අද තියෙන්නේ ප්‍රකෘ­ති­ ඥා­න­යක් නොවෙයි විකෘති ඥාන­යක් | සිළුමිණ

අද තියෙන්නේ ප්‍රකෘ­ති­ ඥා­න­යක් නොවෙයි විකෘති ඥාන­යක්

ලංකාවේ මේ තාක් වර්ධනය වී තිබෙන විචාර කලාව ගැන ඔබේ අදහස කුමක්ද?

ලංකාවේ විචාර කලාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ විග්‍රහ කර බලන විට එහි ඉතිහාසය ගැන අවබෝධයක් තිබිය යුතුය. මුල සිටම සිංහල විචාර කලාවට කුමාරතුංග මහතාගෙන් මෙහෙයක් ඉටු වුණා: විශේෂයෙන්ම කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳව. ඊට පසුව සාහිත්‍ය විචාරය කිසියම් පදනමක් මත සකස් කිරීමට මාර්ටින් වික්‍රමසිංහ, එදිරවීර සරච්චන්ද්‍ර යන මහත්වරුන් විශාල පරිශ්‍රමයක් දැරුවා. ඔවුන්ගේ ක්‍රියාමාර්ගය වුණේ බටහිර විචාර සංකල්ප සහ පෙරදිග (භාරතීය) විචාර සංකල්ප අතර තුලනාත්මක අධ්‍යනයක යෙදෙමින් විචාර කලාව ඉදිරියට ගෙනයෑමයි. උදා හරණයකට ධ්වනිවාදය ගමු. ධ්වනිවාදයේ තිබෙන ඇතැම් අංග-ලක්ෂණ බටහිර ප්‍රායෝගික විචාරයේ තිබෙන අංග ලක්ෂණ සමඟ සංසන්දනය කරමින් ඔවුන් මේ රටේ කිසියම් විචාර සම්ප්‍රදායක් ගොඩනැඟීමට වෑයම් කළා. එය ඉතා වැදගත් ප්‍රයත්නයක්. ඒත් එහි නොයෙක් අඩුපාඩු තිබුණා. ඊට හේතුව: 20 වන සියවසේ ඇති වූ බටහිර විචාර කලාව මීට සියවස් ගණනාවකට පෙර ඉන්දියාවේ ඇති වූ කාව්‍ය ශාස්ත්‍රයට වඩා වෙනස් මඟක් ගැනීම. ඒ අනුව මෙහි ඥාන විභාගාත්මක ප්‍රශ්නයක් මතු වෙමින් තිබුණා. ඒ නිසා අපටත් මේ පිළිබඳ කිසියම් අවබෝධයක් අධ්‍යයනයක් අවශ්‍යව වුණා.

නවසිය හැත්තෑ ගණන් වන විට සමාජ සත්තාවයි සාහිත්‍ය සත්තාවයි අතර සම්බන්ධයක් ගොඩනඟන්න මේ අය උත්සාහ කළා. මෙහි අරමුණ වුණේ සාහිත්‍යකරුවාට සමාජ වගකීම ඇති බව අවබෝධ කරවීම. ඒත් මෙතනදී පේරාදෙණි ගුරුකුලයේ සීමාව තිබුණා. ඒ තමයි ලේකඛයාගේ සමාජ වගකීම කියන අංශය කෙරෙහි එතරම් අවධානයක් නොදැක් වීම. එහෙත් 70 ගණන් වන විට ජනතා සාහිත්‍යය, සමාජවාදී සාහිත්‍යය වැනි සංකල්ප මතු වීම නිසා මේ විචාර ක්ෂේත්‍රය පුළුල් වෙන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාහිත්‍යය සහ සමාජය පිළිබඳ නව ‍චින්තන ප්‍රබෝධයක් ඇති වුණා.

