පංගු ‍- පේරුව | සිළුමිණ

පංගු ‍- පේරුව

සම්පූර්ණ දෙයක කොටසක් “පංගුවකි.” “පේරුව” බොහෝවිට අර්ථ ගැන්වෙන්නේ පාර්ශ්වය, පැත්ත, වශයෙනි. මේ වදන් වලින් කියවෙන අරුත් දෙන බොහෝ වචනවලින් ද සිංහල බස බොහෝ පොහොසත් ය. කාණ්ඩය, කැබැල්ල, කොට්ඨාසය, වසම, පෙල, ආදිය ඉන් කිහිපයකි. පංගු - පේරු සංකල්ප භාවිතයට ඉතා දිගු ඉතිහාසයක් ද පවතී. පංගු පේරු ක්‍රියාකාරකම් තුල හොඳ නරක දෙකම ජනගතවී තිබේ. පංගු පේරු වට කරන කල්කිරියා වැඩ ගමන් බෙදා හදා ගැනීම අතිශය ම යහපතට සේම විනාශය, අයහපතට ද යොදා ගත හැකි දෙයකි. හරියට දෙ පැත්ත කැපෙන කඩකැත්තක්, දැළි පිහියක් වැනිය.

වත්මන් සමාජයේ රට කරවන පිරිස, පංගු පේරු වැඩ කරන්නේ ම රටේ අයහපත, අවුල ඇති වන ලෙසින් ය. පෙර කල මුළු රටේ මොන ඉසව්වක වුවත් “ගම” තුළ තිබූ පංගුපේරු ක්‍රමය මඟින් සම්පත් සමාජය තුළ සාධාරණව බෙදාහදා ගත්තේය. මීට කදිම නිදසුනකි ගමේ වැව නඩත්තුව, රැක ගැනීම හා ජලය බෙදා හදා කළමනාකරණය කර ගැනීම. තවද කුඹුරේ වැට, පැල, ඇලවේලි ශුද්ධ පවිත්‍ර කර නඩත්තු කිරීමත්, පංගුවට කළේ ය. ඒ තබා වැවේ සිටිය මිරිදිය මත්ස්‍ය සම්පත පවා බෙදා ගත්තේ “පංගු” හිමි කම අනුව ය. පංගු අනුව වැවේ කට්ටි කැපීම, පවා සිදු විය. “පංගුව” ප්‍රමාණය තෝරා තීන්දු කළේ අතිශයින් ම සාධාරණ සමාජවාදී මානව හිතවාදී සූත්‍රයකට අනුවය. අද අපට ඇහෙන දකින කපටි සූත්‍ර ලෙස නොවේය. වැව යටතේ ඇති සියලු ඉඩම් හිමියට වෙන් වෙන්ව අයිති ප්‍රමාණයෙන් ගණනය කරයි. එහිදී අඩුම වපසරිය (ප්‍රමාණය) පංගුවක්ව සලකයි. ඒ අනුව ඉඩම්වල ප්‍රමාණය අනුව පංගු ප්‍රමාණය ද අඩුවැඩි විය. ඒ අනුව ඔහුට ලැබිය යුතු හිමිකම් (අයිතිවාසිකම්) ද ඔහුගෙන් විය - යුතු සේවා හා වගකීම් ප්‍රමාණයන් ද තීරණය වූහ. යායක කුඩා ම ඒකකය අක්කර 1/4 ක් නම් ඔහුට එක පංගුවක කාරියන් පැවරෙන විට අක්කරයක් ඇති පුද්ගලයාට පංගුහතරකම කාරියන් කිරීමට සිදු විය.

