පසුබිම් තොරතුරු හදාරන්නේ නැතිව හොඳ පරිවර්තනයක් කරන්න බෑ | සිළුමිණ

පසුබිම් තොරතුරු හදාරන්නේ නැතිව හොඳ පරිවර්තනයක් කරන්න බෑ

කෙන් ෆොලට්ගේ “ලයි ඩවුන් විත් ලයන්ස්” (Lie Down With Lions) නවකතාවේ සිංහල පරිවර්තනය “සිංහයන් සමඟ සැතපී” යනුවෙන් දැන් නිකුත් වී තිබේ. මෙය සේමාලි කැල්ලපතගේ පරිවර්තනයකි. මීට පෙර නාඳුනන තාත්තා, කඩ වීදිය, ලන්තෑරුම් දහසේ නිවහන, මකර බිජුවට වැනි පොත් ගණනාවක් පළ කර පරිවර්තනයෙහි දස්කම් පා තිබෙන ඈ දශක ගණනාවක් පුරා පුවත්පත් කලාවේ රැඳී සිටින ප්‍රවීණ මාධ්‍යවේදිනියකි. පරිවර්තන සාහිත්‍ය පිළිබඳව ඈ සමඟ කළ කතාබහකි මේ.

කෙන් ෆොලට්ගේ ‘ලයි ඩවුන් විත් ලයන්ස්’ (Lie Down With Lions) කෘතිය පරිවර්තනය කිරීම සඳහා තෝරා ගැනීමට ඔබට විශේෂ හේතුවක් තිබුණද?

මෙම කතාවේ ඇතුළත් වී තිබෙන්නේ ඇෆ්ගනිස්තානයේ පිටිසර කඳුකර ගම්මානයක මිනිසුන් යුද්ධය නිසා මුහුණ දෙන දුක් පීඩා ගැන. මිනිසුන් විඳින දුක, පීඩාව ගැන රචනා වූ නවකතා කොහොමටත් මගේ හිත සසල කරනවා. මම මීට පෙරත් යුද්ධයෙන් පීඩාවට පත්වන ජනතාව ගැන තොරතුරු ඇතුළත් පොත් දෙකක් පරිවර්තනය කළා. හිරෝෂිමාවට බෝම්බ දැමීමෙන් මානසික පීඩාවට ලක්වූ කාන්තාවක මූලික කර ගත් ෆිලිස් ඒ. චිට්නිගේ Moon Flower පොත මම ‘සඳමල’ නමින් පරිවර්තනය කළා. ජපානය චීනය ආක්‍රමණය කළ අවධියේ කතාවක් පසුබිම් කර ගනිමින් රචිත පර්ල් එස්. බක්ගේ ‘Dragon Seed’ කෘතිය ‘මකර බිජුවට’ නමින් පරිවර්තනය කළා. මේ කතා දෙකේම කියැවෙන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වන ජනතාව ගැනයි. ‘ලයි ඩවුන් විත් ලයන්ස්’ කෘතියට පාදක වෙන්නෙත් එවැනි කතාවක්. ඒ නිසයි මම මෙය පරිවර්තනයට තෝරා ගත්තේ. කුමන රටක කුමන ආකාරයේ යුද්ධයක් පැවතුණත් ඉන් පීඩාවට පත්වන ප්‍රජාව ගැනයි මේ කතාවලින් කියැවෙන්නේ.

‘සිංහයන් සමඟ සැතපී’ පරිවර්තන නවකතාවට පාදක වන කතාව සැකෙවින් දක්වනවා නම්?

කෙන් ෆොලට් සිය සුපුරුදු ආකෘතිය අනුව යමින් ලෝක ඉතිහාසයේ සැබැවින්ම වූ සිදුවීමක් හා ජීවමාන වූ චරිතයක් මේ කෘතියට ද පාදක කරගෙන තියෙනවා. කතාවේ කියැවෙන්නේ ඇෆ්ගනිස්තානය 1979 වසරේදී රුසියානු ආක්‍රමණයට නතුවූ යුගයයි. කතාවට පසුබිම් වෙන්නේ ඇෆ්ගනිස්තානයේ පන්ශීර් නිම්නයේ සුන්දර ගම්මානයක්. ගම්මානයේ ජීවත්වන අහිංසක සරල ගැමි ජීවිත රුසියානු ආක්‍රමණයත් සමඟ විසිරී යනවා.

