පොදු දේපළ පනත යටතේ රනිල්ට නඩු දාන්න පුළුවන් | සිළුමිණ

පොදු දේපළ පනත යටතේ රනිල්ට නඩු දාන්න පුළුවන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්ය

විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ කැඳවුම්කරු

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මහේෂ් කොටුවැල්ල

“නව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම හේතු කීපයක් නිසාම නීත්‍යානුකූලයි. 2015 ජනවාරි 08 දින ජනාධිපතිවරණය ජයගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 09 දින දිවුරුම් දීමෙන් සුළු මොහොතකට පසු රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළේ එතුමාට මන්ත්‍රීවරුන් 47 දෙනෙකුගේ පමණක් සුළුතරයක සහයෝගය තිබියදීයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට අනුමැතිය ලබාදුන්නෙ පාර්ලිමේන්තුවේ මෙවැනි සුළුතර බලයක් පමණක් තිබියදීමයි.

එමෙන්ම 2018 පෙබරවාරි 10 දින පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව පැහැදිලි තීන්දුවක් දුන්නා. රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුත් ආණ්ඩුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ අනුව මේ ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරලා නව අගමැතිවරයකු පත්කළ යුතුව තිබුණේ 2018 – පෙබරවාරි– 11 දිනයි.

එසේම අග්‍රාමාත්‍යවරයා පත්කිරීම සම්බන්ධයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 42 වැනි ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදී බලය හිමිවෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සං‍ශෝධනයෙන් පසුව, 42 (4) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තු‍වේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පත්කළ යුතු බවයි. එම ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව ගණනය කර 113 හෝ ඊට වැඩි කැමැත්තක් ඇති මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා බැඳී නැහැ. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් උපරිම විශ්වාසයක් දිනා ඇති මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතා බව ජනාධිපතිවරයාගේ මතයක් වී ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ මතය එය නම් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමේ බලතල ජනාධිපතිවරයාට හිමිවන අතර එය සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල බව කිවහැකියි. එයට අභියෝග කිරීමට අධිකරණයට හෝ කථානයකවරයාට කිසිඳු හැකියාවක් නැහැ.

මා ඉදිරිපත් කරන ප්‍රධානම තර්කය වන්නේ මේ අවස්ථාවේ ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිවන 48 වන ව්‍යවස්ථාව යටතේ බවයි.

අර්ථනිරූපන ආඥ පනත යටතේ දක්වා ඇති නීතිමය තත්ත්වය වන්නේ යමකු පත්කිරීමට නීතිමය බලයක් ඇති අයෙකුට ඒ තැනැත්තා ඉවත් කිරීමටද නීතිමය බලයක් ඇතිබවයි. ඒ අනුව 48 වන ව්‍යවස්ථාවෙන් දැක්වෙන අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම යන්න ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමක් ලෙස සැලකිය හැකිය. මේ වන විට ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් මේ බව දැනුම් දී ඇති අතර පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධූරයට තමාගේ අභිමතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය විශ්වාසයක් දිනු මහින්ද රාජපක්ෂ මහතා පත්වීම මුළුමනින්ම ව්‍යවස්ථානුකූල බවත් නීත්‍යානුකූල බවත් කිවහැකියි.

කථානායකවරයාට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නීතිමය ප්‍රතිපාදන නැහැ. ජනාධිපතිවරයාට ඇති අන්‍ය වූ අභිමථානුසාරී බලය අභියෝගයට ලක්කිරීමට කථානායකවරයාට කිසිඳු බලයක් නොමැති අතර ජනාධිපතිවරයාගේ තීරණය ශ්‍රේෂ්ඨාධිරණයේද අභියෝගයට ලක් කළ නොහැකිය.

හිටපු අග්‍රාමාත්‍යවරයා නීති විරෝධී‍ ලෙස බලහත්කාරයෙන් අරලිය ගහ මන්දිරයේ රැඳී සිටීම පොදු දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය ය‍ටතේ අපරාධ වරදක් ලෙස ගැනෙන අතර. ඔහුට විරුද්ධව අධිකරණයේ අපරාධ නඩුවක් පැවරීමට නඩු නිමිත්තක් ද පැන නැඟී ඇත.

අදහස්