මහින්ද අගමැති ගැන ජනතාවට ලොකු විශ්වාසයක් තියෙනවා | සිළුමිණ

මහින්ද අගමැති ගැන ජනතාවට ලොකු විශ්වාසයක් තියෙනවා

''නව ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව අදාළ ආයතනත් සමඟ සාකච්ජා කරලා කටයුතු කරනවා. අනිවාර්යෙන්ම අදාළ නිලධාරින් සේවකයන්ට යම්කිසි සහනයක් ලබාදෙන්න අපි කටයුතු කරනවා.''

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම නිති‍ විරෝධි ව්‍යවස්ථාවට පටහැණි කියලා එජාපය චෝදනා කරනවා.?

ව්‍යවස්ථාව අනුව පක්ෂ දෙකක් එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවන ලද අවස්ථාවක එක් පක්ෂයක් ඉල්ලලා අස්වුණාම ඒ ආණ්ඩුව අහෝසි වෙනවා. ඒ ආණ්ඩුව අහෝසි වුණාම නව ආණ්ඩුවක් පිහිටුවන්න එතුමාට බලය තියනවා. මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා හැටියට පත් කරගෙන දැන් ඒ කටයුතු කරගෙන යනවා.

මේ ආණ්ඩුව විසුරුවා හරින්න විශාල හේතු ගණනාවක් තිබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන සැලැසුමක් තිබුණා. ඒ පිළිබඳ පරික්ෂණයක් යනවා. මේ රටේ ආර්ථිකය කඩාවැටෙමින් තියෙනවා. ජනතාවට බදුබර පටවනවා. රුපියල අවප්‍රමාණ වුණා.මේ රට විදේශිය කරණය කරමින් පවතිනවා. ඒ වගේම ජනතාවට තෙල් මිල සුත්‍රයක් ගෙනල්ලා පිඩාවට පත් කළා . ජිවත්වෙන්න ආර්ථිකයක් නැති තත්ත්වයට පත් වුණා. මේ රටේ දේශිය කර්මාන්ත හිමියන්ට සැලකුවේ නැහැ. එතුමාගේ දැඩි විරෝධය නොතකා මේ දේපොළ විජාතිකයන්‍ට විකිණීමේ ව්‍යාපාරයක් යනවා. මේවා නවත්තන්න සුදුසුම ක්‍රියාමාර්ගය තමයි එතුමා ගත්තේ කියලා එතුමා කිව්වා. ඒ අනුව ඒ අය ක්‍රියා කරලා තියනවා. පාර්ලිමේන්තුව රැස්වුණාම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථා විරෝධි කටයුත්තක් වෙලා තියනවා නම් පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. වැරැදි දෙයක් වෙලා තියනවා නම් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා එ අයට පුළුවන් පරාජය කරන්න.

විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වුණාම පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණයකට යන්න. ඒ කටයුත්තට ජනතාව වඩාත් කැමැතියි. ජනතාවගේ කැමැත්ත එදාට ජනතාව ප්‍රකාශයට පත් කරයි. එතකොට බලයට පත්වෙන රජය රට කරගෙන යයි.

ඔබතුමාලට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටිනවා නම් හවුල් ආණ්ඩුව පරාජය කිරීමෙන් හෝ අය වැය පරාජය කිරීමෙන් නව රජයක් පිහිටුවා ගන්න තිබුණා නේද ?

අය වැය ඉදිරිපත් කරන තුරු හවුල් ආණ්ඩුව පැවතුණා නම් එය පරාජයට පත්වෙනවා.

එජාපය කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යන්නට අවශ්‍ය නැහැ කියලයි. වඩා උත්තරීතරවන්නේ පාර්ලිමේන්තුව බවත් ඔවුන්ගේ තර්කය වෙනවා ?

ඒ අයට පුළුවන් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගේන්න. පාර්ලිමේන්තුවට මම කලින් සඳහන් කළා වගේ ව්‍යවස්ථා විරෝධි කටයුතු කරලා තියනවා නම් යන්න වෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයටයි.

නව රජයට බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් නැති නිසා පාර්ලිමේන්තුව කල් තැබු බව එජාපය කියනවා.?