“පේරුව” වදනින්, කොටස, වසම, කාණ්ඩය, තුලාන, පාර්ශවය, පෙදෙස, පැත්ත දැක්විය. අපේ ගම්වල විහාර හතර (උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර) පේරුවෙන්ම පැමිණි (යන එන) දායක දායිකාවන්ට අයිතිය. “පේරුව” ඒ ඒ කුල වංශ හඳුන්වා දීමේදී ද භාවිත වෙයි. (රදළ, කුඹල්, පණ්ඩිත නැකති, ගොවි, කරාව, පේරු) වශයෙනි. පුරාණයේ මේ කොයි කාටත් පරවෙනියෙන් (ප්‍රවේණියෙන්) ලැබුණ ගොඩමඩඉඩම් පරම්පරා කීපයක් යනවිට ඔවුන් අතර බෙදී ඉතා කුඩාම වපසරියක (ප්‍රමාණයක) කොටසක් බවට පත් විය. එය සිටින සහෝදර සහෝදරාදීන් අතර බෙදා ගැනීමට නොහැකි තරමට ම බොහෝ කුඩා විය. මේ අවස්ථාවේදී අපේ ඇත්තෝ තවත් ඥාණාන්විත ක්‍රමයක් අනුගමනය කළහ. එනම් ඉඩම බෙදා නොගෙන, වැඩ කරන කන්නය (කාලය බෙදා) හුවමාරු කර ගැනීමයි. එය නම් කෙරුණේ ද “තට්ටුමාරු පංගු පේරුව” ලෙසයි. පංගු හා පේරු වදන් අතර ඇති සබඳතාවය මෙන්ම, එක්ව යෙදෙන ආකාරය මෙයින් තහවුරු වෙයි.

පංගුව කොටස බවට කදිම සාක්ෂියකි, සීහලදේශජ වෙදකමේදී (ග‍හේ කොල, පොතු, මුල්, මල්ගෙඩි) ගන්නා “පස් පංගුව” යෙදෙන අවස්ථාව. කසාය පදම් කිරීමේ දී නම් කෙරෙන්නේ ද අටෙන් “එක පංගුව” කට හිඳවා ගන්නා ලෙසම ය. පංගුව කොටස යන අවස්ථා දෙක ම එකවර මතුවන අවස්ථාවකි “පේරුදානය” - පාර්ශ්වයට අයත්වූ දානය බව කියැ වෙයි. දන් සීට්ටුව (දාන ලේඛනය) අනුව නියමිත වාරය (අවස්ථාව) පුද්ගල පේරුවට ලැබේ. අතීත ගමේ නිලතල දැරූ (ග්මුලාදෑනි, බද්දේරාල, වෙල්විදානේ, කෝරාල මොහොට්ටාල, රටේ මහත්මයා වැනි) අයට වැටුප්, දීමනා හෝ බදු ලෙස ලද ආදායමට, බිම් කොටසට දැක්වූවේ ද “ගම් වසම් පංගුව” ලෙසයි.

ගොවිතැන් කිරී‍මේ දී ද ඉඩම් හිමියා සහ (ඉඩම් අහිමිව) ගොවිතැන් කරන අය අතර අස්වනු බෙදා හදා ගත්තේ ද “පංගු” පිළිවෙතකටයි. ඉඩම් හිමියාට “ගංකාර පංගුව”, ද අඳයට වැඩ කරන පුද්ගලයාට “අඳපංගුව” දහරක් වැඩට දෙන අයට “විය කුලී පංගුව” ද පරවෙනියෙන් ගම හිමි වී ඇත්නම් “ගම් හිමි පංගුව” ද වශයෙනි. වියකුලී පංගුව “හී අ‍ඳේ පංගුව” ලෙස ද හැඳින්විය.

එදා සම්මතයෙන්ම පංගුව පේරුවට ගෘහය තුළ ඇති සියලු වැඩකොටස් බෙදාගෙන තිබුණි. මවකළ යුතු වැඩ, දර, දිය, ඇදගෙන, දරුවන්ට කිරි ටික දී කෑම බීම හදා කවාපොවා ගේ දොර වතුපිටි පිරිසුදු කිරීම, රෙදි සෝදා දී සැමියාගේ ආහාර පාන පිස හැකි සැමවිටම ඔහුගේ රැකියාවට ද සහාය වීමයි. දරුවෝ මවුපියන්ගේ සියලු කටයුතු වලට සහයවීම ද තමාගේ ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කිරීම ද කළහ. බෑණාවරු, ලේලිවරු ද දරුවන් සේම අදාළ වැඩ පංගු කළෝ ය. මේ පංගු කාරියේ වටිනාකම් දැක්වූ අවස්ථාවක් මෙසේ කවියට නැඟී ඇත.

