රට අගාධයට යෑම වළක්වන්න ජනපති ගත් තීරණය බහුතර ජනතාවගේ පැතුමක් | සිළුමිණ

රට අගාධයට යෑම වළක්වන්න ජනපති ගත් තීරණය බහුතර ජනතාවගේ පැතුමක්

"රට තුළ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය හා අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව ඇතුළු වත්මන් දේශපාලන සිදුවීම් පිළිබඳ , යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා සිළුමිණ සමඟ කළ සංවාද සටහනකි මේ."

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පැවති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජයත් සමඟ තව දුරටත් ඉදිරියට යා නොහැකි බව තීරණය කිරීමත්, විශේෂයෙන් ම එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුතිවාදී රජයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමට ගත් තීරණය අපි දකින්නේ මවුබිමේ පැත්තෙන් ගත් වැදගත්, නිවැරැදි හා නිර්භය තීන්දුවක් හැටියටයි.

අද අපිට පේන්න තිබෙනවා විජාතික බලවේග විශේෂයෙන් ම බටහිර තානාපති කාර්යාල, ඒ වගේම විවිධ එන්.ජී.ඕ සංවිධාන, ඒ එන්.ජී.ඕ සල්ලිවලින් යැපෙන බුද්ධිමතුන් මේ ක්‍රියාවලියේ ව්‍යවස්ථානුකූලභාවය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්න කරන්න පෙරට ඇවිත් තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් කල්පනා කර බැලුවොත් ව්‍යවස්ථානුකූලභාවය ගැන කිසිම ගැටලුවක් නැහැ කියලා පේනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වුණා නම් කැබිනට් ඇමැතිවරුන් තිහ ඉක්ම වූ කැබිනට් මණ්ඩලයට පැවැතීමේ අවකාශයක් නැහැ.

මොකද 19 වැනි සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලයට පනවා තිබු 30 සීමාව වගේම අනෙකුත් සියලු ඇමැතිවරුන් සඳහා පනවා තිබූ 45 සීමාව පැවැති රජය ඉක්මවා ගියේ තමන් විසින් පිහිටුවා ඇත්තේ ජාතික රජයක් බවට අර්ථකථනය කරමින්. එතකොට එහි ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානය තමන් ඒ රජයෙන් ඉවත් වූ බවට නිල වශයෙන් දැනුම් දුන් විට අනිවාර්යෙන්ම තිහේ සීමාව ඉක්මවා පැවැති කැබිනට් මණ්ඩලය තවදුරටත් පැවැතීමේ අවකාශයක් නැහැ. ඒ නිසා ඒ කැබිනට් මණ්ඩලය විසිරුවා හැරිය කැබිනට් මණ්ඩලයක් ලෙස සලකන්න වෙන්නේ. එසේ සලකා නව රජයක් පත් කිරීමට කටයුතු කිරීමට ජනාධිපතිතුමාට සිදුවීම අනිවාර්ය කාර්යක්. 19 වැනි සංශෝධනය අනුව කැබිනට් මණ්ඩලය විසිරුවා හැරිය විට අගමැතිවරයාගේ තනතුර අහෝසි වෙනවා. එවැනි අවස්ථාවක 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය වැඩි වශයෙන් දිනාගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. (19 වැනි සංශෝධනයේ, 19 වැනි පිටුව 42 (4) ) වගන්තියට අනුවයි.

ඉතින් ඒ අනුව ජනාධිපතිවරයාගේ විශ්වාසය අනුව අගමැතිවරයා පත් කරගත හැකි බව සඳහන් කර තිබෙනවා. මම දකින ආකාරයට නම් මෙහිදී වඩාත් වැදගත් වෙන්නේ ව්‍යවස්ථානුකූභාවයට වඩා සදාචාරාත්මක වශයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිදුවිය යුත්තේ කුමක්ද යන්නැයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලු නායකයන් පුන පුනා ප්‍රකාශ කළෙත්, ඒ වගේම 2015 ජනවාරි 08 ව්‍යාපෘතිය තුළ කටයුතු කළ විජාතික වුවමනාවන් නියෝජනය කළ අය නැවත නැවතත් ප්‍රකාශ කළෙත් 2015 ජනවාරි 08 ජනවරම සහ පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම මෙ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු කොට සම්මුතිවාදී ආණ්ඩුවක් බිහි කිරීම සඳහා ලද ජනවරමක් වශයෙන්. ඒ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම පෙරමුණේ ප්‍රධාන නායකයන් නැවත නැවතත් පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශයට පත් කළා. ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේ එය හැන්සාඩ් වාර්තාවල පවා එය ලියවී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නිල වශයෙන් කියා සිටිනවා නම් තමන් සම්මුතිවාදි ආණ්ඩුවෙන් ඉවත් වූ බව එක්සත් ජාතික පෙරමුණට තව දුරටත් රට පාලනය කිරීමට ජනවරමක් හෝ සාදාචාරත්මක අයිතියක් නැති බව පිළිගත යුතුයි.

