මරන්දන්ගේ පුරාජේරුව | සිළුමිණ

මරන්දන්ගේ පුරාජේරුව

 

‘මරන්දන්ගේ පුරාජේරුව’ යනු බ්‍රිතාන්‍ය ලේඛක විලියම් නයිටෝන් විසින් ඉංගිරිසි බසින් රචනා කරන ලදුව 1854 වසරේ ලන්ඩනයේ දී පළවූ Forest life in ceylon කෘතියේ දෙවන වෙළුමේ සිංහල පරිවර්තනයයි.

විලියම් නයිටෝන් දහනව වන සියවසේ මැද භාගයේ මෙරට පැවැති කෝපි වගාවේ වතු කළමනාකරුවකු පත්වීම් ලබා පැමිණි අයෙකි. පසුව ‘ලංකා හෙරල්ඩ්’ නම් පුවත්පතේ කර්තෘත්වය දැරී ය. කෝපි වගාව බිඳ වැටීමෙන් පසු ඉන්දියාවට ගිය ඔහු කල්කටාවේ හින්දු විද්‍යාලයයේ ඉතිහාසය සහ තර්ක ශාස්ත්‍රය ඉගැන්වී ය. අනතුරුව ඉන්දීය සිවිල් සේවයට එක්වූ ඔහු කෘති දහයක පමණ කතුවරයා වෙයි.

නයිටෝන් දර්ශනශූරී (Ph.D) උපාධිධරයකු වන නමුත් ඔහුගේ කිසිම පොතක ඒ බව නොදැක්වෙන බව සඳහන් ය.

වෙළුම් දෙකකින් සමන්විත ත්‍දරුිඑ ඛසfැ සබ ක්‍ැහකදබ එසමයේ සිලෝන් නමින් හැඳින්වුණු ශ්‍රී ලංකාවේ ඔහු ගත කළ සිව් වසරක අත්දැකීම් ඇසුරින් රචිත ය. විත්ති කතා ෂානරයට වැටෙන මේ කෘති පාඨකයාට වෙහෙසක් නොමැති ව කියවාගෙන යා හැකි අයුරින් නිර්මාණාත්මක ලෙස රචනා වී තිබීම ඒවායේ විශේෂත්වයයි.

පළමු වෙළුමේ එන්නේ වැවිලිකරුවකු ලෙස ගාලු වරායෙන් මෙරටට සේන්දුවන ඉංග්‍රිසි ජාතික තරුණයකුගේ අත්දැකීම් සහ හැඟීම් ය. ගාල්ලේ සිට නුවර දක්වා යන ගමන ද එහි දී මරන්දන් නමැති විනීත සිංහල වංශවතකු මුණ ගැසීම ද එහි එයි. එය මනෝ ප්‍රනාන්දු විසින් ම ‘ලක්බිම වනසැරිය’ නමින් සිංහලට පරිවර්තනය කොට ඇත.

‘මරන්දන්ගේ පුරාජේරුව’ නමින් සිංහලට පරිවර්තනය වී ඇති දෙවන වෙළුමේ එන්නේ උඩරට වාසයට එළැඹි යථොක්ත ඉංග්‍රිසි තරුණයාගේ අත්දැකීම් ය.

මේ කෘතියේ පරිඡේද දහයක් වෙයි. පළමුවන පරිඡෙදයේ එන්නේ ඔහු බුදුන් හා සඟුන් වටහා ගත් අන්දම පිළිබඳ විස්තරයකි. බුදු දහම ගැන කිසිත් නොදන්නා අයකුගේ නිරීක්‍ෂණ එහි ඇතුළත් ය. දෙවන හා තුන්වන පරිඡේදවල බ්‍රිතාන්‍යයේ සිට පැමිණ කෝපි වගාවේ නිරතවන සහ යටත් විජිත සේවයේ නියුක්ත පිරිසක් ගැන විස්තරයකි. සිවුවන හා පස්වන පරිඡේදවල ඔවුන් බෝ දුෂ්කර මඟක් ගෙවා දඹුල්ල, සීගිරිය හා අනුරාධපුරය වැනි නටබුන් රාජධානි නරඹන්නට අසුපිටින් හා දෝලාවලින් ගිය සංචාර පිළිබඳ විස්තර ඇතුළත් ය. හයවන පරිඡෙදයේ එන්නේ එවකට එංගලන්තයේ පැවැති සර් රොබර්ට් පීල්ගේ ආණ්ඩුව විදේශවලින් ආනයනය කෙරෙන කෝපිවලට පනවා තිබූ බදු ඉවත් කිරීම නිසා වෙළෙඳ පොලේ ලංකා කෝපි මිල පහළ යාමත් කෝපි වගාවේ පරිහානියත් ය. ලංකාවේ කෝපි වගාව සඳහා විශාල ප්‍රාග්ධනයක් යොදවා වගා කරමින් සිටි වගාකරුවන්ගේ දුක්ඛිත ඉරණමේ පැතිකඩක් එහි දැක්වෙයි. ලංකාවේ කෝපි වගාව පරිහානියට යාමට හේතු වූයේ බ්‍රිතාන්‍ය රජයේ බදු ප්‍රතිපත්තිය බවත් මෙහි සඳහන් ය. එහෙත් ක්‍රිස්ටීන් විල්සන් ගේ ‘තිත්ත කෝපි’ නවකතාවේ එන්නේ දිලීර වසංගතයක් නිසා ශාකයට වැළඳුණු රෝගයකින් එය වැනසී ගිය බවයි.