බහුතර බලය පෙන්නන්න තියෙන්නේ පාර්ලිමේන්තුව රැස්වුණාට පස්සෙයි. මේ පාර්ලිමේන්තුව දවස් දහයකට කල් දැමීම පිළිබඳ කතා කරන එජාපය මේ ර‍ටේ මැතිවරණ පුළුවන් තරම් කල් දැම්මා. ජනතාවගේ හඬට කන්දුන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණයේදි එජාපය දැක්කා ඒ අයට තියන විරෝධය. එජාප මන්ත්‍රීවරුන් නව ආණ්ඩුවට එකතු වෙලා ඇමැති ධුරවල දිවුරුම් දෙනවා. තවත් මොනවද අපි බහුතර මන්ත්‍රී සංඛ්‍යාව පිළිබඳ කතා කරන්නේ.

ඔබතුමාලට බහුතර මන්ත්‍රී සංඛ්‍යාව පාර්ලිමේන්තුවේදී පෙන්නන්න පුළුවන්ද ?

එජාප මන්ත්‍රීවරුන් සංඛ්‍යාව බැලුවාම ඒ අයට පේනවා ඇතිනේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කොහෙද ඉන්නේ කියලා. අද ඒ අයගේ මන්ත්‍රී සංඛ්‍යාව සියයට බැහලනේ. පාර්ලිමේන්තුව රැස්වෙන්න තිබුණේ පස් වෙනිදා. දවස් දහයක් කල් දැම්මා. ඉතින් ඒක ඒ තරම් දෙයක්ද? දවස් දහයට ඇයි මේච්චර කතා කරන්නේ. මින් පෙර හිටපු ජනාධිපති අගමැතිවරු පාර්ලිමේන්තුව මාස ගණන් කල් දාලා තියනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්.

2015 සිට තෙල් මිල අඩුවුණා. නමුත් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබුණේ නැහැ කියලා නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. උද්දමන වේගය වැඩිවුණා කියලා එතුමා කියනවා ‍ මිනිසුන්ගේ පිට බදුබර පැටවුණා කියලා. ? මේ නව රජය යටතේ ජනතාවට සහනයක් සැලසෙයිද?

මේ රජය ජනතාවට එපා වෙලා තිබුණේ. මැතිවරණයක් එන තුරු මිනිසුන් බලාගෙන හිටියේ ආණ්ඩුව පෙරළන්න. ඒ තීන්දුව ජනතාව ගත්තේ මහ දවල් සිදුවුණ මහ බැංකු මංකොල්ලය දවසේ. එදා ඉඳලා ජනතාව උත්සහ ‍කළේ ආණ්ඩුව පෙරළන්න මහමැතිවරණයක් එන තුරු. මේ රටේ ජනතාව දන්නවා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ‍මේ රටේ ආර්ථිකයට බලපාන මිලියන ගණනක මුදල් කොල්ල කෑවා කියලා. කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමැතිවරයාට තියෙන විෂය අග්‍රාමාත්‍යවරයා යටතට අරගෙන අග්‍රමාත්‍යවරයාගේ ගජමිතුරු සමාගම මහ බැංකු අධිපති ධුරවලට පත්කරගෙන මේ මහ මංකොල්ලය කළේ .

සාමාන්‍ය ජනතාවට දරාගන්න බැරි බදු බර ජීවන වියදම අඩු කරයි කියලා මේ රජය පිළිබඳ ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒ සඳහා යම් කිසි පියවරක් ගැනීමට බලා‍පොරොත්තු වෙනවාද?

අගමැතිතුමා පැහැදිලිවම කිව්වා අපි මේ රට ගොඩගන්න විජාතික කරණය නවත්තන්න කටයුතු කරනවා. මේ රටේ ව්‍යවසායකයාට දේශිය ව්‍ය‍පාරිකයාට අධික බදු ඉවත් කරලා බඹරා මල නොතළා රොන්ගන්නවා වගේ මහජනයාට ‍රිදෙන්නේ නැති වැඩපිළිවෙළක් ඉදිරියේදි ක්‍රියාත්මක කරනවා. අගමැතිවරයා පිළිබදව මේ රටේ ජනතාවට ලොකු විශ්වාසයක් තියනවා. එතුමා භාරගත්ත සියලු වගකීම් ඉටු කරලා තියනවා. වසර තිහක් තිබුණ යුද්ධය අවසන් කළා. මේ රට සංවර්ධනය කරා ගෙන ගියා. අතිවිශාල සංවර්ධන ව්‍යපාරයක් ක්‍රියාත්මක කරමින් සිටියා. මේ ආණ්ඩුව මොනවද මේ රටට කළේ. ආව දවසේ ‍ඉඳලා රට විකුණලා දැම්මා දේශිය ව්‍යාපාර විනාශ කළා. වත්මන් අගමැතිවරයා මේ රටේ ජනතාවට පොරොන්දු වුණා . කෙටික‍ලින සහ දීර්ඝකාලින වශයෙන් සැලසුම් හදලා තියනවා‍. මේ දේවල් පැයකින් දෙකකින් කරන්න බැහැ. නමුත් පුළුවන් තරම් ඉක්මනින් කරනවා. අඩු තරමින් ගේට්ටුවක් වත් හැදුවද?. අපි පටන්ගත්ත දේවල් විවෘත කරමින් ගියා මිසක.

