දේශයේ අභිමානය ලොවට ගෙනගිය පඬිරුවන | සිළුමිණ

දේශයේ අභිමානය ලොවට ගෙනගිය පඬිරුවන

 

“දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගෙ වත්කම

ගුණ නුවණ දැක්කම - ඔහුට සලකයි රටේ ඔක්කොම”

 

මේ අනගි කියමන එදත් අදත් අපගේ මුවග රැව් දෙන, අරුත්බර අදහසක් පළ කරන්නකි. රටක ජීවත් වන, ජනතාව අතර බොහෝ උගත්තු, බුද්ධිමත්හු සිටිති. එසේ වුවද, ඒ උගත්කමට, බුද්ධිමත් බවට වර්ණවත් භාවයක් ලබා දෙන ගුණදහමින් පිරිපුන් අය ඉතා විරලය. එම විරල ගණයේ උත්තම චරිතයක් ගැන අප සිහිපත් කරන කාල වකවානුවකි, දැන් උදාවී ඇත්තේ. වසර 1899 නොවැම්බර් මස 9 වන දින ලංකා මාතාවට එවන් මහඟු පුත්‍ර රත්නයක් හිමි වීමේ වාසනාව උදා විය.

විසිවන සියවසේ ශ්‍රී ලංකාව තුළ ජන්ම ලාභය ලද අන් කිසිවකුටත් වඩා විවිධ විෂය ක්‍ෂේත්‍රයන්හි ප්‍රබල බලපෑමක් කරමින්, ඒවායේ සාර්ථක ඉදිරි ගමනකට මඟ පෑදූ, ශ්‍රේෂ්ඨතම විද්වතකු, පුරෝගාමියකු ගැන මෙනෙහි කරන විට මහාචාර්ය ගුණපාල මලලසේකර නාමය අපගේ සිහියට නැඟෙයි.

බෞද්ධ හා පාලි අධ්‍යයන, ජාතික අධ්‍යාපනය ආදී විවිධ අංශයන්හි ප්‍රගමනය උදෙසා මෙන්ම, දෙස් විදෙස්හි බෞද්ධ ජනතාව එක්රැස් කරමින් බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ද සිය ජීවිතයම කැප කළ උත්තම චරිතයක් ලෙස ගුණපාල මලලසේකර මහැදුරුතුමා අවිවාදයෙන් පිළිගැනෙනු ඇත. ඉතිහාසයේ දැක්වෙන පරිදි විශ්ව සමාජය තුළ බිහි වූ විවිධ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සිය ජීවන ගමන ආරම්භ කර ඇත්තේ අතිශය සරල මට්ටමකිනි. ගුණපාල මලලසේකර මැතිතුමාගේ ජීවිතය ද එලෙසින්ම මුල් පියවර තබා ඇත්තකි.

එතුමා තම ජීවිත කාලය තුළ දී ඉගෙනීම, ඉගැන්වීම, උසස් අධ්‍යාපන සුදුසුකම් හිමි කරගැනීමට අමතරව ආගම, භාෂාව හා සංස්කෘතිය යන විවිධ අංශයන්හි මතු නොව විදේශ සේවාවන්හි ද ශ්‍රේෂ්ඨ නාමයක් සලකුණු කර තබා ඇති බවටත් මලලසේකර ජීවන තොරතුරු දෙස් දෙයි.

කවර පුද්ගලයකුගේ වුවද අනාගතය සාර්ථක වීමට බලපාන බොහෝ සාධක ඇත. හුදෙක් ග්‍රහයන්ගේ බලපෑම මත, එමඟින් ඇති කරන සුබ අසුබ පල වෙත විශ්වාසය තැබීමක් වෙනුවට තරුණ මලලසේකර වඩා අර්ථවත් දේ කෙරෙහි විශ්වාසය තැබීය.

සහජයෙන් ලද බුද්ධිය හා යහගුණවලට අමතරව ඔහුට හමු වූ ශ්‍රේෂ්ඨ උගතුන්ගේ ඇසුර, දියුණුවේ මාර්ගය වෙත ඔහු සමීප කරවීය. සිය පියා ජීවත්ව සිටියදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනයට යොමු කරවනු ලැබූ ඔහු පූර්ව අවධියේදීම ලතින්, ග්‍රීක ආදී භාෂා පාසලෙන් උගත් අතර අනාගත ජීවිතයට ඉමහත් පිටිවහලක් වූ සිංහල, පාලි, බුද්ධාගම වැනි විෂයයන් ගමේ පන්සලෙන් ඉගෙනීමේ භාග්‍යය ලැබීය. වැඩි වයසට පත් වෙද්දී සිය දේශය තුළ කැපී පෙනුණ උගත් බුද්ධිමත් යහපත් පුද්ගලයකු ලෙස මලලසේකර මහතා අද්විතීය ස්ථානයක් හිමි කරගැනීමට මෙවැනි පසුබිමක් සැබවින් ම උපකාරී විය.

