අතීත චරි­තය වර්ත­මාන යථා­වක් බවට පත් කළ මහ­බිසෝ ලීලා­වතී | සිළුමිණ

අතීත චරි­තය වර්ත­මාන යථා­වක් බවට පත් කළ මහ­බිසෝ ලීලා­වතී

නවකතාවට වස්තුබීජ සොයා ඈත අතීතයට මහත් රුචියෙන් පිවිසෙන චන්ද්‍රසිරි පල්ලියගුරු මෙවර තෝරාගන්නේ එතරම් කතාබහට ලක්නොවූ, එහෙත් ඉතිහාසයේ සුවිශේෂ මගසලකුණක් බවට පත්වූ චරිතයකි. මහ පැරකුම්බා රජුට බිසෝවූ ලීලාවතී තෙවරක් මෙවර රජකමට පත්ව‍ූවාය. ඒ තුන් වාරයේම ඇය රජවන්නේ ප්‍රභූන්ගේත් මහජනතාවගේත් අභිලාෂ පරිදි ය. එබඳු පෞරුෂයක් ඇයට හිමිවන්නේ කෙසේද? තෙවරක් ම ජනතාවට ඇය අවශ්‍ය වීමට තරම් ඇය රාජ්‍ය පාලනයේදී කුශාග්‍ර බුද්ධියක් පළ කළේ ද? මේ ප්‍රබන්ධකරුවකුගේ නිර්මාණ‍ාවේශය පුබුදුකරවන සාධකයි.

ලීලාවතී රාජ්‍ය සමයක් එයට පෙර හා පසු යුගයක් මෙරට බොහෝ කලිකලහයන්ට මුහුණදුන් අවදියක් විය. දේශපාලන අස්ථාවරත්වය මේ යුගයේ ප්‍රමුඛ ලක්ෂණයක් විය.

මහා පැරකුම්බාවන් රාජ්‍යය එක්සත් කරමින් රට සශ්‍රීක කරමින් ශක්තිමත් පාලනයක් ගෙන ගිය ද රජුගේ අභාවයෙන් පසු යුගයේ දැකිය හැකිවන්නේ අරාජික ලක්ෂණයි. මෙයට ප්‍රමුඛතම හේතුව වන්නේ පණ්ඩු හා කාලිංග වංශිකයන්ගේ රාජ්‍ය බලය උදෙසා තිබූ බලපොරයයි.

රාජරාජ මහාමාත්‍යාදිවරුන් බලය හිමිකර ගැනීම සඳහා කුලබේදයක් මූලික කරගනිමින් ගෙනගිය අරගල නිසා ‍රටේ සාමය පමණක් නොව සෞභාග්‍යය ද පිරිහෙන්නට විය. එහෙත් මෙරට නැවත නැවතත් විදේශීය ආක්‍රමණයන්ට පහසු ගොදුරක් බවට පත් විය. මේ කරුණු සනාථ කරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක තිබේ. පල්ලියගුරු තම නවකතාවේ පසුතලය ලෙස ගන්නේ මෙම ඓතිහාසික සත්‍යයයි.

ඓතිහාසික නවකතාවක මූලික ලක්ෂණයක් වන්නේ එය සත්‍ය පසුතලයක බිහිවන සත්‍ය චරිතයක් වටා ගොනුවීමයි. දෙවැන්න ඓතිහාසික චරිතයක් කේන්ද්‍රකර ගැනීමේදී ප්‍රබන්ධය සඳහා නවකතාකරුවකු ලබන නිදහසයි.

මේ ඓතිහාසික සත්‍යයන් විකෘති නොවන ආකාරයෙන් හා පෝෂණය වන ආකාරයෙන් සෙසු චරිත හා සිදුවීම් ගොඩනගන්නට නවකතාකරු ලබන නිදහස නිසා අතීතය වත්මන් දැක්මකින් කියවන්නට පාඨකයාට අවස්ථාව හිමිවේ. ලීලාවතී රැජින ඓතිහාසික සත්‍යයක් වුව ද ඈ පිළිබඳ තොරතුරු අල්පය. එබඳු අවස්ථාවකදී නවකතාකරුගේ පරිකල්පනය සඳහා හිමිවන අවකාශ පුළුල්ය. මේ නිදහස මැනවින් ප්‍රයෝජනයට ගන්නා පල්ලියගුරු විශ්වාසනීය ඓතිහාසික පසුබිමක් ද මානුෂීය චරිතයක් ද ප්‍රතිනිර්මාණය කරයි.

කුරිරු දේශපාලන බලවේගවල ගොදුරක් බවට පත්වන ස්ත්‍රියක් තම පැවැත්ම ආරක්ෂා කරගන්නේ කෙසේද? දැවැන්ත වෘකයන්ගේ ගොදුරු බිමක තනිවන අහිංසක සාවියකට අත්වන ඉරණම කුමක්ද? මේ මානය ගොඩනගන්නට නම් මානුෂීය ගුණාංගවලින් පිරි මිනිස් චරිතයක් ගො‍ඩනැගියයුතු වෙයි.