ඔබ කියනවා පසුගිය රජය රට විදේශියකරණය කළා කියලා. විශාල බදු බරක් පැටවීම නිසා දේශිය කර්මාන්තකරුවන්ව ව්‍යවසායකයන් අඩ පණ වුණා කියලා. මේ කර්මාන්ත නඟා සිටුවීමට නව රජය ගන්නා පියවර කෙබඳු ද?

මේ රජය අපිට උදව් කරපු චීනය වගේ රටවල් සමඟ ආව ගමන් අමනාප වුණා. මේ විදේශියකරණය නතර කරලා දේශියකරණය කිරීමට කටයුතු කරනවා. තාම අපි බලයට පත්වුණා පමණයි. දේශිය කර්මාන්තකරුවන් නඟා සිටුවීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. පිටරටින් ආනයනය කරන දේවල් අඩු කරලා දේශීය නිෂ්පාදනයන් වැඩි කරන්නට කටයුතු කරනවා. ඒ අයට බදු අඩු කරන්නත් අපි බලාපොරෙ‍ාත්තු වෙනවා. තව අවුරුද්දක් එකහාමාරක් යන කොට නැවත දේශීයකරණය වෙයි.

ඔබතුමාලාට ඇමැතිධුර දෙන්න ප්‍රමාද කරන්නේ ඇයි. අලුතින් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ට අල්ලස් වශයෙන් ඇමැති ධුර දෙන්න ද?

අපි මේ ගමන ආවේ ඇමැති ධුරගන්න නෙමෙයි. රට බේරාගන්න වැඩපිළිවෙළටයි එකතු වුණේ .ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේ තීන්දුව ගත්තේ ඒ වෙනුවෙන්. රට කඩාගෙන වැටෙන්න දෙන්න බැහැ. ඒකයි අපි මේ වෙනුවෙන් පෙරමුණ ගත්තේ. තව ටික දවසක් ගියා නම් වරාය ඇතුළු මේ රටේ ආර්ථිකයට බලපාන සියල්ල විකුණලා දානවා.

දිගටම කල් දමමින් පවතින පළාත්සභා මැතිවරණය මේ ර‍ජය යටතේ කඩිනමින් පවත්වයි කියලා ජනතාව විශ්වාස කරනවා?

අනිවාර්යෙන් කඩිනමින් පවත්වන්නට කටයුතු කරනවා. ජනාධිපති තුමාත් පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න කටයුතු සුදානම් කරන්න කියලා උපදෙස් දිලා තියනවා. ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න අපි කටයුතු කරනවා.

පසුගිය රජය යටතේ රජයේ නිලධාරීන් සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන් විශාල ප්‍රමාණයක් දේශපාලන පළිගැනීම්වලට ලක්වුණා. පළිගැනීම්වලට ලක්වුණ එම නිලධාරීන් වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරලා තියනවාද?‍

අපේ රටේ 2015 වර්ෂයේ ඉඳලා විවිධ ආයතන සංස්ථා දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වල විවිධ නිලධාරින් දේශපාලන පළිගැනීම් වලට ලක්වෙලා තියනවා. යම්කිසි හිරිහැර කම්කටොලුවලට, මාරුවීම්වලට, වැඩතහනමට තනතුරු පහකිරීම් වලට ලක්වෙලා තියනවා. අපි ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිතිය හැටියට ඒ පැමිණිලි කොළඹ බත්තරමුල්ල ‍ ‍නෙලුම් මාවතේ අපේ කාර්යාල‍යේ ලියාපදිංචි කරලා තියනවා. එවැනි පළිගැනීම් වලට ලක්වුණ සේවකයන්ට නිලධාරින්ට තමන්ගේ පැමිණිලි භාර දෙන්න පුළුවන්. නව ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව අදාළ ආයතනත් සමඟ සාකච්ජා කරලා කටයුතු කරනවා. අනිවාර්යෙන්ම අදාළ නිලධාරින් සේවකයන්ට යම්කිසි සහනයක් ලබාදෙන්න අපි කටයුතු කරනවා.

 

අදහස්