දශකයක් ඇවෑමෙන් මාක්ස්වාදය විසින් 'අචල දෙයක් නොපවතී' යන අදහස කැටිව ඒමෙන් මේ තත්ත්වය වෙනස් වුණා. ට්‍රොට්ස්කිගෙ කාලේ පැවති අදහස් අදට මුළුමනින්ම නොගැළපෙනවා වෙන්න පුළුවනි. එහෙත් 21 වන සියවසේ පහළවෙලා තිබෙන මාක්ස්වාදි චින්තකයන්ගෙනුත්, අප ආභාසයක් ලැබිය යුතු වුණා. මේ විදියට යම් යම් අඩුපාඩු මධ්‍යයේ පැමණි විචාර ක්ෂේත්‍රය තුළ කිසියම් වර්ධනයක් මෙන්ම මේ විචාරයන් වර්ධය වන ආකාරය පිළිබඳ කිසියම් ඌනතාවනුත් දැකිය හැකි වුණා.

මෙහි විශාලතම ඛණ්ඩනය සිදු වන්නේ 20 වන සියවසේ අගභාගයේ ඇති වූ පශ්චාත්නූතනවාදය, පශ්චාත්ව්‍යූහවාදය, පශ්චාත් සංස්ථීතිකවාදය සමඟ ඇති වූ නව විචාර කලාවෙන් ආභාසයක් ලැබීමට වමේ ව්‍යාපාරය උත්සාහ කිරීමත් සමඟයි. විශේෂයෙන්ම එක්ස් කණ්ඩායම ඔස්සේ මතු වූ ප්‍රවණතාව. එහි යම් අඩුපාඩු තිබුණත් ඒක ඉතා වැදගත් ප්‍රයත්නයක්.

 

හැට-හැත්තෑව දශකවල නිර්මාණ එළඹුමේ තිබුණු ආලෝකයයි, අද නිර්මාණවල තත්ත්වයයි අතර වෙනස ඔබ දකින්නේ කොහොමද?

පණස් ගණන්වල අවසාන භාගයෙත් හැට ගණන්වල මුල් භාගයෙත් වැදගත් ප්‍රබෝධයක් ඇති වුණා. 56 වර්ෂය එක්තරා ආකාරයකින් සන්ධිස්ථානයක් වෙනවා. වික්‍රමසිංහගේ ‘විරාගය’ නවකතාවත්, සරච්චන්ද්‍රගේ ‘මනමේ’ නාට්‍යයත්, ලෙස්ටර්ගේ ‘රේඛාව’ චිත්‍රපටයත් බිහි වුණේ මේ යුගයේයි. මෙය නව ප්‍රබෝධයේ චිහ්නයක් - සලකුණක් වනවා. මේ ප්‍රබෝධය ක්‍රමයෙන් වැඩි-දියුණු වුණා.

එහෙත් 21 වන සියවස එළඹුණු විට මුළු ලෝකෙම විචාරකලාව විශාල පරිවර්තනයකට ලක් වනවා; කොටින්ම උඩු-යටිකුරු වනවා. එංගලන්තයේ, ඇමෙරිකාවේ, ඕස්ට්‍රෙලියාවේ විතරක් නොවෙයි; ඉන්දියාවේ, චීනයේ, ජපානයේත් විශාල පරිවර්තනයක් ඇති වුණා. මේ නව චින්තන පරිවර්තනය අපට තවම සම්පූර්ණයෙන්ම වටහාගන්න හැකි වී නැහැ. එය අපේ තිබෙන විශාල අඩුපාඩුවක්. අපේ පේරාදෙණිය ගුරුකුලය ගත්තොත් තාමත් 60 ගණන්වල ඉන්නේ. මේ අවුරුදු 50 තිස්සේ සිදු වුණු ලෝක සාහිත්‍ය ප්‍රබෝධයෙන් කිසිදෙයක් ඔවුන් උකාහාගෙන නැහැ.

 

අපි මොනවාද ඒ වෙනුවෙන් කළ යුත්තේ?

