සත්‍යය අඳුරේ තැබීම මට තවදුරටත් කළ නොහැකිය - මෛත්‍රී ජනාධිපති | සිළුමිණ

සත්‍යය අඳුරේ තැබීම මට තවදුරටත් කළ නොහැකිය - මෛත්‍රී ජනාධිපති

''දැන් හෙට හා රට ගැන අලුතින්ම සිතිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට මුවා වී මේ රට වැනසීමට ඒ මහත්වරුන්ට ඉඩ දිය යුතු නැත. මෛත්‍රි ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කරන ලද ඒ විශේෂ කතාව පත්‍රිකාවක් ලෙස මුද්‍රණය කරවා සියලු ජනතාවට විවේකීව කියවා බැලීමට දෙන ලෙස ද අපි යෝජනා කරමු.''

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන්ට හිමි වී තිබෙන බලතල ප්‍රකාරව යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා එ් ධුරයෙන් ඉවත් කර, ඒ සඳහා හිටපු ජනාධිපතිවරයකු මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වර්තමාන මන්ත්‍රීවරයකු ද වන මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම අරභයා සමාජ, දේශපාලන මෙන්ම නීති ක්ෂේත්‍රයේද උද්ගතව තිබෙන වාද, විවාද, සංවාද, ප්‍රතිවාද යනාදියට සම්බන්ධ වීමට අපි අදහස් නොකරමු. අපගේ අදහස වන්නේ එකී බොහෝ සංවාද පෞද්ගලික බැඳීම් හා දේශපාලන රුචි අරුචිකම් ද විසින් වර්ණ ගන්වන ලද නිසරු ප්‍රලාප බව ය. නීති ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන් අතර වුව ද ඒ පිළිබඳ විවාදයක් පවතී. එසේම නීතිය හෝ ලෝක දේශපාලනය පිළිබද අදෝසංසාරයක් නොදන්නවුන්ගේ ගද්‍රභ ඝෝෂා ද ඒ අතර ඇසෙයි. එහෙත් අපට යෝජනා කළ හැක්කේ නීති විරෝධීව යමක් සිදුවී තිබේ නම් ඒ පිළිබඳ සමාජ වෙබ් අඩවිවල හෝ ප්‍රවෘත්ති සාකච්ඡා මගින් හෝ ග්‍රාම්‍ය, අශ්ලීල ප්‍රතිචාර දැක්වීම වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එයට අභියෝග කළ හැකි බව ය. නීතිය අර්ථ කථනය කළ හැක්කේ ළිඳ ළඟ හෝ කඩ මණ්ඩිවල හෝ කෙරෙන වර්ගයේ බාල සංවාදවලින් නොවේ; එය ඊට වඩා ගම්භීර ද දේශපාලනික ද වේ.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ අනපේක්ෂිත මේ ප්‍රතිචාර එ.ජා.ප.ය ඇතුළු ඇතැම් කොටස්වල දැඩි අපේක්ෂා භංගත්වයට හේතු වී තිබීම අපට තේරුම් ගත හැකිය. දේශපාලන වශයෙන් නන්නත්තාර වූවෝ ද නොයෙක් දුෂ්ට අරමුණුවලින් මඬනා ලද ඇන්ජීඕකාරයෝ ද ප්‍රජාතන්ත්‍රවාදී ආලවට්ටම් දමමින් කරළියට නැඟ බහු රූ කෝලම් ද රඟ දක්වති. බලහත්කාරයෙන් අගමැති නිල මැදුර අල්ලා ගෙන එහි සිට දේශපාලන විහිළු සපයමින් ද සිටිති. සඳ දෙස බලන්නැයි ඇඟිල්ල දික් කරන විට ඒ ඇඟිල්ල දෙස බලා සඳ නොදැක නන්දොඩවන අයට කීමට යමක් අපට නැත. එහෙත් මේ ආන්දෝලනාත්මක සිද්ධියේ නිදාන කතාව බඳු මෛත්‍රී ජනාධිපතිවරයා විසින් පසුගියදා (2018-10-28) ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය පිළිබඳ විමසා බැලීම මෙහි දී අතිශය වැදගත් බව අපට හැඟේ. එය එක් අතකින් මෛත්‍රී ජනාධිපතිවරයාගේ හෘදය සාක්ෂියයි. අනෙක් අතින් මෛත්‍රී ජනාධිපතිවරයා දේශපාලන කටු ඉඹුලක නැංවීමට ප්‍රාර්ථනා කරන දේශපාලන වියරුවට සාධනීය පිළිතුරකි. එමතු නොව සත්‍යය හා යථාර්ථය පිළිබඳ සැබෑ දේශපාලන අනාවරණයක් ලෙස ද අපි එය දකිමු.

