක්ම අනුව අනුගත විය යුතු බව මේ ගැන උන්නදුවක් දක්වන විද්වතුන්ගේ මතයයි.

ඒ අනුව මේ හරහා යම් ආකාරයක ව්‍යවසනයක් නිර්මාණය වුවහොත් එහි ඍජු වගකීම කීර්තිමත් දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතාට බාර ගැනීමට සිදුවනු ඇත. ඒ නිසා කතානායක කරු ජයසූරිය මහතා තම වගකීම මෙන්ම වගවීම ද අනුව නිවැරදි තීන්දුවක් ගත යුතු මොහොතක් එළඹ තිබේ.

එජාපයට හෝ එජාප නායකත්වය අනපේක්ෂිත ලෙස ලැබුණු රාජ්‍ය බලය තහවුරු කර ගැනීමට (පක්ෂ නායකත්වය මෙන්ම) හා රැක ගැනීමටද නොහැකි විය. එය එන්න එන්නම පිරිහිණි. එනිසා සමස්ත ශ්‍රී ලාංකේය රාජ්‍යයත්, ජනතාවත් තව දුරටත් ප්‍රපාතයට තල්ලූ නොකර ජනාධිපතිවරයා ගත් මේ පියවර ප්‍රශංසනීය වේ. රටක් ලෙස කල්පනා කරන විට එහි අගය ඉහළය.

 

අදහස්