මහපොළොවේ දේශපාලනය යථාර්ථයක් කළ නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම | සිළුමිණ

මහපොළොවේ දේශපාලනය යථාර්ථයක් කළ නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම

"බල දේශපාලනයේ දී ජයග්‍රහණය කරන්නේ වඩාත්ම පරිණත සහ උපක්‍රමික නායකයා බව කවුරුත් දනිති. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල්වි ක්‍රමසිංහ මහතා සිය 2020 ජනාධිපතිවරණ සිහිනය වෙනුවෙන් සිය ප්‍රතිවාදීන් සමඟ පවා කළ රහස් දේශපාලන ගනුදෙනුව පරාජය කරමින් ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකිවුණේය."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සම්මුතිවාදී ජාතික රජයෙන් ඉවත් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම ව්‍යවස්ථාවට විරුද්ධ බව කියමින්, ඊට එරෙහිව ජනතාව උසිගන්වමින්, රට අරාජිකත්වයට පත්ව ඇතැයි කියමින්, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය ද මෙහෙයවීමේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් මේ මොහොත වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.

ජනාධිපතිවරයා ගත් මේ තීන්දුව ව්‍යවස්ථාවට සහ නීතියට විරුද්ධ නම් එකසත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කළයුත්තේ ජනතාව උසිගැන්වමින්, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය උසි ගන්වමින්, රට අරාජික කිරීම නොව, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම හෝ පාර්ලිමේන්තුව කැඳවූවාට පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පියවර ගැනීමය.

මේ දේශපාලන පක්ෂ කිසිවක් එවැනි ක්‍රියා මාර්ගයකට නොයන්නේ මේ ක්‍රියාදාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ නොවන බව ඒ සියලු දෙනා හොඳින්ම දන්නා නිසාය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් මහා මැතිවරණය අවසන්වීමත් අතර කාලයේ දී හැර ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයාගේ ධූරය දැරීම නතර වනු ඇති බව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (01) වගන්තියේ පැහැදිළිව සඳහන්වේ.

යහපාලන ජාතික රජය අභ්‍යන්තරයේ මුල සිටම උද්ගත වී තිබූ උග්‍ර අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මේ ලියුම්කරු දීර්ඝ කාලයක් මුළුල්ලේ කළ පුළුල් විමර්ශනයේ දී, හෙළිදරව් වෙමින් තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හෝ ඔහු ධූරයෙන් පහ කිරීමට සිදු වනු ඇති බවය.

මේ තීරණය ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හේතු වූ පසුබිම පිළිබඳව කිසිවකුත් කතා නොකරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ ජනාධිපතිවරයා මේ තීරණයට තල්ලු වුණා නොව එක්සත් ජතික පක්ෂය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහු එම ස්ථාවරයට තල්ලුකළ බවය.

සම්මුතිවාදී ජාතික රජයේ මේ දෙදරීම මුලින්ම ආරම්භ වූයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවත් සමගය. ශ්‍රී ලාංකිකයකු නොවන සිංගප්පූරු ජාතිකයකු වන සිය සමීපතම මිත්‍රයකු වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත් කරද් දී ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලයේ බහුතරය විරුද්ධ වෙද් දී ඔහු පිළිබඳ වගකීම තමා සම්පූරණයෙන්ම භාර ගන්නා බව කියමින් ඔහු එම තනතුරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබුවේ සිය තනි අභිමතය පරිදිය.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම කරුණු විමර්ශනය කර වාර්තාවක් ද ඉදිරිපත් කර ඇතත් අර්ජුන් මහේන්ද්‍රන් මහතාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන තුරුත් නොහැකි වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමක් සිදු නොවේ.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුල සිටම ක්‍රියා කළ මානසිකත්වය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් ජනාධිපති ධූරයට පත් වූ නිසා ඔහු ඒ අයට යටහත් පහත්ව ක්‍රියා කළ යුතු බවය.

එම මානසිකත්වය ඇතිව ක්‍රියා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් බහුතරය ජනාධිපතිවරයා නොතකා සහ නොසලකා හරිමින් සිය අභිමතය පරිදි තීන්දු තීරණ ගෙන ක්‍රියා කළ අතර තමාට බොහෝ දේ දැන ගැනීමට සිදුව ඇත්තේ උදෑසන පුවත්පත්වලින් බවට ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර සිටියේ මේ පසුබිම යටතේය.

මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළ හැකි අපේක්ෂකයකු 2015 ජනාධිපතිවරණයට සොයා ගත නොහැකිව එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන දේශපාලන පක්ෂ දේශපාලන උභතෝකෝටිකයකට මුහුණ දී සිටය දී මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරමින් පොදු අපේක්ෂකයා කියන අනතුර භාර ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගත් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දේශපාලන වශයෙන් එවැනි යටහත් පහත් භාවයක් අපේක්ෂා කළ නොහැකි බව දේශපාලනය ගැන දන්නා කවුරුත් දනිති.