ඉකුත් ඔක්තෝම්බර් 26 වනදා සවස මෙරටේ සිදු වූ දේශපාලන බල පෙරළිය මෛත්‍රීගේ නොවැම්බර් විප්ලවයේ ඇස්, කන් අදහාගත නොහැකි විස්මිත සිදුවීමක් බව නම් නිසැකය. සත්තකින් ම එය 2014 නොවැම්බර් 21 වනදා ඔහු විසින් ගන්නා ලද අභියෝගාත්මක තීන්දුවට වඩා බැරෑරුම් ය. මෛත්‍රී ජනාධිපතිවරයාගේ අසාමාන්‍ය දේශපාලන අධිෂ්ඨානයේ හා ස්වදේශීයත්වය මත පදනම් වු ආර්ථික සමාජ සංස්කෘතික ආධ්‍යාත්මය ඔහුගේ මේ ක්‍රියාදාම සමඟ අවියෝජනීය ලෙස බැඳී ඇති බව අප පළමුවෙන් ම සඳහන් කළ මනා ය.

2014 වන විට මෙරටේ තිබුණු දේශපාලන පරාභවයේ අස්වනු රටට ලැබෙන්නේ 1978 දී සිදු වු දේශපාලන නොමඟ යෑමේ හා සදාචාරත්මක සම්මත ඇස් පනා පිට කඩා වැටීම නිසා බව මෛත්‍රී ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව වටහා ගත්තෙකි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම හා මානව හිමිකම් පිළිබඳ නොතකා හරිමින් ගෙවී ගිය දසක කීපයක විනාශය පිළිබඳ සාක්ෂිකරුවකු බවට පත්ව සිටි මෛත්‍රී එයට එරෙහිව සිය දේශපාලන පක්ෂය ද අතහැර එළියට එන්නේ ම යහපාලනයක් පිළිබඳ අවංක හැගීමෙන් ය. ජේ.ආර්. ගේ ධර්මිෂ්ට කඩතුරාවෙන් වසන් කරන ලද සමාජ දේශපාලන අඳුර දුරලමින් නීතිය, සදාචාරය හා මානව හිමිකම් පිළිබඳ වටිනාකම් සමුදාය ශ්‍රී ලාංකික සමාජය මත ස්ථාපිත කළ යුතු බව පෙරදිග හඬකින් ජනතාවට කී නායකයා මෛත්‍රීපාල සිරිසේන බව මෙරටේ ජනතාවගෙන් හැට දෙලක්ෂයක් තීන්දු කළහ. හිතුවක්කාර පාලනයකට එරෙහිව සිය දේශපාලන කඳවුරෙන් පිටව ආ මෛත්‍රීට තමන් අපේක්ෂා කළ දේශපාලන ගමන යෑමට හෝ 1978 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම අහෝසි කිරීමට හෝ ඉඩ ලැබුණේ ද නැත. රාජ්‍ය තන්ත්‍රය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම හා පෙරදිග සම්ප්‍රදාය තහවුරු කිරීමේ සද්කාර්යට තම කණ්ඩායමෙන් ම එල්ලවන අභියෝගය සුළුපටු නොවන බව මෛත්‍රීට දැනුණේ යහපාලන ආණ්ඩුවේ මුල් ම දවස් වලදී ම ය.