කතුවරයා සිය කෘති බොහොමයකට රහස් ඔත්තු සේවා නිලධාරීන් හා ඔවුන්ගේ කාර්ය බාරය ද යොදා ගන්නවා. මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ පසමිතුරු රහස් ඔත්තු සේවා නිලධාරීන් දෙදෙනකුගේ ආදරයට මැදිවූ බටහිර සුරූපී තරුණියක්. ඇය අර සුන්දර ගම්මානයට පැමිණෙන්නේ ජීවිතයේ වෙනසක් හොයාගෙනයි. සිය වෛද්‍ය සැමියා සමඟ කඳුකර ගම්මානයේ රළු ප්‍රාථමික ජීවිතයට හැඩ ගැසෙන තරුණිය පසුව ගම්මුන්ගේම ජීවිතවල කොටසක් බවට පත්වෙනවා. එහෙත් ඇය කාලයාගේ ඇවෑමෙන් සිය සැමියාගේ රහස් ජීවිතය ගැන අවබෝධ කරගන්නවා. අන්තිමේ හිමෙන් පිරුණු කඳු යායේ දුෂ්කර මාර්ග ඔස්සේ ඇයට පලා යන්න සිදු වන්නේ කිරිකැටි දියණියක ද තුරුලු කරගෙනයි.

 

කෙන් ෆොලට්ගේ කෘති කෙරෙහි ඔබ විශේෂ ඇල්මක් දක්වනවාද?

බ්‍රිතාන්‍ය ජාතික කෙන් ෆොලට් ත්‍රාසය සහ කුතුහලය පිරුණු කතා ලියන නවකතා රචකයෙක්. ඔහු ලොව සිදුවු සැබෑ සිද්ධි හා ජීවමාන චරිත පාදක කර ගනිමින් ඒ වටා සිය කතාව නිර්මාණය කරනවා. ඒ නිසා තමයි මම කෙන් ෆොලට්ගේ කතාවලට කැමති. කෙන් ෆොලට් ලියූ Night Over Water කෘතියත් ගුවන් යානා ඉතිහාසයේ මුල්වරට බිහිවූ දැවැන්ත ගුවන් යානයක මංගල ගමන පසුබිම් කර ගත් කතාවක්. The Man From Pertersburg පොතත් ත්‍රාසය, කුතුහලය පිරුණු කතාවක්. ඒ ත්‍රාසය හා කුතුහලය නිසා ම ඔහුගේ නවකතා විශේෂයෙන් පාඨක අවධානය දිනා ගන්නවා. ඒ වගේම ඔහුගේ කතාවල ආදරය ගැන හරිම සුන්දර විදිහට කතා කරනවා.

 

පරිවර්තනයේ දී ඇතැම් විට රටක සිරිත් විරිත්, සංස්කෘතිය, පරිසරය පිළිබඳව පරිවර්තකයාට පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. ඔබ එකී දැනුම ලබා ගන්නේ කොයි ආකාරයට ද?

මම අන්තර්ජාලය ඔස්සේ සියලු ම දේවල් සොයා බලා දැනුම ලබා ගන්නවා. පෙර මෙන් නොව දැන් ඒ සඳහා බොහෝ අවකාශ තියෙනවා. ‘සිංහයන් සමඟ සැතපී’ කෘතිය පරිවර්තනය කරන විට ඇෆ්ගනිස්තානය පිළිබඳ කරුණු සෙව්වා. ඒ පසුබිම ගැන නිවැරදි තොරතුරු නොදැන මට කතාව විතරක් පරිවර්තනය කරන්න බැහැනේ. එහෙම වුණාම කතාවේ සැබෑ රසය මතු වෙන්නේ නැහැ. ඒ නිසා මම ඉතාමත් සුළු කාරණා පවා සොයා බලලා නිවැරැදි තොරතුරු සපයා ගන්නවා.

නුපුරුදු රටක ජන කොටසකගේ සමාජ රටාව සිතුම් පැතුම් හා අදහස් මෙන්ම පරිසර ස්වභාවය, දුර්ග මාර්ග, ගංගා නිම්න හා විශාල කඳු යායන්හි පිහිටීම් පවා මං අධ්‍යයනය කළා. එපමණක් නොවෙයි කතාවට පසුබිම් වන රුසියාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ කාල වකවානුව හා එහි පසුබිම පිළිබඳ තොරතුරු සොයා බැලුවා. එහෙම නිසි අධ්‍යයනයකින් තොරව කෙරෙන පරිවර්තන එතරම් සාර්ථක නොවෙතැයි මට සිතෙනවා.

