මෙවර රාජ්‍ය සම්මාන දිනාගත් අම්මයි පුතයි | සිළුමිණ

මෙවර රාජ්‍ය සම්මාන දිනාගත් අම්මයි පුතයි

මෙවර ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ‍උලෙළේ හොඳම ඉංග්‍රිසි කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය The Lotus Heart කෘතියේ කර්තෘ සචිත්‍ර මහේන්ද්‍රට හිමි වූ අතර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම පරිවර්තන යොවුන් සාහිත්‍යට හිමි සම්මානය සීතා මහේන්ද්‍ර රචිත “ඉරි ඇඳුමේ සැඟවුණ කඳුළ” කෘතියට හිමි විය. මේ සම්මාන ද්විත්වය දිනා ගත් කතුවරුන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනා මව සහ පුතා වීම ය. ඔවුන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධය වෙනස් ආකාරයකට සඳහන් කරන්නේ නම් සීතා මහේන්ද්‍ර, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගේ බිරිය වන අතර සචිත්‍ර ඔහුගේ පුත්‍රයා ය. එක ම වසරේ අංශ දෙකකින් සම්මානයට පාත්‍ර වූ ඔවුන් දෙදෙනා සමඟ කළ කතාබහකි මේ.

 

අපේ පාඨකයන් විවිධත්වයට කැමැතියි

සීතා මහේන්ද්‍ර

මෙවර ඔබ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ සම්මානයට පාත්‍ර වනවිට ඔබේ පුතු සචිත්‍ර ගොඩගේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ සම්මානයක් හිමිකර ගත්තා. ඒ පිළිබඳව ඔබට දැනෙන හැඟීම?

මෙය ඉතා විරල සිදුවීමක් හැටියටයි මම දකින්නේ. සම්මාන උත්සව දෙකකදී වුණත් අංශ දෙකකින් වුණත් පුතාටත් මටත් සම්මාන ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි.

 

‘ඉරි ඇඳුමේ සැඟවුණ කඳුළ’ යොවුන් නවකතාවට පාදකවූ කෘතිය සහ කතාව ගැන සැකෙවින් කියනවා නම්?

ඊට මුල් වුණේ ජෝන් බොයිනිගේ The Boy in the strip pijama කෘතිය. z මෙහි කතාවට පාදක වී තිබෙන්නේ දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ හමුදා නිලධාරියකුගේ හත් හැවිරිදි පුතා සහ වැටෙන් එහා ඇති නාසි කඳවුරේ සිටින හත් හැවිරිදි දරුවකු අතර ඇතිවන කතාවක්.

නාසි කඳවුරේ සිටින සිරකරුවන් ඉරි පිජාමා ඇඳලා ඉන්නේ. එය ඔවුන්ගේ නිල ඇඳුම. දවසක් හමුදා නිලධාරියාගේ පුතාට කඳවුරේ යාළුවා ඉරි පිජාමා ඇඳුමක් දෙනවා.‍ ඒ ඇඳුමෙන් සැරසුණු දරුවා යාළුවා එක්ක සිර කඳවුර ඇතුළට යනවා. අවාසනාවන්ත විදිහට එදා සිරකරුවන්ව ගෑස් කාමරයක දාලා මරනවා. හමුදා නිලධාරියාගේ පුතාත් ඊට අසුවී මිය යනවා. ඒක තමයි කතාව.

 

The boy in the strip pijama පොත පරිවර්තනයට තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණද?

ඇත්තටම මට මේ පොත ගැන කිව්වේ මගේ රවිඳු පුතා. ඔහු එංගලන්තයේ පදිංචි වෙලා ඉන්නේ.

දවසක් මට කතා කරන විට මේ පොත ගැන කියලා එය පරිවර්තනය කරනවා නම් හොඳයි කියලා කිව්වා. මම ඒ වනවිට පොත කියවලා තිබුණේ නැහැ. ඊට පස්සේ සචිත්‍ර පුතා එය අන්තර්ජාලයෙන් පිටපත් කරලා මට දුන්නා.

එය කියවන විට මටත් ආසා හිතුණා. සිංහල භාෂාවට පරිවර්තනය කරන්න. රවිඳු පුතා ලංකාවට පැමිණෙන විට ඉංග්‍රීසි පොත සහ චිත්‍රපටය අරගෙන ආවා. හැබැයි ඒ වනවිට මම පොත පරිවර්තනය කර අවසන්.

 

ලංකාවේ යොවුන් සාහිත්‍ය තවමත් මඩොල් දූව ආකෘතියෙන් බැහැර වී නැති බව වරක් මහාචාර්යවරයකු පැවසුවා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

මට නම් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ.

 

දේශීය යොවුන් සාහිත්‍ය සහ විදේශීය යොවුන් සාහිත්‍ය අතර ඇති වෙනස්කම් ඔබ දකින්නේ කොයි ආකාරයට ද?

ලංකාවේ යොවුන් සාහිත්‍යයට එකතුවන පොතපත මදි. විදෙස් රටවල්වල යොවුන් සාහිත්‍යයට පොත් රාශියක් එකතු වෙනවා.