“එදා මා බාරගත්තේ මේ රටේ දේශපාලනයේ කිසියම් වූ පුද්ගලයෙක් බාර නොගත් අභියෝගයක්, බරපතළ දේශපාලන අභියෝගයක් ඒ වගේම අවදානමක්. ඒ අවදානම දේශපාලන වශයෙන් පමණක් නොවෙයි; මටත්, මගේ බිරිය සහ දරුවන් ඒ සියලු දෙනාටත් ඇති වූ ප්‍රධාන අවදානමක් සහිතවයි. මා විසින් එ් කාර්යය ඉටු කරනු ලැබුවේ කියා ඔබ දන්නවා. ඒ වගේම පසුගිය 26 වනදා මා විසින් ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වනදා ගත් තීරණයටත් වඩා ප්‍රබල වු අභියෝගාත්මක වූ අවදානම් සහිත තීරණයක් බව මා හිතනවා ඔබ විශ්වාස කරනු ඇතැයි කියා. ඒ සියල්ල මම කළේ ඔබේත්, මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් වගේම ආදරණීය පොදු මහ ජනතාව වෙනුවෙන් කියන එක ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව මෙන්ම නිහතමානිව ද මා මෙහි දී ඔබට සඳහන් කරන්න ඕන.” අගමැති රනිල් වික්‍රමසිංහ යනු ඔහු විසින් සමාජගත කරන ලද ප්‍රතිරූපයට ඉඳුරා වෙනස් වචී පරම දේශපාලනයක නිරතව සිටින්නකු බවට මෛත්‍රී චෝදනා කරන්නේ ඇයි? සැබැවින්ම එ.ජා.ප.යේ ජේ.ආර්. යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ වූ නොතකා හැරීම් නිවැරදි කිරීමට අගමැති රනිල් මැළි වූයේ ඇයි? රනිල්ගේ දේශපාලන සාහසිකත්වය හා අහංකාර උන්මාදය තහවුරු කරන ප්‍රථම නිදසුන ලෙස එදා ආණ්ඩුව විසින් කඩිමුඩියේ සම්මත කරගත් 19 වැනි සංශෝධනය දැක්විය හැකිය. යහපාලනයේ ගජමිතුරන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල අංකුර විසින් උඩ දමනු ලබන ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකැයි මොර දෙන මේ සංශෝධනයේ සැබෑ අරමුණ කුමක්දැයි දැන් අනාවරණය වී තිබේ. නීති විශාරදයන්ගේ විවේචනය අනුව මේ සංශෝධනයේ යටි අරමුණ විධායකය බෙලහීන කර එහි බලය අගමැතිවරයාට ලබා දීම විය. රාජපක්ෂවරුන්ට සම්බාධක පැනවීම විනා ව්‍යවස්ථාවේ සාධනීය වෙනසක් කිරීමට එහි ක්‍රියාකාරකයන්ට අවශ්‍ය නොවු බව ද කියති.

මේ සංශෝධන ක්‍රියාවලිය නියමිත දිනයෙහි රාත්‍රි 7ට ආරම්භ වී රාත්‍රී 11ට නිම වූ ආකාරය හා සංශෝධනවලට අදාළ ලිපි ලේඛන මන්ත්‍රීවරුන්ට නොලැබුණු බව ද රහසක් නොවේ. අලුත් සංශෝධන කෙටුම්පතට රිංගවා ඇත්තේ කාරක සභා අවස්ථාවේ බව ද කියති. අද උද්ගත වී තිබෙන ව්‍යාකූලත්වය මේ කපටි සංශෝධනවල දුෂ්ට ඵලයක් බව නීතිවේදීහු ම අවධාරණය කරති. සැබැවින් ම මෙරටේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය හැමදාමත් අසාර්ථක වන්නේ එහි දී බලගැන්වීමට උත්සාය කරන සංස්කෘතික හා ආගම් විරෝධී වෘකයන්ගේ මැදිහත් වීම් නිසා ය. සිංහල බෞද්ධ මුද්‍රාව බිඳ දැමීම මේ වෘක නඩයේ අභිමතය බව මෛත්‍රී ජනාධිපතිවරයා ද ඉතා නිවැරදිව වටහා ගෙන සිටියි.

එදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් සම්මත කරගත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ගජමිතුරු සමාගම මෙරටේ දේශීයත්වය, ජාතික සංස්කෘතික උරුම මෙන්ම එහි හරය සහ ගම්භීරත්වය නොතැකීම මෛත්‍රී ජනාධිපතිවරයාගේ දැඩි කනස්සල්ලට හේතු විය. තමා සේනානායක - බණ්ඩාරනායක සුසංයෝගයේ නිර්මාණයක් බව මෛත්‍රී හඬගා කියන්නේත් ඩී.ඇස්.සේනානායකලාගේ දර්ශනය එ.ජා.ප.යේ නැතැයි අවධාරණය කරන්නේත් ඒ පීඩනය පුපුරවා හැරීමට ය. එහෙත් එයට පිළිතුරු දෙන්නේ ජාතික ලැයිස්තුවෙන් එ.ජා.ප.යට රිංගාගත් අයෙකි. ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කී පරිදිම ඡන්ද පන්දහසක්වත් ගත නොහැකි එබඳු පුද්ගලයන් සිය දේශපාලනය තුළින් නඩත්තු කිරීම එ.ජා.ප.යට ම අනන්‍ය වූ දෙයකි. මෛත්‍රී ජනාධිපතිවරයා සඳහන් කරන පරිදිම රනිල්ගේ දේශපාලන මණ්ඩලය ඔහුගේම සමීප සගයන් කීප දෙනකුට සීමා වූවකි. මේ වචන මෛත්‍රි ජනාධිපතිවරයාගේ ඒ කටුක ආවර්ජනයෙන් බිඳක් වැන්න.

“සාමුහිකත්වයෙන් තොර වූ තනි තීන්දු තීරණ ගත් ඉතාමත් දරදඩු, මුරණ්ඩු ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව තුළ හැසිරුණා. ඒ තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇති වුණා. සාමුහිකත්වය නොමැති නිසා සාකච්ඡාව, සංවාදය නොමැති නිසා ඉතා සුළු පිරිසක් අපේ අතේ තිබෙන ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක් ඔහුගේ සමීපතම සගයන් වී ඔවුන් සමඟ පමණක් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම නිසා අපි රටක් විදියට අවාසනාවන්ත තත්ත්වයකට පත් වුණා.”

මෛත්‍රී - රනිල් දේශපාලන සම්මුතිය එහි ආරම්භයේ සිට ම නොයෙක් ගැටුම් හා ප්‍රතිවිරෝධයන්ගෙන් ගහන වූවකි. එහෙත් ඇතුළත ගිනි පිටට නොදීමේ මෛත්‍රී පිළිවෙත නිසා ඒවා වසාගත හැකි වුව ද, කිසි විටෙකත් කිසිවක් සමනය කිරීමට නොහැකි වූ බව ද රහසක් නොවේ. ඒ දේශපාලන හා සංස්කෘතික විසමතාව කෙබඳුදැයි විමසා බලනු මැනවි.

“ රනිල් වික්‍රමසිංහ මහාතාගේ දේශපාලන දර්ශනයත්, මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප්‍රතිපත්තිමය ගැටුමක් ඇති වුණා. ඒ විතරක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ ක්‍රියාකාරිත්වය, චරිතවල සහ ගති ලක්ෂණවල තිබූ සංස්කෘතික දේශපාලනික බරපතළ සංස්කෘතික වෙනස් කම් දැක්කා. ඒ දේශපාලන ප්‍රතිපත්තිවල වෙනස්කම් වගේම සංස්කෘතික වශයෙන් අපේ වෙනස්කම් ඒ සියල්ල මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය බරපතළ වන්නට හේතු වුණා කියලා මම විශ්වාස කරනවා.”