නවකතාකරු වඩා සාර්ථක වන්නේ මේ මනුස්ස දුව පිළිබඳ චිත්‍රය චිත්‍රණයේදී ය.

ඔහු ලීලාවතී චරිතය ගොඩනගන්නේ මනුෂ්‍යත්වයට උරුම ප්‍රබලතා හා දුබලතා මැනවින් භාවිත කරමිනි. ඔහු ප්‍රථමයෙන් ම ලීලාවතී හඳුන්වන්නේ සිංහල කාන්තාවකට උරුම ගතිපැවරුම්වලින් යුත් සාමාන්‍ය ස්ත්‍රියක ලෙසිනි.

දෙවැනිව බලකාමී ප්‍රභූවරුන් සිය පෞරුෂය මගින් පාලනය කරන ජනතා හිතකාමී රාජ්‍ය පාලනයක නිරතවන නායිකාවක ලෙසිනි. මෙයින් ඔහු වඩා රුචියෙන් පිවිසෙන්නේ ලීලාවතී නම් ස්ත්‍රියගේ අභ්‍යන්තර හා බාහිර චර්යාවන් වෙතය. මේ සඳහා ඔහු ඉතිහාසයේ සඳහන්වන ප්‍රධාන චරිත දෙකක් උපයෝගි කරගනී. ඒ මහා පැරකුම්බාවන් හා කිත්ති සෙනෙවියා ය.

ලීලාවතී රාජකුමාරිකාවක නොවේ. තම රාජකාරිවලින් ඉසිබුලන අවස්ථාවකදී පැරකුම්බාවන්ට ඇය හමුවේ. තමා බෙහෙවින් ප්‍රේම කළ බිසවගේ අභාවයෙන් තනිව සිටින රජුගේ අධ්‍යාත්මය සුවපත් කරන්නේ ඇයයි. සොළොස්වියැති ළඳ බොළඳ යුවතියක ලෙස රජමාලිගයට එන ඇයට රජුගේ ප්‍රේමය පමණටම කාලිංග වංශිකයන්ගේ වෛරය ද හිමිවේ.

නිශ්ශංකමල්ල කුමරු හා විවාහ වී සිටින රාජ දුහිතෘ සුභද්‍රාගේ ද්වේශය ද වෛරී සහගත හැසිරීම ද නිසා ඇය අයසට පත්වෙයි.

එහෙත් රජු කෙරේ ඈ තුළ වන ප්‍රේමය මේ සියල්ලට වඩා බලගතු ය. ප්‍රශ්නය මතුවන්නේ රජු මිය ගිය විටයි. එවිට ඇයට පිහිටට එන්නේ ඇයගේ සමවංශික, සමවයස් කිත්ති සෙනෙවියායි. තම උපන් බිමේ නිදහසේ ජීවත්වන වැන්දඹු ලීලාවතී සිංහාසනය දක්වා කැඳවාගන එන්නේ ඔහු ය.

ලීලාවතී හා කිත්ති අතර අප්‍රකාශිත ප්‍රේමය මේ නවකතාවේ හද බැඳගන්නා අත්දැකීමයි. රැජිනකට තම යටත් නිලධාරියකු සමඟ විවාහවීමට තහංචියක් අතීතයේ පැවතී නැත. එහෙත් කිත්ති හා එබඳු සම්බන්ධයකට නොපෙලඹෙන්නේ රැජිනක ලෙස සෙසු ප්‍රභූන්ගේ අවනත බවත් ජනතාවගේ ‍හිතෛෂී බවත් අවශ්‍ය නිසා ය. මේ ප්‍රේමය හදවතට පමණක් සීමාවූ වේදනාකාරී අත්දැකීමක් බවට පත්වෙයි.

අපට ලීලාවතී නම් ගැහැනිය හමුවන්නේ මේ අප්‍රකාශිත ප්‍රේමය තුළ ය.‍ මේ චරිත ලක්ෂණය ඉස්මතු කරගැනීම සඳහා නවකතාකරු සමාන චරිත දෙකක පිහිටාධාරය ලබයි. ඒ නිශ්ශංකමල්ලගේ දෙවන බිසව වන කල්‍යාණවතී හා ආයස්මන්ත සෙනෙවි අතර සම්බන්ධතාවයි. කල්‍යාණවතී රාජ්‍ය බලය ලබාගැනීම සඳහා ආයස්මන්තට සමීප වෙයි. එය සැබෑ ප්‍රේමයකට වඩා රාගික සම්බන්ධතාවකි. ආයස්මන්තගේ ආධාරයෙන් රජවන කල්‍යාණවතී ආයස්මන්ත නොසලකා හරී.

මේ නිසා ආයස්මන්ත රැජින කෙරේ ‍ෙවෙර බඳී. අවසන ඇයගේ පමණක් නොව ආයස්මන්තගේ ද අවසානයට හේතුවන්නේ මේ වෛරයයි. නවකතාකරු මේ චරිත හතර නිරාමිස ප්‍රේම‍ෙයන් රාගයේත්, සෙනෙහසේත්, වෛරයේත් හරස්කඩක් නිර්මාණය සඳහා භාවිත කරයි.