අපත් අද ලෝකය තුළ මේ ව්‍යාප්තව තිබෙන බුද්ධි ප්‍රබෝධයේ කොටස්කරුවන් බවට පත් විය යුතුයි. ඓතිහාසික වැදගත්කමක් තිබෙන රටක් විදියට ඒ සඳහා දායකත්වය සැපයීම ඉතා වැදගත්. ඒ සඳහා මේ නව දැනුම හදාරලා, ඒවා අපේ සාහිත්‍ය විචාරයට අදාළ වන පරිදි සකස් කරගන්න ඕනෑ. බටහිර රටවල් විතරක් නොවෙයි, ඉන්දියාව අරන් බැලුවත් ඔවුන් ලෝක ව්‍යාප්ත නව සාහිත්‍ය විප්ලවයේ පුරෝගාමීන් බවට පත්ව තිබෙනවා. ඉන්දීය විශ්වවිද්‍යාලවල දේශනවලට සහභාගි වන විට විද්‍යාර්ථීන් තුළ ඒ අවබෝධය තිබෙන බව දැනෙනවා. අපත් ඒ ආකාරයට ‍මේ නව දැනුම වැඩිදියුණු කළ යුතුයි.

 

නව දැනුමින් සන්නද්ධ ඔබ වැනි කෙනකු අඩුම තරමින් ඩෙරීඩාගේ ‘විසංයෝජනය’ පිළිබඳ ලියවුණු කෘතිය වත් පරිවර්තනය නොකරන්නේ ඇයි?

මම එහෙම උත්සාහ නොකළයි කියන්න බැහැ.‘නව විචාර සංකල්ප’ කියන මගේ කෘතිය මඟින් මේ පිළිබඳව ඉතා සුළු වශයෙන් හඳුන්වාදීමට කිසියම් පරිශ්‍රමයක් දරා තිබෙනවා. එහෙත් මුළුමනින්ම පරිවර්තනයක් සිදු කර නැහැ. අද බොහෝ විට මේ අරබයා ඇති වී තිබෙන වාද-විවාද ගැන ලියූ ද්විතීයික ග්‍රන්ථ තමයි බොහෝ දෙනා කියවන්නේ. ඒ මඳි. මේ හා බැඳුණු මූලග්‍රන්ථ කියවන්න ඕනෑ. ඩෙරීඩාගේ ‘ඔෆ් ග්රැමටලොජි’ කියන්නේ එවැනි මූලග්‍රන්ථයක්. මෙහි පාඨයක් කිසියම් තැනකින් උපුටා දක්වා අදහසක් පළ කිරීමට යෑමේ අර්ථයක් නැහැ. ඒ මුල් පාඨයට හේතු වුණු පරිස්තිථිය සලකා බලන්නේ නැතිව මේ කරන ක්‍රියාවෙන් විකෘති අදහසක් මතු වී පාඨකයා නොමඟ යන්න පුළුවන්. මොකද: මේ අය ලියන භාෂාව ඉතා සංකීර්ණයි. මේ තර්ක ගොඩනැ‍ඟෙන ආකාරය අප හොඳින් අධ්‍යයනය කළ යුතු වනවා. මේ දේවල් ලෙහෙසියෙන්, අවුරුද්දෙන් දෙකෙන් කරන්න බැහැ.

එනිසා පළමුවෙන්ම මේ මූලග්‍රන්ථ සිංහලයට නැඟිය යුතුයි. එය ඉතා පරිස්සමින්, බොහොම පරිශ්‍රමයකින් කළ යුතු බැරෑරුම් කටයුත්තක්. කොතරම් අමාරු වුණත් අප මේවා පරිවර්තනය කළ යුතුයි. ඒ සඳහා අඩු තරමේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වත් අවධානය යොමු වන්න ඕනෑ. ලෝකේ හැම රටකම මේ දේ සිද්ධ වනවා.