මෙරටේ ජාතික සංස්කෘතික ආධ්‍යාත්මයේ නිර්ව්‍යාජ සුගන්ධයෙන් විකසිත සිංහල ගැමියැයි කටපුරා කිව හැකි දේශපාලන උරුමයකට හිමිකම් කියන මෛත්‍රී සමඟ බටහිර අධිරාජ්‍යවාදයේ සුදු සෙවණැලි යට වැඩුණු කොම්ප්‍රද්‍රෝරු ධනපති පන්තියේ හැඳුනුම්පත ඇතැතිව, ඒ ප්‍රභූ පැළැන්තියේ සඳලුතලයෙන් මහ පොළවට බසින, එහෙත් ඒ සාරභූමිය ස්පර්ශ නොකළ දේශපාලන චරිතයක් වන රනිල් නොපෑහීම අතිශය ස්වාභාවික සිද්ධියකි. එබඳු චරිතයක් මෙන්ම රටේ මූල්‍ය සම්පත් සිය මිතුරන් අතර බෙදා දෙන හිතුවක්කාර දේශපාලනඥයකු වන රනිල් සමඟ කළ හැකි යහපාලනය කුමක් ද?

මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කළ පරිදි ම මෙරටේ ආර්ථික අර්බුදයේ වගකීමෙන් රනිල්ටත් ඔහුගේ ගජමිතුරන්ටත් නිදහස් විය නොහැකිය. මහ බැංකු මංකොල්ලය ලෙස කුප්‍රකට රනිල්ගේ සමීපතමයන්ට චෝදනා පත්‍ර එල්ල වී තිබෙන සිද්ධියේ දුර්ගන්ධය ඉවසා දරා ගත නොහැකි වූවකි. ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසම රනිල්ගේ කෝපයට හේතු වූවකි. ජාතිය අමතා කළ විශේෂ කථාවේ දී ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳ කරන ලද අනාවරණය ප්‍රජාතන්ත්‍රවාදී සළු පිළි පැළඳගත් ශූර ආර්ථික චෞරයන්ගේ පිළි රූ බිඳීමක් වැන්න. මේ මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් සුරැකීම සඳහා එ.ජා.ප. පාර්ශ්වයෙන් කළ මැදිහත් වීම් කුප්‍රසිද්ධ රහස් ය. එයින් උද්ගත වු ආර්ථික හා දේශපාලන අර්බුදය වසාලීමට අගමැතිවරයා ගත් බොළඳ ප්‍රයත්න රටට ම මතක තිබේ.

රාජපක්ෂ පාලනය පෙරළා දමා රට ඉදිරියට ගෙන යෑමට තරම් ප්‍රබල ආර්ථික වැඩ පිළිවෙලක් එ.ජා.ප.යට හෝ රනිල්ට නොවීය. 2018 පෙබරවාරි 10 දා පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ආණ්ඩුවට ලබා දුන් රතු එළිය පිළිබඳ මෛත්‍රී ජනාධිපතිවරයා කළ අනතුරු හැඟවීම් කිසිවකට රනිල් සංවේදී වූයේ ද නැත. ජනාධිපතිගේ බලතල පවා අතට ගනිමින් ක්‍රියා කරන අගමැතිවරයා පිළිබඳ රටේ විවිධ ක්ෂේත්‍රවලින් කෙබඳු විවේචන එල්ල වුවද, ඒ කිසිවකින් මෙල්ල නොවන මුරණ්ඩු ස්වරූපයක් රනිල්ගෙන් දැක ගත හැකි විය. මෛත්‍රී ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසා සිටියේ කළ ගුණ සැලකීමේ උතුම් මානුෂීය ගුණය විදහා පාමින්ය. මෛත්‍රී කියා සිටියේ මා බලයට ගෙන එන්නට ඔබ කැප වූවා යනුවෙනි.