ලංකාවේ නවකතා, කවි, කෙටිකතාවලට පොත් එකතු වන විදිහට යොවුන් සාහිත්‍යයට පොත් එකතු නොවීම අඩුපාඩුවක් විදිහට මම දකිනවා.

ඒ වගේමයි නවකතා, කෙටිකතා කවි ගැන කතාබහ කළාට යොවුන් සාහිත්‍ය ක‍ෘති ගැන කතා කෙරෙන්නේ නැහැ. සම්මාන දීමෙන් එහාට යන්නේ නැහැ.

 

වත්මන් යොවුන් පරපුර පොත්පත් කියැවීමෙන් ඈත් වී ඇති බවට චෝදනාවක් නැඟෙනවා. එහි සත්‍යතාවක් තිබෙනවාද?

ඔව්. දැන් පරම්පරාව ඉස්සර තරම් කියවන්නේ නැහැ.

ඊට හේතුව හැටියට මම දකින්නේ දැන් ළමයින්ගේ තිබෙන කාර්ය බහුලකම. ඉස්කෝලේ යනවා, ටියුෂන් යනවා, පාඩම් කරනවා, විභාග පස්සෙ හැල්මෙ දුවනවා. දැන් ළමයින්ගේ ජීවිත ගෙවෙන්නේ ඒ විදිහට.

දැන් ළමයින්ට පොත් කියවනවා තියා කන්නවත් වෙලාවක් නැහැ. සමහර ළමයින්ට අම්මලා කවනවා. තවත් ළමයින් පාසල් යන ගමන් වෑන් රථයේ කෑම කනවා.

ඒ එක්කම රූපවාහිනිය සහ පරිගණකයත් ළමයින්ගේ කියවීම අඩු කරලා.

අද ගොඩාක් දෙනා ස්මාට් ජංගම දුරකථනයෙන් කුමක් හෝ නැරඹීමට, ගීත ඇසීමට පුරුදු වෙලා. අද ළමයින්ට කියැවීමේ පුරුද්ද නැහැ. පුරුද්ද තියෙන ළමයා පාසල් වෑන් රථයෙදිත් පොත් කියවනවා.

මෙවැනි හේතු නිසා වත්මන් පරපුර සාහිත්‍යයෙන් ඈත් වූ කතාවේ ඇත්තක් තිබෙනවා.

 

මෑත භාගයේ මිත්‍යාව රැගත් අද්භූත කතා කෙරෙහි යොවුන් පරපුර වසඟ වූ බව පෙනුණා. එය දේශීය යොවුන් සාහිත්‍යයට බලපාන්නේ කෙසේද?

ඒ කතාවල කිසිම ගැඹුරක් මම දකින්නේ නැහැ. සුලබව දකින්නට ලැබෙන සංත්‍රාසය පමණයි.

ඒ කතාවල ගැබ් වී තිබෙන්නේ. ඒ වගේ ම තමයි එවැනි කතා රැගත් ඉංග්‍රීසි පොත් පරිවර්තනය කිරීමේ රැල්ලකුත් ආවා. එවිට ගුණාත්මක බවින් යුක්ත පරිවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ. එය දේශීය යොවුන් සාහිත්‍යයට හිතකර නැහැ.

 

ඔබේ නම පාඨකයන්ගේ මතකයේ රැඳී තිබෙන්නේ පරිවර්තන ලේඛිකාවක් විදිහට. ස්වතන්ත්‍ර ලේඛිකාවක් විදිහට නොවෙයි. ඊට හේතුව කුමක්ද?

මම වැඩිපුරම පළ කරලා තිබෙන්නේ පරිවර්තන පොත්. ඒ නිසා වෙන්න ඇති මාව පරිවර්තන ලේඛිකාවක් විදිහට මතකයේ රැඳී තිබෙන්නේ.

හැබැයි මම ස්වතන්ත්‍ර නිර්මාණ කීපයකුත් කරලා තිබෙනවා. කෙටිකතා පොත් 2 ක් කරලා තිබෙනවා. ලෝකාවලෝකන ගුවන්විදුලි වැඩසටහනනේ අවුරුදු 5 ½ ක් තිස්සේ මම කළ දිනපොත ‘කිමැයි පවසමි දිවි අරුත’ කියලා පළ කළා. පත්තරවලට ලියපු තීරු ලිපි එකතු කරලා පොතක් මුද්‍රණය කළා.

‘අපේ අම්මා’ කියලා මම නවකතාවක් ලියාගෙන යනවා. මම ස්වතන්ත්‍ර නිර්මාණවල යෙදී සිටින ලේඛිකාවක්.

 

අද ශ්‍රී ලාංකේය පාඨකයන් ස්වතන්ත්‍ර කෘතිවලට වඩා පරිවර්තන කෘති කියවීමට වැඩි නැඹුරුවක් දක්වන බව පෙනෙනවා. ඊට බලපාන හේතුව වශයෙන් ඔබ දකින්නේ කුමක්ද?

විදේශීය කතාවල විවිධ සංස්කෘති, විවිධ පරිසරයන් ගැන කතා කෙරෙනවා. අපේ පාඨකයන් ඒ විවිධත්වයට කැමැතියි.