නමුත් නව අගමැතිවරයා පත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බවයි එක්සත් ජාතික පක්ෂය චෝදනා නඟන්නේ. ඇත්තටම ව්‍යවස්ථානුකූල ගැටලුවක් නව පත්කිරීම තුළ තිබෙනවද?

ව්‍යවස්ථාව පමණක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය , සාදාචාරය යන කුමන පැත්තකින් බැලුවත් 2015 ජනවාරි 08 වැනිදා මවුබිම හමුවේ තැබුවේ ප්‍රධාන පක්ෂ දෙක එකතු කරලා මේ රටේ සියලුම ප්‍රශ්න විසඳන ප්‍රතිඥාවයි. ඒ සඳහායි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තෝරා ගත්තේ. එහෙත් ඒ දේ ඉටු කරන්න හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා අසමත් වුණා. ඔවුන්ම පත් කරගත් ජනාධිපතිතුමා කියනවා මහ බැංකුව කැඩුවා. ඒ හොරුන් ආරක්ෂා කළා, අපේ සංස්කෘතියට, සදාචාරයට නොගැළපෙන දේ ගෙන්න හැදුවා කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයෙන් ඉවත්වීම හරිද වැරැදිද කියනවාට වඩා ඒකෙන් කියවෙන්නේ ඔවුන් අසාර්ථකයි කියන කාරණාව. දැන් කළ යුත්තේ සත්‍ය පිළිගෙන දේශපාලන වේදිකාවෙන් බැහැලා යන එක.

ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තත් ජනතාව දැන් සහමුලින්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරලා ඉවරයි. පසුගිය පළාත් පාලන ඡන්දයේදී වත්මන් අගමැතිවරයටත්, ජනාධිපතිවරයටත් ලක්ෂ හැට හතරකට ආසන්න ජනතාවක් ඡන්දය දීලා තිබෙනවා. එතකොට මේ පත් කිරීම නීති විරෝධියි කියන්න බැහැ. මෙය බහුතරයක් ජනතාවගේ කැමැත්ත අනුව සිදුවුණ දෙයක් ලෙසයි මම දකින්නේ.

එහෙත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ඉල්ලා සිටිනවා තමන්ගේ බහුතරය පෙන්වීම සඳහා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස. ඇයි මෙය පාර්ලිමේන්තුවෙන් විසඳා නොගෙන කල් දමන්නේ?

අපේ රටේ තිබුණේ ස්ථාවර ආණ්ඩුවක්ද?, ආර්ථිකය වල් වැදිලා. වරාය, ගුවන් තොටුපොළ වගේ ආර්ථික මර්මස්ථාන රටට අහිමි වන ආරාජිකත්වයක් නෙවෙයිද තිබුණේ. වෙළෙද ගිවිසුම් මගින් රට පිටරටවලට විකුණමින් නෙවෙයිද හිටියේ. ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන සමාජ ගතවෙමින් තිබුණා. ඒ වගේ තත්ත්වයක් උඩ මේ රට ආරාජික වෙලා තිබුණේ නැහැ කියල කියන්න පුළුවන්ද. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් රනිල් වික්‍රමසිංහ මහතාට තිබේද නැද්ද කියන දේ පාර්ලිමේන්තුව රැස් කරාම බලාගත හැකියි.