මෛත්‍රී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කිරීමට නිහතමානි වුවද එ.ජා.ප.ය හෝ ඔවුන්ගේ අනුගාමිකයන් විසින් ඒ පිළිබඳ කරන ලද්දේ කෙබඳු වහසිබස් ද යන්නත් අපට සිහි වේ. 2014 නොවැම්බර් 21 වනදා මෛත්‍රී රාජපක්ෂ පාලනයට අභියෝග කළේ ජීවිතය පරදුවට තබමින් ය. ඒ සඳහා අධිෂ්ඨානයක් ද මෛත්‍රීට තිබුණි. මෛත්‍රීට පොදු අපේක්ෂකත්වය භාර කිරීම එ.ජා.ප.ය කළ පරිත්‍යාගයක් ලෙස සමහරු අදත් නන්දොඩවති. එහෙත් ප්‍රේමදාසගෙන් පසු එ.ජා.ප.යෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් ව ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් නොවීය. රනිල්ගේ පසු බැසීම දේශපාලන සිද්ධියකි. රනිල් අගමැති වුයේ මෛත්‍රී ජනාධිපති වු නිසා ය. ඇත්තටම සිදු වූයේ මෛත්‍රීගේ ශක්තියෙන් රනිල් අගමැති වීම ය.

කෙසේ හෝ එ.ජා.ප. නායකත්වය තුළ තිබුණු ඒ අධිතක්සේරුව මෙන්ම දේශපාලන හා සංස්කෘතික වශයෙන් වු බරපතළ නොගැළපීම් ද යහපාලන ආණ්ඩුවේ උපන්ගෙයිදීම දැක ගත හැකි විය. අගමැතිවරයා ලෙස රනිල් කළේ මොනවාද? ඒ සියල්ලෙහි සංක්ෂිප්තයක් මෛත්‍රී ජනාධිපතිවරයා එදා ජාතිය අමතා කළ ප්‍රකාශයේ ගැබ් විය.

මේ දේශපාලන, සංස්කෘතික හා ආර්ථික නොගැළපීම්, වාද භේද සියල්ලට සමගාමීව මෛත්‍රී ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ද රටට හෙළි විය. එහෙත් සිය රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ ප්‍රයත්නයට අගමැති ප්‍රමුඛ එ.ජා.ප.යේ ප්‍රතිචාරය වූයේ කුමක් ද? රනිල්ගේ සමීපතමයකු යටතේ පැවැති පොලිසිය හා පොලිස්පතිවරයා එයට දැක්වූයේ ඇල් මැරුණු ප්‍රතිචාරයකි. මෙය ඉතා බරපතළ සිද්ධියක් වුවත් ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ට ද එය අතිශය සරල සිද්ධියක් විය. එහි උත්ප්‍රාසාත්මක සිදුවීම නම් පොලිස්පතිවරයා එකී කුමන්ත්‍රණ පාර්ශ්වයේ ප්‍රධාන චූදිතයා වෙනුවෙන් දැක් වූ ප්‍රතිචාරයයි. මිලිටරි මානසිකත්වයෙන් පිම්බී ගිය දේශපාලන විකට රූපයක් බවට පත් වෙමින් සිටින අයගේ නම් ද කුමන්ත්‍රණයට ඈදී ගෑවී තිබුණත් ඒ කිසිවකට සංවේ දී නොවු අගමැතිවරයකු සමඟ යන දේශපාලන ගමන ගැන දෙවරක් සිතා බැලීමට මෛත්‍රීට සිදුවීමේ කිසිදු වරදක් තිබේ ද?