 

අගනා ලංකා පුත්‍රයකුගේ ඇසුර

 

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වැනි අගනා ලංකා පුත්‍රයකුගේ ඇසුර හා මඟපෙන්වීම සමඟ මලලසේකර මහතාගේ දිවි ගමන වඩාත් යහපත් දෙසකට නැඹුරු විය. විදේශීය නැඹුරුවට යමින් එකල පැවති තත්ත්වය අනුව තමාට හිමිව තිබූ ජෝර්ජ් පීරිස් යන ඉංග්‍රීසි නම් වෙනුවට පසුව ගුණපාල පියසේන යන සිංහල නම් එතුමාට හිමි වූයේ ද ශ්‍රීමත් අනගරික ධර්මපාලතුමාගේ උපදෙස් පරිදි ය. එතුමාගේ දෙවන ඉල්ලීම ද ඉටු කරලන්නට ගුණපාල මලලසේකර මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියට ලියා පදිංචි වීමත් යථා කාලයේ දී එ් අධ්‍යාපනික සුදුසුකම් ලබා ගැනීමත් එ් වටිනා දිවි ගමනේ විශේෂ සන්ධිස්ථාන ලෙස නම් කළ හැකිය.

උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි ක්‍රියාශීලී ලෙස නියැළෙමින් ඒ අතරතුරදී තමන්ට හමු වූ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වූ ඩබ්ලිව්. ඒ. ද සිල්වා මැතිතුමාගේ කාරුණික සහයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් ශාස්ත්‍රපති උපාධියත්, ශාස්ත්‍ර සූරී උපාධියත් එක්වර ලබා ගනිමින් උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පරතෙරට පත් වීමට තරම් ඔහු සමත් විය.

ආචාර්ය ගුණපාල මලලසේකර මහතා ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය වැනි ප්‍රකට බෞද්ධ පාසල්වලට සම්බන්ධ වෙමින් ඒවායේ විදුහල්පති තනතුරු පවා දරමින් බෞද්ධ අධ්‍යාපනයට ඉටුකළ මෙහෙවර අති විශාලය. එමෙන්ම එතුමා සිංහල, පාලි, සංස්කෘත මතු නොව ග්‍රීක, ලතින්, ඉංග්‍රීසි ආදී භාෂාවන් ද ප්‍රගුණ කළ අතර තරුණ පරපුරට එ් දැනුම ලබා දීමෙහිලා නිර්ලෝභීව කටයුතු කරමින් සිදුකළ මෙහෙවර ශ්‍රී ලංකා වාසී ජනතාව එදත් අදත් නිසැකවම අගය කරන්නකි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ එතුමා ගත කළ කාල වකවානුව තුළ රීස් ඩේවිඩ්ස් මැතිනිය වැනි උගතුන් ඇසුරෙහි ලද දැනුම හා පන්නරය එතුමාගේ අනාගත ශාස්ත්‍රීය සේවයට අගනා පදනමක් විය.

තමන් උගන්නට යොමු වූ කවර විෂයයකදී වුව අති දක්‍ෂකම් පෑමෙන් මෙන්ම ඉගෙනීමටත් පුළුල් දැනුම් සම්භාරයක් ලබා ගැනීමටත්, සෙස්සන්ට, එම දැනුම බෙදා දීමටත් දැක්වූ පරිත්‍යාගශීලී බවත් උද්යෝගයත් එතුමා ඇසුරු කළ සෑම ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේම සිත් ගත් කරුණු විය.

ඩී.බී. ධනපාල මහතා, ගුණපාල මලලසේකර මැතිතුමන් ගැන තම අදහස් දක්වමින් ඉදිරිපත් කළ කරුණු අතර එතුමාගේ දක්‍ෂතා අතරට එක්ව තිබූ ප්‍රසන්න බවත්, ගුණයහපත් කමත් සම්බන්ධ කර ඇත. ‘ලංකාවේ සිටින ප්‍රසන්නතම පුද්ගලයා වන ගුණපාල මලලසේකර මහතා ඉංග්‍රීසි බසින් මෙන්ම සිංහලෙන් ද පැවැත්වූ දේශන වලින් මතු වූ විශිෂ්ට දක්‍ෂතාව හා කථිකත්වය’ ගැන ධනපාල මහතා විශේෂයෙන් සඳහන් කර ඇත්තේ මහාචාර්ය ගුණපාල මලලසේකර එදත් අදත් අප අතර විශිෂ්ටතම විද්වතකු, දක්‍ෂතම කථිකයකු මෙන්ම ප්‍රසන්නතම පුද්ගලයකු ලෙසත් හඟවමිනි.

හුදෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉගැන්වීම හා එහි භාරදූර පරිපාලන වගකීම්වලට සිය සේවය සීමා කරනු වෙනුවට එතුමා ශාස්ත්‍රීය හා සංස්කෘතික පර්යේෂණ කටයුතු කෙරෙහි ද අවධානය යොමු කළේය.

බුදු දහම ඉගැන්වීම, ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයන හා පර්යේෂණ කටයුතුවල නිරත වීම මඟින් විශිෂ්ට ශාස්ත්‍රවන්තයකුගේ භූමිකාව ඉටු කළ එතුමා දිවයිනේ බෞද්ධ කටයුතු නඟා සිටුවීම මෙන්ම බෞද්ධ ජනතාව වෙත තම යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීම ද සිය වගකීම ලෙස සලකමින් ඒ සම්බන්ධයෙන් අපරිමිත සේවාවක් සිදු කළේය. ඊට සාක්‍ෂි වශයෙන් එතුමා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සම ලේකම් තනතුර එකපිටම දෙවරක් දැරීම, වසර 1937 සිට 1939 දක්වා එහි උප සභාපති තනතුර හෙබවීම සහ අනතුරුව 1939 වර්ෂයේ සිට 1957 දක්වා දිගට ම වසර දහනවයක කාලයක් තුළ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති තනතුර දරමින් අපරිමිත මෙහෙයක් ඉටු කිරීම දැක්විය හැකිය.

 

තානාපති සේවය

 

බුදු දහම හා බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රීය හා ආගමික දැනුම ප්‍රචලිත කිරීමෙහිලා ඉවහල් වූ විශිෂ්ට කර්තව්‍යයකට ද තම සේවය නොමසුරුව ලබා දීමට එතුමා පියවර ගත් බවට තවත් එක් සාක්‍ෂියක් නම්, වසර 1956 දී මලලසේකර මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ විශ්වකෝෂයේ වැඩ කටයුතු ක්‍රියාත්මක වීමයි.

එතුමා දේශීය වශයෙන් සිදු කරමින් තිබූ අනගි මෙහෙවර විදේශීය ජනතාව වෙත ද අදාළ ලෙස පතුරුවා ලීමේ අවස්ථාව උදා වූයේ වසර 1957 දී සෝවියට් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කිරීමේ වගකීම එතුමාට පවරනු ලැබීමත් සමඟ ය. ඒ සමඟම පෝලන්තය, රුමේනියාව, චෙකොස්ලොවේකියාව යන රටවල ද තානාපති සේවය ඉටු කිරීමට මලලසේකර මහතා වෙත වගකීම භාර කරනු ලැබුවේ 1959-1961 යන කාල සීමාවන්හිදීය. ඒ වන විට සිය රට තුළ අධ්‍යාපනික, සංස්කෘතික, ශාස්ත්‍රීය, ආගමික ආදී විවිධ ක්‍ෂේත්‍රයන්හි අපරිමිත මෙහෙවරක් ඉටු කරමින් සිටි මෙම ලංකා පුත්‍රයාගේ විදේශ තානාපති සේවයේ ද ඉටු වෙමින් තිබූ අගනා සේවය හඳුනා ගනිමින් වසර 1961-1963 කාල සීමාව තුළ කැනඩාවේ මහ කොමසාරිස් තනතුරෙහි සේවය කිරීමට ද මලලසේකර මැතිතුමාට අවස්ථාව උදා කර දෙනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි නිත්‍ය සාමාජික තනතුර හෙබවීමට තරම් දැනුම, පළපුරුද්ද, අවබෝධය මෙන්ම එවන් උසස් තනතුරක් දරමින් මෙරට වෙනුවෙන් සාර්ථක සේවයක් ඉටු කරන්නට තරම් පෘථුල දක්‍ෂතාවක් හා හැකියාවක් එතුමා සතුව තිබූ බව නිසැකයෙන් ම දැන සිටි වගකිවයුත්තන් අතින් එතුමාට නිසි අවස්ථාව හිමිකර දීම නිසා විදේශයන්හි ශ්‍රී ලංකාව පිළිබඳ ව යහපත් ආකල්ප ඇතිකරලීමට ද හේතු වූ බව පුදුමයක් නොවේ. එම තනතුරට අදාළ කාල සීමාව අවසන් වූ පසුව මහාචාර්ය ගුණපාල මලලසේකර වෙත පැවරුණේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් තනතුරේ සේවය කිරීමේ කර්තව්‍යයයි. 1963-1967 යන කාල සීමාව තුළ දී එ් වගකීම ද ඉතා සාර්ථක ලෙස නිම කළ මහාචාර්ය මලලසේකරට නැවත සිය රටට පැමිණි පසුව ද කිසිදු විවේකයක්, විශ්‍රාමයක් නොලබාම උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික මණ්ඩලයෙහි සභාපතිත්වය දැරීමේ වගකීම පැවරුණි.