මෙහිදී එක් දෙයක් මතක තියා ගන්න මොකද රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමක් ඉල්ලා සිටියේ සම්මුතිවාදි ආණ්ඩුවකින් මේ රටේ ප්‍රශ්න විසඳනවා කියලා. එහෙත් ඔවුන්ගේ එක් කොටසක් ඒ ආණ්ඩුවෙන් ගැලවිලා ගිහිල්ලා තියෙද්දි තමන්ගේ අසාර්ථකත්වය පිළිගෙන ඉල්ලා අස්වී නව අගමැතිවරයාට බාර දී යෑමයි මේ මොහොතේ ඔහු කළ යුත්තේ. එසේ නැතුව නන් දොඩවල පලක් නැහැ. ෆෙඩරල් ආණ්ඩුවක් හදාගන්න ඕනේ කියලා දෙමළ සන්ධානය එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදාගැනීම ප්‍රජාතන්ත්‍රවාදීද. එහෙම හදනවා නම් අනිවාර්යෙන්ම රට පාවාල දෙන්න එකඟ වෙලා තමයි එලෙස ආණ්ඩු හදන්නේ. එහෙම කළොත් අපේ ජනතාව තීරණය කරාවි ආණ්ඩුවට මොකක්ද කළ යුත්තේ කියලා. පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවෙයි ජනතාව අතේ. ඒ දේ ජනතාව පෙන්වලා දේවි.

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් බලයට ආ ජනාධිපතිතුමන් එම පාක්ෂිකයන් පාවා දී ඇති බවට එහි නායකයන් ප්‍රකාශ කර සිටිනවා. ඔවුන් ජනාධිපතිවරයාට එල්ල කරනු ලබන චෝදනාව ඔබ දකින්නේ කොහොමද?

තමන්ගේ ආසාර්ථකත්වය පිළිගන්නවා වෙනුවට වෙන චෝදනා එල්ල කරල පලක් නැහැ. සම්මුති ආණ්ඩුවක් ලෙස පත් වෙලා අවුරුදු තුනකට පසුව තමන් බලාපොරොත්තු වුණ ඒ ව්‍යාපෘතිය ආසාර්ථක නම් වෙන මොනවද කරන්න වෙන්නේ. සම්මුතිවාදී ආණ්ඩුව වසර තුනකට පසුවත් එය කරන්න බැරි නම් ඒ කියන්නේ අසාර්ථකයි කියන දේයි. එම නිසා මෙවැනි තත්ත්වයක් තුළ සිදුවී ඇත්තේ ඒ අසාර්ථකත්වය පිළිගෙන ඉල්ලා අස්වීමයි. 2015 ජනවරම 2018 වෙන විටත් තමන් විසින් විනාශ කරගෙන ඇති බව පසුගියදා පැවැති පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලවලින් එක්සත් ජාතික පෙරමුණට පැහැදිලි විය යුතුයි. මහ බැංකුව සිද්ධිය, දේශීය සම්පත් විජාතීකරණය, මෙරටට නොගැළපෙන සංස්කෘතික ක්‍රියාකාරකම් යන සියල්ල නිසා ඒ පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ අති බහුතරයක් ජනතාව එක්සත් ජාතික පෙරමුණ ප්‍රතික්ෂේප කළා.

2015 මහ මැතිවරණයේදී පනස් එක් ලක්ෂයට ආසන්න වූ ඡන්ද ප්‍රමාණයක් ලබාගත් එක්සත් ජාතික පෙරමුණට පසුගියදා පැවැති පළාත් පාලන ඡන්දයේදී මුළු රටින්ම ලබාගත හැකි වුයේ තිස් හය ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක්. එම පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව ඉතා පැහැදිලි ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය රටට අවශ්‍ය බව පිළිගෙන ලක්ෂ පනහකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාදුන්නා. එහිදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලබාගත් 14 ලක්ෂය ඉක්ම වූ ඡන්ද ප්‍රමාණය ද එකතු කළ විට එය හැට හතර ලක්ෂය ඉක්මවා තිබෙනවා. මෙය ප්‍රතිශතයක් ලෙස සලකනව නම් සියයට 58 ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක්.

අනෙක් කාරණය රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ විට ආදර්ශයට ගන්නා මහා බ්‍රිතාන්‍ය යේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුණේ මහ මැතිවරණය පරාජය වෙලා නෙවෙයි. තමා යුරෝපා සංගමය සමඟ එකට කටයුතු කළ යුතු යැයි දැරූ මතය ජනමත විචාරයකින් පරාජය පත් වුණ අවස්ථාවේ. ඒ ආදර්ශය අනුව යනවා නම් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් පස්සේ ඉවත් වෙන්න තිබුණා.