 

සමහර පරිවර්තකයන් වචනයෙන් වචනය පරිවර්තනය කරන බව මා අසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

මම නම් එය කිසි සේත් අනුමත කරන්නේ නැහැ. එය අසාර්ථක දෙයක්. පොතක් කියවලා අර්ථය උකහා ගෙන අපේ භාෂාවට අවශ්‍ය රිද්මයකින් පරිවර්තනය කාර්ය කළ යුතුයි. සරල, සුගම බස් වහරක් යොදා ගත යුතුයි. එහෙම නැතිව වචනයෙන් වචනය පරිවර්තනය කිරීමෙන් නවකතාවක් රසවත්ව නිර්මාණය කරන්න බැහැ.

 

ඔබ මෙතෙක් පළ කර තිබෙන්නේ පරිවර්තන පොත්. ස්වතන්ත්‍ර නිර්මාණයක් පළ කිරීමට කැමැත්තක් නැති ද?

මම කුඩා කාලේ ඉඳලාම කියෙව්වේ පරිවර්තන නවකතා. කේ. ජී. කරුණාතිලක, සිරිල් සී. පෙරේරා, දැදිගම වී. රුද්රිගු, කුලසේන ෆොන්සේකා, අනුල ද සිල්වා වැනි ලේඛක ලේඛිකාවන්ගේ පොත් මම කියවලා රසවින්දා. ඒ නිසා වෙන්න ඇති මම අදටත් ගොඩාක් කැමති පරිවර්තන පොත් කියවන්න. මගේ ඒ කැමැත්ත නිසා ම මම පෙලඹී සිටින්නේ පරිවර්තනයට. ස්වතන්ත්‍ර නවකතාවක් ලියනවාද කියලා හිතලාවත් නැහැ. හැබැයි මගේ ළමා කාලේ මම අත්වින්ද දේවල්, ඒ කාලේ සමාජය ගැන, පරිසරය ගැන, පුංචි කාලේ පවුලක් විදිහට විඳ ගත් සුන්දර අත්දැකීම් වැනි දේවල් ඇතුළත් කරලා පොතක් ලියන්න පුංචි අදහසක් නම් මට තියෙනවා. ඒත් එය නවකතාවක් නම් නොවෙයි.

 

පරිවර්තන කාර්යයේ දී ඔබ සැලකිලිමත් වන කරුණු මොනවාද?

මුලින් ම මම පොතක් කියවා රසවින්දාම ඒ රසය අනිත් අයට දෙන්න ඕනෑ කියන සිතිවිල්ල මට ඇතිවෙන්නෙ ඕනෑ. එහෙම නැතිව මම කියවූ පමණින් පොතක් පරිවර්තනය කරන්න පෙ‍ලඹෙන්නේ නැහැ. ඒ වගේම එකී කතාව ලංකාවේ සංස්කෘතියට සදාචාරයට ගැළපෙනවාද කියන කාරණය ගැනත් මම සැලකිලිමත් වෙනවා. සමහර පොත්වල ලිංගිකත්වය හුවා දක්වන දීර්ඝ විස්තර තිබෙනවා. එවැනි අවස්ථාවක එම විස්තරවල සැර බාල කරලා, කතා රසයට හානියක් නොවෙන්න මම පරිවර්තනය කරනවා. ඇතැම් පොත් මා රසවින්දත් කතා තේමාව අපේ රටේ සංස්කෘතියට සුදුසු නැත්නම් මම එවැනි පොත් පරිවර්තනය කරන්නේ නැහැ.

 

පරිවර්තන කාර්යයේදී මුල් කෘතියේ කතුවරයාගෙන් හෝ ප්‍රකාශකගෙන් අවසරය ලබා ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද?

