අහු­බුදු සම­රුව සමඟ පොත් තුනක් 8 දා ජන­ගත වේ | සිළුමිණ

අහු­බුදු සම­රුව සමඟ පොත් තුනක් 8 දා ජන­ගත වේ

අපගේ භාෂා-සාහිත්‍යය හා සංස්කෘතිය පෝෂණය කළ විශිෂ්ට ලංකාපුත්‍රයකු වන අරීසෙන් අහුබුදුවන් (1920-2011) මෙලොවින් සමු ගෙන ඉකුත් මැයි 26 දිනට සත් වසක් සපිරිණි. ඔවුන්ගේ ගුණසුවඳ සිහිපත් කර-ලනු වස් විශේෂ සමරු උලෙළක් මෙමස 8 දා (ගුරුදින) පස්වරු 3.00ට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට අරීසෙන් අහුබුදු පදනම සැරසෙයි.

සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන සංස්කාරකව සිටි සම්මානිත මහාචාර්ය කේඑන්ඕ ධර්මදාස මුලසුන හොබවන මේ සබය අමතා ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහත්වරුන් දෙසුම් පැවැත්වීමට නියමිත අතර, විශාරද ජගත් වික්‍රමසිංහ විසින් අහුබුදු කව්-ගී ගැයුම් මෙහෙයවෙනු ඇත.

කලාසූරී අරීසෙන් අහුබුදුවන් ලියූ උසස් බුදු බැති ගී එකතුවක් වන ‘සිල් සුවඳ’, භක්ති කාව්‍ය හා දේව ස්තෝත්‍ර සමුච්චයක් වන ‘සෙත් සයුර’ සහ මෙරට පහළ වූ උදාර මිනිසුන් රැසකගේ මෙහෙවර අලළා රචිත කාව්‍ය ප්‍රබන්ධ සංග්‍රහයක් වන ‘නොමියෙන මතක’ යන කෘති ත්‍රයද මෙහිදී එළිදැක්වීමට නියමිතය.


 රෝහණගෙන් පරිවර්තන කෘතියක්

ප්‍රවීණ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ විසින් සිංහලයට නඟන ලද ‘ඒරන්ගේ ලෝකය’ කෘතිය පාඨකයන්ට හඳුන්වාදීමේ සංවාද සභාව නොවැ. 06 වැනි අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ, මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ඇමෙරිකානු ලේඛක ජිම් ෂෙපර්ඩ්ගේ ‘ද බුක් ඔෆ් ඒරන්’ නවකතාව පාදක කරගත් ‘ඒරන්ගේ ලෝකය’ තුළින් කියැවෙන්නේ දෙවැනි ලෝක යුද සමයේ පෝලන්තයේ, වෝර්සෝ නගරයේ යුදෙව් ජනාවාස අතර ජීවිත සටනට මැදි වූ 8 හැවිරිදි දරුවකුගේ කතාවයි.

ආචාර්ය එඩ්වින් ආරියදාස, සම්මානලාභී පර්වර්තක චූලානන්ද සමරනායක, සියත විධායක අධ්‍යක්ෂ අනුර සිරිවර්ධන මෙහිදී දෙසුම් පවත්වති. සාහිත්‍යවේදී සමුද්‍ර වෙත්තසිංහ සංවාද සභාව මෙහෙයවයි.

‘ඒරන්ගේ ලෝකය’ නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි.

අදහස්