නව අගමැතිවරයාට විදේශ රටවලින් සහයෝගය ලැබෙයිද?

ඇත්ත වශයෙන්ම අපි එය ඉහළින් බලාපොරොත්තු විය නොහැකියි. අපේ රට ස්වාධීන රටක් වෙනවාට බටහිර රටවල් කැමැත්තක් දක්වන්නේ නැති බව පැහැදිලියි. ත්‍රස්තවාදයට උදව් කරන රටවල් ඒ අයගේ කාර්යාල පවත්වා ගෙන යන රටවල්, එම කටයුතු කරන්නේ අපේ රටට ඕන විදියට නෙවෙයිනේ. එය අපි පිළිගන්න ඕන. ඇත්තට මුහුණ දෙන්න ඕන. ඔවුන් 2015 දී ආණ්ඩුව හදන්න උදව් කළේ මවුබිම පාවා දීමටයි. පාර්ලිමේන්තුවේ 56 ක් ඉද්දි 16ක් හිටපු සම්බන්දන් මහත්තයාට විපක්ෂ නායක ධුරය ලබාදෙන කොට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන නායකයෝ කොහේද හිටියේ. පළාත් සභා ඡන්ද කල් දමමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදීත් එම ඡන්ද කල් දමන කොට අද ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන අය කොහේද හිටියේ. අපේ රට විනාශ කරන්න කවුරුන් හෝ උත්සහ කළා නම් එය ඉක්මනින් බිඳ වැටෙනවා. අද වෙලා තිබෙන්නේ ජනවාරි 08 කුමන්ත්‍රණය පරාජය වීමයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙන් සැඳුම්ලත් වත්මන් ආණ්ඩුවට, මේ වෙන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ගොඩගත හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?

මහ බැංකු මංකොල්ලය හා වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මෙරට ආර්ථිකය විනාශය කරා යොමුවෙමින් තිබුණ මොහොතක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ. ඒ අතර තුර හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, කන්කසන්තුරේ වරාය, ත්‍රිකුණාමල තෙල් ටැංකි, කොළඹ වරායේ නැඟෙනහිර පර්යනත්තය පවා ඉන්දියාවට ලබාදීමට අගමැතිවරයා කටයුතු කරමින් සිටියේ. සිංගප්පුරු නිදහස් ගිවිසුම නතර කරන වෙනුවට ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම ගෙන ඒමට ප්‍රතිඥා දී තිබුණා. මේ විනාශකාරී ක්‍රියා සියල්ලෙන් රට බේරා ගැනීමට යොමු වෙනුවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ඒකීය භාවයට පිළිබඳව බුදු දහමට දී තිබුණ ප්‍රමුඛත්වය බිඳ හෙළීමට ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටියා. ඒ නිසා එම ගමන නතර කිරීමට මේ රටේ අති බහුතර ජනතාවගේ පැතුමක්. එම නිසා ඉදිරියේදී හොඳ ආර්ථිකයක තත්ත්වයක් ජනතාවට ලබාගත හැකියි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මය විශ්වාස කළ හැකි නායකයකු බවට මේ දවස්වල සිදුවන යහපත් සංඥාවලින් අවබෝධ කරගත හැකියි.

කොටස් වෙළෙඳපොල වසර පහකට පසුව ඉහළ අගයක් වාර්තා කළා. මම නම් හිතන්නේ මේ ආණ්ඩුවේ කාර්ය භාර්යය විය යුත්තේ ජනතාවගේ හැඟීම් තේරුම් අරගෙන විනාශකාරිත්වයට යන රට හොඳ මාවතකට ගැනීමයි.

ඒ අනුව ඔබ විශ්වාස කරනවා අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය කාලෝචිතයි කියා?

එක්සත් ජාතික පෙරමුණේ දේශපලාන වුවමනාවන් හා විජාතික බලවේගවල අභිප්‍රාය තේරුම් ගෙන ඉන් මිදී මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතුව මවුබිම නව මාවතකට යොමු කිරීමට මේ මොහොතේ ජනාධිපතිතුමා ගත් තීන්දුව මවුබිමට ආදරය කරන සෑම සියලු ජාතීන්ගේ පැතුම යැයි මා විශ්වාස කරනවා.

 

 

 

අදහස්