මගේ සෑම පොතකම අවසර ලබා ගැනීමේ කටයුත්ත සිද්ධ කළේ පොත් ප්‍රකාශකයා. ඒ සම්බන්ධයෙන් මම කිසිම දෙයක් කළේ නැහැ. මම පොත් ප්‍රකාශකයා හමු වෙලා අසවල් පොත පරිවර්තනය කරන්න කැමතියි කියලා කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවා. එවිට පොත් ප්‍රකාශකයා මට කියනවා පොත පරිවර්තනය කරන්න පටන් ගන්න, ඔහු අවසරය ලබා ගැනීම වැනි නෛතික කටයුතු කරන්නම් කියලා. ඒ නිසා මම කිසිම දවසක අවසර ලබා ගැනීමට මැදිහත් වෙලා නැහැ.

 

වර්තමානයේ පාඨකයන් අතර පරිවර්තන සාහිත්‍ය රැල්ලක් මතුවී ඇති බව පෙනෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස කෙබඳු ද?

නොදන්නා රටක් ගැන, නොදන්නා මිනිසුන්ගේ ජීවන රටාව ගැන, ඔවුන්ගේ සංස්කෘතිය ගැන දැන ගැනීමට අපේ පාඨකයන් තුළ කැමැත්තක් තිබෙනවා. මා තුළත් තිබෙනවා. පරිවර්තන පොතක් කියවන විට පාඨකයා නොදන්නා ඉසව්වකට කැඳවාගෙන යනවා. පාඨකයාගේ සිත තුළ නොදන්නා දේශය ගැන චිත්ත රූප මවනවා. අපි පුංචි කාලෙදී ස්ටෙප්ස් තණබිම් ගැන, හිම කරත්ත ගැන, පොප්ලර් ගස් ගැන දැන ගත්තේ රුසියානු පොත් කියවීමෙන්. නොදන්නා දේවල් ගැන දැන ගැනීමට තිබෙන කැමැත්ත නිසාම පාඨකයන් පරිවර්තන පොත් කියවීමට වැඩි නැඹුරුවක් දක්වන බව පෙනෙනවා. අද වන විට එය පරිවර්තන රැල්ලක් දක්වා වර්ධනය වී තිබෙනවා.

 

එහෙත් එම රැල්ල නිසා ම බොහෝ දෙනෙක් පොත් පරිවර්තනයට යොමු වී සිටිනවා. එය කොයි තරම් ප්‍රබල ද කියනවා නම් හතු පිපෙන්නා වගේ පරිවර්තන ලේඛකයන් බිහි වෙලා. එය සාහිත්‍යයට හිතකර නැහැ නේද?

උසස් මට්ටමේ පරිවර්තන කෘති වගේ ම පහත් මට්ටමේ බොළඳ, අර්ථය විකෘති කරමින් රචනා කළ නීරස පරිවර්තන කෘති බිහි වෙනවා. ඒත් එය පරිවර්තනයට විතරක් නොවෙයි ස්වතන්ත්‍ර නිර්මාණවලදිත් දකින්න ලැබෙන කාරණාවක්. හොඳ පොත්වලට පාඨකයන්ගෙන් ඉල්ලුමක් තිබෙනවා. නිර්මාණාත්මක ගුණයෙන් හීන, බොළඳ පොත් පාඨකයන්ගෙන් ඉබේට ම තල්ලු වෙනවා. පාඨකයන්ගෙන් ප්‍රතික්ෂේප වීම නිසා බාල පොත් පළ කිරීම අඩු වෙන්න පුළුවනි.

 

ඔබ මෙතෙක් පළ කළ පොත් සහ ‘සිංහයන් සමඟ සැතපී’ කෘතියට ලැබෙන පාඨක ප්‍රතිචාර කොහොමද?

‘සිංහයන් සමඟ සැතපී’ පොත මෑතකදි පළ වුණ නිසා දැන් තමයි එයට ප්‍රතිචාර ලැබෙන්නේ. එය කියවූ අය මට දුරකතනයෙන් කතා කළා. මගේ අනෙක් පොත් අතරින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණ් ‘සඳ මල’ පොතට. මා පරිවර්තනය කළ පළමු පොත ‘නාඳුනන තාත්තා’ (නෙවිල් ෂූට්ගේ The Pied Pipper පොත) පොතට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළයි. එම පාඨක ප්‍රතිචාරවලින් මම කොයි තරම් දිරිමත් වුණාද කියනවා නම් දැන් පොත් 16 ක් පරිවර්තනය කර තිබෙනවා. රස්කින් බොන්ඩ්ගේ කතා මාලාවටත් බොහෝ ප්‍රතිචාර ලැබුණා.

අදහස්