රාජ්‍ය නායකයා ලෙස මෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රි ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන අණ පනත් පාර්ලිමේන්තුවේ සභානායකවරයාගේ හමස් පෙට්ටියට වැටේ නම් එබඳු ආණ්ඩුවක් සමඟ යා හැකි ගමන කුමක් ද? ජනාධිපතිවරයා විසින් පිහිටුවන ලද ආර්ථික කමිටුව කඩා කප්පල් කිරීමට නූල් සූත්තර අදින අගමැතිවරයකු සමඟ කුමන සීල සමාදානයක් ද? රනිල්ගේ ආර්ථික කළමනාකරණ කමිටුව අසාර්ථක, අසාර එකක් පමණක් නොව දූෂිත හා මංකොල්ලකාරී චෞර එකමුතුවක් නම් එයින් රටට අත්විය හැකි සෙත කුමක් ද? විදේශීය ආයෝජන කෙරෙහි පමණක් විශ්වාසය තබන බටහිරට ගැති ආර්ථික කල්ලියකට මෙරටේ දේශීය ආර්ථිකයේ ප්‍රමුඛ අංග ලක්ෂණ හඳුනා ගත නොහැකි වීම පුදුමයක් නොවේ. වෙලක, දොළක, ඇලක, ගඟක සිසිල විඳනැති, දූවිලි පොළවක පහස නොලද ජේත්තුකාර තුප්පහි නඩයක බයිලා රිද්මයට පා තබන සමරිසියන් සමඟ රටක ජාතික සංස්කෘතික අනන්‍යතාව තහවුරු කිරීමට කල්පනා කිරීම තරම් අනුවණ කමක් තවත් තිබිය හැකිද? මෛත්‍රීගේ ඉවසීම පුදුම සහගත විය.

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද අග්ගඤ්ඤ, වසල වැනි සූත්‍රවලින් ප්‍රකාශ වන්නේ මනුෂ්‍යත්වයේ විශිෂ්ටත්වය හා මානුෂික බැඳීම් හා ආකල්ප පිළිබඳය. තෘෂ්ණාව අධිමාන්‍ය හා බලය විසින් ගිලන් බවට පත්වන මිනිසාගේ ස්වභාවය සමාජ යහපතට හරස් වන බව අපි දනිමු. ආත්මාර්ථය විසින් මඬනා ලද පරාර්ථය ඒ සමාජ ක්‍රමය තුළ වියැකී යන නමුදු එයින් රටත් ජනතාවත් මුදා ගැනීම නායකත්වයේ වගකීම බව මෛත්‍රී ජනාධිපතිවරයා පසක් කර ගෙන සිටියි. බර්ටෝල් බ්‍රෙෂ්ට් ප්‍රකාශ කරන පරිදි ම සත්‍යය සොයා ගැනීමට මෙන්ම එය අනාවරණය කිරීමට ද ධෛර්ය තිබිය යුතුය. වසන් කරන ලද සත්‍ය හඳුනා ගැනීමේ පරිචය මෙන්ම සත්‍ය අවියක් ලෙස භාවිත කිරීමේ නිපුණත්වය ද තිබිය යුතුය.

මෛත්‍රී - රනිල් නොපෑහෙන දීගයට වඩා පරණ පුරුදු මෛත්‍රි - මහින්ද එකතුව රටට යහපතක් උදා කරනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් තිබේ. තුන්වසරක් හා නව මසක් ඇවෑමෙන් සිදු වූ අලුත් ඇරඹුම නොඉවසන කොළඹ සුපිරි පැළැන්තියට අයත් යහපාලන මහත්වරුන් රට ගොඩනැ‍ඟීමට පෙරමුණු හදන කතාව උත්ප්‍රාසය දනවන්නකි. දැන් හෙට හා රට ගැන අලුතින්ම සිතිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට මුවා වී මේ රට වැනසීමට ඒ මහත්වරුන්ට ඉඩ දිය යුතු නැත. මෛත්‍රි ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කරන ලද ඒ විශේෂ කතාව පත්‍රිකාවක් ලෙස මුද්‍රණය කරවා සියලු ජනතාවට විවේකීව කියවා බැලීමට දෙන ලෙස ද අපි යෝජනා කරමු. ජාතියේ හා ආගමේ හංවඩුව කුමක් වුවත් මනුෂ්‍යත්වයට ගරු කරන රටක් හැදීමට මෛත්‍රීට හා මහින්දට ජනතාව භාර කර තිබෙන බව ද අපි අවධාරණය කරමු.


 

 

අදහස්