“වා පිත්, කපයදැන උය පිහමන් කරති

දා මවු පියන් සිව්පස දීලා රකිති

රුදුරු සපුන්ගෙන් දරුවෝ රැක ගනිති

වඳුරු වහංගත අත්ලෙන් පිහ දමති”

තම තමන්ට හිමි වැඩ පංගුවලට අමතර දේ ඇතැම් අය පවුල තුළ බලාපොරොත්තු වීම, සහජීවනය කඩවීමට හේතුවකි. සාම්ප්‍රදායික නැන්දා ලේලී හටන්, ඇරඹුණේ ද එබඳු කාරියන් මුල්කොටගෙන ය. අද අප ගුරු, සිසු, මවුපිය, දූ දරු, භූමිකාවන් ලෙස දක්වන්නේ ද එදා පංගු ක්‍රමයට හිමිවූ දේ ම ය. තමාගේ කාර්යයන් නිසි ලෙස ඉටු නොකරන අය සමච්චලයට, අවතක්සේරුවට ලක් කිරීම ද පංගු පේරු ක්‍රියාකාරකම්වලදී සිදුවෙයි.

“ඉන්ගන් නොදැන ඇයි මැසිවිලි කියන්නේ

පන්නන් බැරි එකී කොහොමද රැකෙන්නේ

ගන් ගන්වල ඇවිද රැකුණ ද බොලන්නේ

දෙන්ඩ පැදුරමම වාලි ද කියන්නේ”

පංගු පේරු නොතකා පොදු වැඩ, ආගමික වැඩ, කළ යුතුය. හදිසි ව්‍යසන, සොබාවික විපත් ආදිය ඇති වන විට තම පංගුවට අදාළ නොවේ යැයි කටයුතු කිරීම ගමේ ඇත්තෝ පිළිකුලෙන් බැහැර කළේය. ජන්මාන්තර හතුරකුට වුවත් විපතේදී අන්තරාවේදී පිටුපා යන්ට එපා යැයි කියමනත් කුඩා කලදීම දරුවන්ට කියා දුන්නේ “විපතේ ඇස් නොපාන එකා වරිගෙටත් එපා” යනුවෙන් ය.

යහපත් දේට පංගු පේරු බලන්නෙ නැතිවම දායක විය යුතු බව ගමේ ඇත්තන් ඇදහූ දහමෙකි. ගොවිතැන් කටයුතුවලදී ඇලවේලි කඩා බිඳී යනවා දුටු සැණින් පිළිසකර කළේය. අහඹුවෙන් හරකුන් ගොවිළකට කඩා වැදුණොත් ඔවුන් පළවා හැර අඩු තරමින් කටු අත්තක්වත් ගසා දමයි. ඔහුට දහසක් වැදගත් වැඩක් තිබුණත් අදාළ පුද්ගලයා හමුවී කරුණු වග සැල කරයි. අද අපේ සමාජයේ හැම මට්ටමක දීම මේ උතුම් ගති මියැදී ඇත.

පේරුව ලොකුවට හිතට ගන්නා අයත් පංගුව ලොකු කර ගන්ට ඕනෑම පහත්, ක්‍රියාවක යෙදෙන අයත් සමාජය රවටාගෙන සිටියි. ඒ ඇත්තන්ට අපේ පැරණියන් නිතර භාවිත කළ උපදේශන තවත් සිහි ගන්වමි.

“ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු

බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු

කඩුල්ලේ තරම දැනගෙන කද බදිනු

තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු”

 

අදහස්