පෙර පැවති රසිකත්වය අද පිරිහීමට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

එකට හේතුව වෙන කාලවලට වඩා අද වාණිජ සංස්කෘතිය පැතිරිලා. විශේෂයෙන්ම තරුණ පරපුර අතර රූපවාහිනිය ඇතුළු විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ පරිභෝජන සංස්කෘතිය ඉස්මත්තට පැමිණී තිබීම. මේ නිසා ඔබ කියූ ආකාරයේ උසස් නාට්‍ය, සිනමාපටවලට ඇදී යනවාට වඩා; ජනප්‍රිය, සරල, පහත් ආස්වාදයක් දනවන රුචිකත්වයකට ඔවුන් යොමු වී තිබෙනවා. ඉන්දියාවෙන් ගෙන්වන නාට්‍ය මඟින් මේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබෙනවා. මේ හේතුව නිසා විදග්ධ කලාකෘතිවලට තිබෙන ප්‍රේක්ෂක අවධානය විශාල ලෙස අඩු වී තිබෙනවා. ඒත් එහෙමයි කියලා කිසිවක් නොකර මේ කටයුතුවලින් අයින් වෙන්න අපට බැහැ. ඒ බලවේග මැඬපැවැත්වීමටත්, මේ පරිභෝජන සංස්කෘතියට එරෙහිව සටන් කිරීමටත් අපේ සාහිත්‍ය කලා නිර්මාණකරුවන් පෙරට ආ යුතුයි. අපේ සාහිත්‍යකලාව දියුණු නැහැ කියන-එකෙන් අදහස් වන්නේ; අප හිතන-පතන ආකාරය, අපේ දේශපාලනය, අපේ ආර්ථිකය, සමාජය, සංස්කෘතිය... මේ හැමදෙයක්ම දුර්වලයි කියන-එකයි. අද මේ අප මුහුණ දී සිටින තත්ත්වය පවා මේ චින්තන වෙනස සිදු නොවීමේ පල-විපාකයක් ලෙසයි මා දකින්නේ.

 

පරිභෝජනවාදි ධනේශ්වර අර්ථක්‍රමය ලොව පුරා වර්ධනය වී තිබුණත්; රුසියාව, චීනය, කොරියාව, ඉන්දියාව... වගේ රටවල කලා-සාහිත්‍යය පිළිබඳ රුචිකත්වය අඩු වී නැහැ.

රුසියාවේ කවීන් කවි ගායනා කරනවා අහන්න දහස් ගණන් රැස් වනවා. ඒ පුරුද්ද අපේ රටේත් එක්කරා කාලයක පැවතුණා. මිනිස්සු කවිකොළ හොයාගෙන කියෙවුවා. ඒත් නවීන සමාජයත් එක්ක පෑහී ඒවා වර්ධනය වී ඉදිරියට පැමිණියේ නැහැ. එය අභාග්‍ය සම්පන්න කාරණාවක්. හුදෙකලා කියවීම පටන්ගත්තාට පස්සේ ඒක එතනම නැවතුණා. පාඨක සාහිත්‍යය සමාජ පිරිහුණා.

 

සාහිත්‍ය-කලාවෙන් පෝෂණය නොවන සමාජයකට අත් වන ඉරණම කුමක්ද?

සාහිත්‍ය-කලාව හරියට අපේ පැවැත්මට මුරදේවතාවුන් වගේ. සමාජය යහමඟ යැවීම, පවතින සමාජයේ ප්‍රශ්න මතු කිරීම... මේ ආදි නොයෙක් කටයුතු කරන්නේ නිර්මාණකරුවා. ඒක අපේ රටේ සිද්ධ වනවා අඩුයි. ඒ දේවල්වලට අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ.

 

අද සාහිත්‍ය විචාරයේ යම් ඌනතාවක් තිබෙනවා නම්, ඔබ ඒ ඌනතාව දකින්නේ කොහොමද?

ඒ ඌනතාව ඇති වන්නේ ඌනනය කිරීමට යෑම නිසයි. මේවායේ තිබෙන සංකීර්ණත්වය, පෘථුලත්වය මේ අය ඌනනය කරනවා. එමඟින් ප්‍රකෘතිඥානයක් නොවෙයි ඇති වන්නේ, විකෘති ඥානයක්.