එමෙන්ම නීතිය සහ සාමය වගේම අධිකරණ අමාත්‍යංශ භාරව සිටි එක්සත් ජාතික පක්ෂය 2015 ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි හොරුන් සහ මැරයන් ඇතුළු අපරාධකරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිය අනාගත දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ඒ අය ආරක්ෂා කරන බවට සර්වාගමික සහ සිවිල් සමාජය ඇතුළු සමස්ත ජනතාවගෙන් බරපතළ චෝදනාවක් එල්ල වෙමින් පැවතිණ.

ඒ වගේම ආර්ථිකය භාරව ක්‍රියා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රටේ ආර්ථිකය නඟා සිටුවීමට නොහැකි බවට චෝදනා එල්ල වෙමින් පැවැති අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල මේ වන විට 174 දක්වා අවප්‍රමාණය වී තිබේ.

මංගල සමරවීර මහතා යටතේ පැවැති ජනමාධ්‍ය අමත්‍යංශය මගින් රාජ්‍ය මාධ්‍ය මෙහෙය වූ ආකාරය ගැන ද රවී කරුණානායක මහතාගෙන් පසුව ඔහුට ලැබුණු මුදල් අමාත්‍ය ධූරය ඔහු මෙහෙය වූ ආකාරය ගැන ද විශාල වශයෙන් චෝදනා එල්ල වෙමින් තිබිණ.

විශේෂයෙන් උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට විදේශීය ආයෝජන සැලකිය යුතු මට්ටමකින් රටට ගෙන්වා ගැනීමට නොහැකි වූ අතර ඔහුට ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවකට දුෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වෙමින් තිබුණත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උද්ගත වී තිබිණ.

මේ අනුව උද්ගත වී තිබෙන තත්ත්වය තේරුම් ගෙන රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු එම ධූරයෙන් පහ කර, යහ පාලනය අඛණ්ඩවම ඉදිරියට ගෙන යා හැකි සැලසුම් තුනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශාරදයින් ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කර තිබිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කරවා තිබූ මේ අර්බුදය විසඳා ගත හැකි සැලසුම් කරුණු වශයෙන් මෙසේය.

01. ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද, එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේ ද සහය ඇතිව 2018 අය-වැය යෝජනාවලිය පරාජය කර අගමැතිවරයාට ව්‍යවස්ථානුකුලවම ඉවත්වීමට සහ කැබිනට් මණ්ඩලය අහෝසි වීමට ඉඩ හැර පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත දිනා ගත හැකි එක්සත් ජාතික පක්ෂයේම පුද්ගලයකුට අගමැතිකම පවරා ඔහු යටතේ අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීම.

02. මේ වැනි ජාතික දේශපාලන අර්බුදයක දී ජාතික දේශපාලන අවශ්‍යතාවයක් මත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (01) වගන්තියට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් පහ කර, ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද, එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේ ද සහය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවා හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කර ඔහු යටතේ නව කැබ්නට් මණ්ඩලය පත් කරමින් යහ පාලන මූලධර්ම මත ආණ්ඩුව ඉදිරියට ගෙන යාම.

03. රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ සිටිය දී රටේත් ජන සමාජයේත් මහත් ප්‍රශ්න කිරීම්, සැක සංකා සහ විවේචනවලට තුඩු දී තිබෙන අධිකරණ, පොලිස්, මුදල්, ජනමාධ්‍ය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශ ජනාධිපතිවරයා යටතට ගෙන මෙහෙයවීම.

05. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙසට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කිරීම.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂවල සහ සුළු දේශපාලන පක්ෂවල නායකයින් ද, දේශපාලන විචාරකයින් ද, මැති ඇමතිවරුන් වගේම බුද්ධි අංශ නිලධාරීන් ද සමඟ දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරමින් මේ ලියුම්කරු කළ විමර්ශනයේ දී තහවුරු වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අතරින් පළමු හෝ දෙවැනි සැලසුම ක්‍රියාත්මක කරනු ඇති බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප ආරංචි මාර්ග පැවසුවේ පැහැදිළි වෙනසක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් ඔහු සමඟ අවබෝධයකින් යුතුව ක්‍රියා කරන බවය.

මේ සියලු ප්‍රශ්න උද්ගත වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා මගහැර සිය අභිමතය පරිදි ක්‍රියා කිරීම, අධිකරණ, පොලිස්, මුදල්, ජාත්‍යන්තර වෙළඳ සහ ජනමාධ්‍ය යන අමාත්‍යංශ මෙහය වන ආකාරය, හොරුන් ඇතුළු අපරාධකරයින්ට එරෙහිව නිසි පරිදි, විනිවිද භාවයෙන් යුතුව නීතිය ක්‍රියාත්මක කරමින් දඬුවම් ලබා නොදීම, හවුල් ආණ්ඩුවක් තිබිය දී ඒ ගැන නොතකා එක්සත් ජාතික පක්ෂයත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත් සිය අභිමතය පරිදි පමණක් අය-වැය යෝජනාවලිය සකස් කිරීම, ජනාධිපති ඝාතන සැලසුමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී නාලක ද සිල්වා මහතා වගේම ඔහුව ආරක්ෂා කරන අය අගමැතිවරයා විසින් ආරක්ෂා කිරීම ඇතුළු සංකීරණ ප්‍රශ්න ගණනාවක් මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයාට ඉතා සමීප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මේ ලියුකරු සමඟ පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර මුල සිටම හොඳ අවබෝධයක්, පැහැදීමක් සහ විශ්වාසයක් ගොඩනගා ගැනීමට නොහැකි වූයේ එම නායකයින් දෙදෙනා අතර පණිවුඩකරුවා ලෙස ක්‍රියා කළ උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ දුර්වලතාවය නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ නායකයෙක් අවධාරණය කර සිටියේය.

ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජොන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, සජිත් පේ‍්‍රමදාස, රවී කරුණානායක, දයා ගමගේ, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක, අජිත් පී පෙරේරා සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු මහ පොළවේ දේශපාලනය ගැන දන්නා උගත්, බුද්ධිමත්, පරිණත ජ්‍යෙෂ්ඨ සහ තරුණ දේශපාලකයින් ගණනාවක් එක්සත් ජාතික පක්ෂයේ සිටිය දී ජන පදනමක් නොමැති, සල්ලි හෙවීමේ කූට ව්‍යාපාර ගැන විනා දේශපාලනය ගැනවත්, ජනතාවගේ අවශ්‍යතා, හද ගැස්ම සහ ප්‍රශ්න ගැනවත් නොදන්නා මලික් සමරවික්‍රම මහතා වගේ පුද්ගලයකු ජාතික ආණ්ඩුවක් වැනි රටක සංකීරණ දේශපාලන ක්‍රියාවලියක දී නායකයින් දෙදෙනා අතර පණිවුඩකරු ලෙස යොදා ගැනීම තරම් තවත් අඥාන ක්‍රියාවක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු ගෙන හැර දක්වමින් වැඩි දුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ එම ජ්‍යෙෂ්ඨ නායකයා මෙසේ ද කීය.

“රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ විටින් විට කැරළි මතු වෙනවා. එසේ කැරළි මතු වූ සෑම අවස්ථාවකදීම එම කැරළි සමථයකට පත් කිරීම සඳහා එම කැරළිකරුවන් අතර සිටිමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සාකච්ඡා කළේ මලික් සමරවික්‍රම මහතාය. එහෙත් එතුමාට එරෙහි එම අභ්‍යන්තර කුමන්ත්‍රණ සහ කැරළි නතර වුණේ නැහැ. එදා වගේම අදටත් එම අභ්‍යන්තර අර්බුද පවතිනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පවා විටින් විට මතු වන එම අර්බුදවත් කළමනාකරණය කර ගනිමින් විසඳා ගැනීමට මලික් සමරවික්‍රම මහතා අසමත් වී සිටිනවා.”

“ ඒ වගේම අපට මතකයි 2001 ආණ්ඩුවේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර ප්‍රශ්න ඇති වූ අවස්ථාවේදීත් දෙපාර්ශවය අතර පණිවුඩකරු හැටියට ක්‍රියා කළේ මලික් සමරවික්‍රම මහතායි. ඒ අවස්ථාවේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය වෙනුවෙන් සාකච්ඡාවට පැමිණියේ මනෝ තිත්තවැල්ල මහතායි. මේ සුප්‍රසිද්ධ “මනෝ-මලික්” සාකච්ඡා අවසන් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය ජය ගෙන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමත් අහිමි වී ඔහු විපක්ෂයට තල්ලු වීමෙන්.

වර්තමානයේ උද්ගත වී තිබෙන තත්ත්වය අනුව අපට පෙනී යන්නේ ද පණිවුඩකරුවකු සහ සාකච්ඡාකරුවකු ලෙස මලික් සමරවික්‍රම මහතාගේ අසාර්ථක භාවය හේතුවෙන් 2004 සිට බැලුවාම අවුරුදු එකොළහකට පසුව ගොඩනැගු ආණ්ඩුව සහ අගමැතිකමත් අහිමී වී රනිල් වික්‍රමසිංහ මහතාට යළිත් විපක්ෂයේ ගාල්වීමට අවශ්‍ය පසුබිම මලික් සමරවික්‍රම සකස් කර ඇති බවයි.”

බල දේශපාලනයේ දී ජයග්‍රහණය කරන්නේ වඩාත්ම පරිණත සහ උපක්‍රමික නායකයා බව කවුරුත් දනිති. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය 2020 ජනාධිපතිවරණ සිහිනය වෙනුවෙන් සිය ප්‍රතිවාදීන් සමඟ පවා කළ රහස් දේශපාලන ගනුදෙනුව පරාජය කරමින් ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකිවුණේය. ගෙවුණු සිකුරාදා (26) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඒ අනුවය.

මේ අනුව පැහැදිළි වන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන උපාය උපක්‍රම සෑම විටම වැරදි බව ඉතිහාසය ඔප්පු කර ඇති බවය.

ඊට හොදම උදාහරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නඟා සිටුවා ඒ වාසියෙන් 2020 දී ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ මහතා දුටු සිහින සියල්ල බොඳ කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ එක්වීමය.

අදහස්