7 - 10 දක්වා පරිඡෙදවල මරන්දන්ගේ කතන්දරය කියැවේ. පරිවර්තක විසින් මෙයට මරන්දන්ගේ පුරාජේරුව යන නම යොදන්නට ඇත්තේ ඒ නිසා විය හැකි ය.

මරන්දන් යනු කැප්පෙටිපොල දිසාව යටතේ 1818 කැරැල්ල මෙහෙයැවූ සේනාධිනායක බද්දලගේ පුත්‍රයා ය. ඔහු ඉංග්‍රිසි කර්නල්වරයකුගේ දිවි ගලවා ගනියි. කර්නල් කැරොල් නම් එම යහපත් ඉංග්‍රිසි නිලධාරියා ඔහු සිය නිවෙසට රැගෙන යයි. ඉන්පසු ඔහුට එ් නිලධාරියාගේ පවුලේ ඇත්තන්ගේ නොමඳ ආදරය හිමි වෙයි. මරන්දන් හා කර්නල්ගේ දියණිය අතර පෙම් බැඳුමක් ද වෙයි. එහෙත් ඇය අධ්‍යාපනය සඳහා සිය රටට පිටත්ව ගිය හෙයින් එය බිඳෙයි.

සිය ආචාර්යවරයා වන ජ්‍යෙෂ්ඨ භික්ෂුව යටතේ ධර්මය හැදෑරීම නොකඩවා කැරගෙන යන මරන්දන් ඒ අතරවාරයේ ඉංගිරිසි සහ එ් සාහිත්‍යය ද සිරිත් විරිත් යනාදිය ද නොකඩවා උගෙනියි. එයින් සිදු වනුයේ ඔහු තුළ තිබූ ජාති වාත්සල්‍යය අහෝසි වී ඒ වෙනුවට මේ ඉංග්‍රිසින්ගේ යටත් විජිතය ය යන අදහස තැන්පත් වීමයි.

මරණයෙන් ගැලවෙන ඔහුගේ පියා නාගසේන නමින් පැවිදිව අවුත් නැවත කැරැල්ලක් මෙහෙයෙවීම සඳහා නායකත්වය ගන්න’යි කරන ඉල්ලීම බැහැර කරන මරන්දන් විදේශීය තරුණියක් හා පෙමින් බැඳී ඇයගේ දෙමාපියන්ගෙන් ඇය පන්නා ගෙන අවුත් විවාහ වෙයි.

මරන්දන්ගේ කතාවට අමතරව මෙහි තවත් සිද්ධි කිහිපයක් එයි. ෆ්ලවර් නමැති තරුණයා හා සම්බන්ධ විස්තරය එවැන්නකි. තමාට හිතවත් හුෆර් මහත්මිය නමැති විවාහක කාන්තාවකට අයුතු යෝජනාවක් කරන මහේස්ත්‍රාත්වරයකුට ඔහුගේ නිල කුටීරය තුළ දී පහර දෙන ෆ්ලවර් ඒ නිසා මාස දෙකක සිර දඬුවමක් ලබයි. මේ මහේස්ත්‍රාත්වරයාගේ නොපනත්කම් ගැන කිරීටයට වාර්තා වී ඇති අතර ඔහු සේවයෙන් නෙරපා හැරේ. මෙයින් ගම්‍ය වනුයේ එසමයේ ද යුක්තිය පසිඳලන නිලධාරීන් අතර දූෂිතයන් සිටි බවයි.

මරන්දන් 1818 කැරැල්ලේ හේවායකු නොවූ නමුත් වෙඩි තැබීමේ ශූරයකු ව සිටි හෙයින් කැරැල්ලට සම්බන්ධ විය. කැරැල්ල පිළිබඳ ඔහුගේ අත්දැකීම්වල සාරාංශගත විස්තරයක් සවිස්තර මනෝ චිත්‍රයක් මවා ගත හැකි පරිද්දෙන් මෙහි එයි. මෙරටට පැමිණි බ්‍රිතානීන් මෙරට දී හැසුරුණු අහංකාර පරවශ ස්වභාවය පිළිබඳ වැටහීමක් ද මෙය කියැවීමෙන් ඇති කැර ගත හැකි ය.

මනෝ ප්‍රනාන්දුගේ කෘතියක් වන ‘මරන්දන්ගේ පුරාජේරුව’ සූරිය ප්‍රකාශනයක් ලෙසින් 2011 වසරේ පළමුවරට මුද්‍රණයෙන් නිකුත් විය.

අදහස්