 

මේ තත්ත්වය වෙනස් කිරීමට නම් විචාරකයකු සතු විය යුතු මූලික ලක්ෂණ මොනවාද?

පළමුවැනි කාරණාව: ඔහු තුළ වින්දන ශක්තියක් තිබෙන්න ඕන. ඒක නැති නම් මොන දේ තිබුණත් වැඩක් නැහැ; ඔහුට කවදාවත් හොඳ විචාරකයකු වන්න බැහැ. දෙවනුව: පුළුල් සාහිත්‍ය අවබෝධයක් තිබෙන්න ඕනෑ. බොහෝ පතපොත කියවා සාහිත්‍යය පිළිබඳව පුළුල් දැනුමක්, දැක්මක් සහිත විම. අනික තුලනාත්මක විඥානයක් ඇති කරගැනීම. සාහිත්‍ය විචාරකයකුට මේ තුලනාත්මක විඥානය ඉතා වැදගත්. උදාහරණයකට නවසිය හැට ගණන්වල ගුණදාස අමරසේකරගෙ යළි උපන්නෙමි කෘතිය ගැන තුලනාත්මකව කතා කරන කොට ඩීඑච් ලෝරන්ස්, සිග්මන් ෆ්‍රොයිඩ්... මේ සේරම අය ඒ සාකච්ඡාවට ගෙනාවා. ඒක හරිම වැදගත්. එවැනි තත්ත්වයක් අද නැහැ. ඒක හරි අඩුවක්.

 

සාහිත්‍ය විචාරකයකු වීම සඳහා ඔබට පසුබිම සැකසු‍ණේ කොහොමද?

විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබපු වෙලාවේ මා තෝරගත්තේ සිංහලයි, සංස්කෘතයි, ඉංග්‍රීසියි. මං හිතන්නේ නෑ මගෙන් පස්සෙ කවුරු හරි මේ විෂයයන් තුන මේ විදියට එකට හදාරලා නෑ. මොකද: සිංහල දන්න කෙනා වැඩිය ඉංග්‍රීසි ඉගෙනගන්නේ නැහැ. සංස්කෘත දන්නා කෙනා කොහොමත්ම ඉංග්‍රීසි ඉගෙනගන්නේ නැහැ. මගේ විචාර කලාවට මුල් වුණේ මෙන්න මේ භාෂා පරිචයෙන් ලැබුණු දැනුම. මම ගියෙත් බටහිර පෙරදිග සංකලනය කරලා මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර මහත්වරුන් ගිය මාර්ගයේම තමයි. මම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගිහින් ඉංග්‍රීසි අධ්‍යයන අංශයට බැඳිලා ආචාර්ය උපාධියට කරන කොට රේමන් විලියම්ස් කියන ආචාර්යවරයා යටතේ අධ්‍යයන කටයුතුවල නියැළුණාට පස්සේ බො‍හෝදේ වෙනස් වුණා. ඒ බලපෑම නිසා මගේ පෙරාදෙණි දෘෂ්ටිය නැති වෙලා, නව සාහිත්‍ය දෘෂ්ටියක් ඇති වුණා. ඇමෙරිකාවට ගියාට පස්සේ පශ්චාත්නව්‍යවාදය, නව ඉතිහාසවාදය, විසංයෝජනවාදය වසර පහක් තිස්සේ හදාරමින් ක්‍රමානුකූලව දැනුම වර්ධනය කරගත්තා. මට දර්ශන අංශයේ පුහුණුවක් තිබුණේ නැහැ. ඒකත් මම දර්ශන අංශයට බැඳිලා විෂයමාලාව හදාරලා සාහිත්‍යට අවශ්‍ය දාර්ශනික ඥානසම්භාරය රැස් කරගත්තා. ඒ නිසා මහත් ආයාසයෙන් පියවරෙන් පියවර තමයි මගේ විචාර අවබෝධී චින්තනය සකසාගත්තේ.

 

අදහස්