බුදු සසුනේ උන්නතිය උදෙසා මෙන්ම ශ්‍රී ලාංකික හා අනෙකුත් රටවල බෞද්ධ ජනතාව උදෙසා ද බුද දහමෙහි අගය, හරය හරහැටි අවබෝධ කරවමින් සැබෑ ආගමික භක්තියක් ඔවුන් තුළ ඇති කරවා ලීමට මලලසේකර මැතිතුමා නියත වශයෙන්ම සමත් විය. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නිර්මාපකයා ලෙස එතුමාට හිමි වන ගෞරවය අති මහත් ය. මහාචාර්ය මලලසේකර බෞද්ධ කොඩිය යටතේ පෙරදිග බෞද්ධ රටවල බෞද්ධ ජනතාව ඒකරාශි කරවමින් බුදුදහමේ පැවැත්මට මෙන්ම බුදුදහමට නැඹුරු ජාතීන්ගේ යහ පැවැත්මට ද කළ මෙහෙවර සදාකල්හිම අප සිත්හි නොමැකී පවතිනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ලෝකයේ බොහෝ රටවල ජනතාව එක්සත් කරවමින් සමාන අරමුණු දෙසට ගෙන යා හැකි බව අවබෝධ කරගත් මලලසේකර මැතිතුමා ලෝක බෞද්ධ මහා සම්මේලනය බිහි කරලීමට ද එ් ආකල්පය මුල් කරගත්තේය.

 

අපරිමිත දැනුම

 

මලලසේකර මහාචාර්යතුමා “තම තරම දැනගෙන“ කටයුතු කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ශාස්ත්‍රිය දැනුම, භාෂා ඥානය, ආගමික දැනුම හා උනන්දුව අතින් මේ නම් සමාජයක් යහමගට ගෙන යාමේ නිසි මාර්ගය පිළිබඳ ව ද එතුමන් තුළ පැවතුණේ අපරිමිත දැනුමකි.

වර්තමාන සමාජය තුළ පිළිගැනෙන පරිදි දේශපාලනය වැනි ඇතැම් අංශ ඕනෑම කෙනෙකුට ගැළපේ යැයි සිහිනෙනුදු නොසිතුවේය.

එස් .ඩබ්ලිව්. ආර් . ඩී බණ්ඩාරනායක අගමැතිතුමාගේ හදිසි වියෝවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මහාචාර්ය මලලසේකර මැතිතුමාගෙන් කළ ඉල්ලීම ඔහු ඉතා ඥානවන්ත වූත් සුන්දරවූත්, පිළිතුරකින් ප්‍රතික්ෂේප කළ අයුරු ද මහාචාර්ය මලලසේකර චරිතයේ තවත් විශිෂ්ට මුහුණුවරක් පෙන්නුම් කරයි. එතුමාගේ පිළිතුර වූයේ “සමාජ හා ආගමික සංවර්ධනය (එම අංශ යළි ගොඩනැගීම) අතින් මම ක්‍රියාශීලී පුද්ගලයෙක් වීමි. එසේ වුවත් දේශපාලනය ගැන මා දන්නා කිසිවක් නැති තරම්ය.”

එතුමා තම ජීවිත කාලය තුළ ප්‍රකාශයට පත් කළ ශාස්ත්‍රිය කෘති සම්භාරය අතර මුල් වරට 1948 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය එදත් අදත් මතුවටත් මහඟු ශාස්ත්‍රිය මෙහෙවරක් මල්පල ගත්තක් ලෙස පවතිනු ඇත.

මිනිසකු ලෙස තමන් සතු යුතුකම් සිය පවුලටත් සමාජයටත්, රටටත්, ජාතියටත්, සමස්ත බෞද්ධ ජනතාවටත් අප්‍රමාණව ඉටුකළ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා “ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයකු මෙන්ම දේශයේ සම්පතක් ද වන්නේ යැයි” විවාදයකින් තොරව ප්‍රකාශ කළ හැකියි.

අදහස්