ලීලාවතී සනාතනික ප්‍රේමයක විරාගික පහස විඳින අහිංසක ස්ත්‍රියක ලෙස ඉස්මතු වන්නේ ඒ නිසයි. ඇය කෙරේ පවතින ප්‍රේමය යථාවක් බවට පත්කරගත නොහී කිත්ති හදවතින් දුක් විඳී. අවසන ඔහු අතුරුදන්වේ.

ලීලාවතීගේත් ඔහුගේත් පසමිතුරන් විසින් ඔහු ඝාතනය කරන්නට ඇති බවක් හැඟවේ. මේ නිසා නැවත වරක් රජ වුව ද ලීලාවතී මුළු ජීවිතය පුරා තනිවූ ගැහැනියක බවට පත්වෙයි.

ලීලාවතී අප හද බැඳගන්නේ මේ ස්ත්‍රිත්වය නිසා මිස ඇය රැජිනක වීම නිසා නොවේ. මේ චරිතයේ විකාශනයට අනුබද්ධව නවකතාකරු මේ යුගයේ දේශපාලන අස්ථාවරත්වය ද මනා පසුතලයක් කොටගන‍ී. ලීලාවතී නම් රැජින හමුවන්නේ ඒ පසුතලයේ නිසා ය. එහිදී ඇය ප්‍රතිවාදී කාලිංගයන්ගේ ගොදුරක් බවට පත් නොවන්නේ හිතෛෂී නායකවරුන් නිසා ය.

පැරකුම්බා මියයෑම, දෙවන විජයබා රජවීම හා ඔහු ඝාතනය කිරීම, ඔහු මරා දැමූ මහින්දගේ රජකම දින පහකට සීමා වීම, නිශ්ශංකමල්ල රජවීම, ඔහුගේ මරණයෙන් පසු ඇතිවන අස්ථාවරත්වය බඳු ඓතිහාසික සංසිද්ධීන් අපට හෙළි කරන්නේ අතීත බල අරගලය පමණක් ම නොවේ.

ස්ත්‍රියක වන ලීලාවතී මේ බලඅරගලයට මුහුණදීම පසුපස වූ ඇගේ පෞරුෂය ඉන් උද්දීපනය වෙයි. එහෙත් වඩා වැදගත් වන්නේ මේ ඓතිහාසික සත්‍යයන් වර්තමාන දේශපාලනය හා සැසඳිය හැකිවීමයි. කාලිංග හා පණ්ඩුවංශ වර්තමාන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට ආදේශ කළහොත් මේ චිත්‍රය සම්පූර්ණ වේ.‍

ඉතිහාසය නැවත නැවත සිදුවන බවට මතයක් තිබේ. අනෙක ඓතිහාසික නවකතාවක එක් අරමුණක් නම් අතීතයේ සිට වර්තමානය කියවීමයි.

පල්ලියගුරු මේ දේශපාලන යථාර්ථය තම ප්‍රබන්ධයේ යටි පෙළ ලෙස පවත්වාගනී. එහෙයින් ඒ ඇසුරේ කොතෙකුත් අර්ථකථනවලට පිවිසෙන්නට පාඨකයාට අවකාශ ලැබේ.

මේ නවකතාවේදී භාවිත වන බස්වහර ද සිත් ඇද බැඳ ගනී. අතීතය චිත්‍රණය සඳහා නවකතාකරු බොහෝ දෙනකු මෙන් ව්‍යාකරණානුකූල බසකට නොපිවිසේ. ඔහු පැරණි බස ද වත්මන් බස් වහර ද සංකලනය කරගැනීමේලා අපූරු බුහුටි බවක් පළ කරයි. දෙවැනිව ඉතිහාසය පිළිබඳ ඔහුගේ පර්යේෂණ හා කියවීම ද පුළුල් ය. නවකතාවේ පසුතලය වන ඓතිහාසික සිදුවීම්වල සත්‍යතාව මේ පර්යේෂණයේ පෘථුල බව සනාථ කරයි.

ලීලාවතීගේ චරිතයේ විවිධ පැතිකඩ නිරූපණය සඳහා කිත්ති, චමුනක්ක, සුමනා, සුභූති නාහිමියන් බඳු චරිත මෙන් ම සුභද්‍රා, කල්‍යාණවතී, ආයස්මන්ත වැනි ඓතිහාසික මෙන් ම පරිකල්පනයෙන් පබැඳු චරිත ද මනාව උපයෝගි කරගනී. මේ විචක්ෂණ රචනා කෞශල්‍යයත් ඉතිහාසය පිළිබඳ පුළුල් පර්යේෂණයත් ජීවිතය පිළිබඳ අපූරු පරිකල්පනයක් දැක්මත් විසින් ලීලාවතී නම් අතීත චරිතය වර්තමාන යථාවක් බවට පත් කරන්නට පල්ලියගුරු සමත්ව සිටී. ඇය අප ඉදිරියේ ප්‍රතීයමාන වන්නේ මනුස්ස දුවක ලෙසිනි. නවකතාකරුගේ ජයග්‍රහණය වන්නේ එයයි.

 

අදහස්