අපේ රට තුළ දන්නා කියන පරිසරයෙන් මිදිලා, අපේ රටේ හැමදාම හමුවන ඒකාකාරී චරිත වෙනුවට අලුත් චරිත ගැන කියවන්න හඳුනාගන්න කවුරුත් කැමැතියි. ඒ කැමැත්ත නිසා තමයි අපේ පාඨකයො පරිවර්තන කතා කියවන්න පෙලඹී සිටින්නේ.

 

 


ඉංග්‍රිසි ලේඛක ලේඛිකාවන් පොත්වල ප්‍රමිතිය ගැන සැලකිලිමත්

සචිත්‍ර මහේන්ද්‍ර

මෙවර ඔබ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළේ සම්මානයට පාත්‍ර වන විට ඔබේ මව මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ සම්මානයට පාත්‍ර වුණා. ඒ පිළිබඳව ඔබට දැනෙන හැඟීම?

මට සම්මානයක් හිමි වීම ගැන සතුටුයි. හැබැයි අම්මාට සම්මානයක් ලැබීම ගැන මට ඊටත් වඩා සතුටුයි. අපි දෙදෙනාට ම එක ම අවුරුද්දේ සම්මාන හිමි වීම සුවිශේෂ දෙයක් හැටියට මට හිතෙනවා.

 

ඔබ ඉංග්‍රිසි බසින් නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයෙක්. ලංකාවේ ඉංග්‍රීසි බසින් නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයන් සහ සිංහල බසින් නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයන් අතර ඔබ හඳුනාගත් වෙනස්කම් ‍තිබෙනවාද?

සිංහල ලේඛකයන්ට පාඨකයන්ගේ ලොකු වේදිකාවක් තිබෙනවා. ඊට සාපේක්ෂව ඉංග්‍රීසි ලේඛකයන්ට පාඨක වේදිකාව අඩුයි. ඒ නිසා සිංහල ලේඛකයන්ට නිර්මාණකරණයේ හරඹ පෙන්වන්න පුළුවන්. දියුණු වෙන්න පුළුවන්. ඔවුන්ගේ අඩුපාඩු හදාගන්න පුළුවන්. ඉංග්‍රීසි ලේඛකයන්ගේ තත්ත්වය ඊට වඩා වෙනස්.

කෙටියන් ම කියනවා නම් ඉංග්‍රීසි පොත් ප්‍රකාශ කරන්න පොත් ප්‍රකාශකයන් මැළිකමක් දක්වනවා. මම ප්‍රථම වරට පොතක් පළ කළේ 2010 වර්ෂයේදී. එය So It Happened යන කෙටිකතා සංග්‍රහය. එ් පොත මුද්‍රණය කළේ පිටපත් 500 ක් පමණ. ඒ 500 වත් අලෙවි වුණේ නැහැ. ඊට පසුව මම ලියන්න හිතාගෙන හිටපු පොත “දිදුළන දුහුවිල්ල” නමින් මම සිංහලෙන් රචනා කළා. ඒ පොත හොඳින් අලෙවි වුණා. අදටත් එයට ප්‍රතිචාර ලැබෙනවා. මම රචනා කළ සිංහල පොත්වලට ලැබෙන ප්‍රතිචාර ඉංග්‍රීසි පොත්වලට ලැබෙන්නේ නැහැ.

 

ඉංග්‍රීසි පොතපත කියවන ශ්‍රී ලාංකේය පාඨකයන් විදේශීය සාහිත්‍යයට නැඹුරු වන විට, දේශීය ලේඛකයන් රචිත ඉංග්‍රීසි සාහිත්‍යයට ඇති ඉල්ලුම කෙබඳු ද?

ඉංග්‍රීසියෙන් කියවන පාඨකයන් විදේශීය පොත් අරගෙන කියවන්න පෙලඹිලා තිබෙනවා. ලංකාවේ ඉංග්‍රීසි බසින් ලියන අයගේ පොත් කියවනවා අඩුයි. හැබැයි ලංකාවේ නමක් හදා ගත් ඉංග්‍රීසි ලේඛක ලේඛිකාවන් කීප දෙනෙක් ඉන්නවා. තිස්ස අබේසේකර, ජස්ටින් ගුණරත්න, එල්මෝ ජයවර්ධන, අශෝක් ෆේරි; මෑත භාගයේ බිහි වී සිටින චාරුලතා අබේසේකර, ෂෙහාන් කරුණාතිලක, විහඟ පෙරේරා වැනි ලේඛක ලේඛිකාවන්ගේ පොත් කියවන්න පාඨකයන් දෙපාරක් හිතන්නේ නැහැ.

ඊට හේතුව ඒ අයගේ රචනා ශෛලිය ඉතා රසවත්. ඔපමට්ටම් වූ භාෂාවක් තිබෙනවා. ඒ නිසයි ඒ ලේඛක ලේඛිකාවන්ගේ පොත්වලට ඉල්ලුමක් තිබෙන්නේ. ඒ හැරුණු විට සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් ලියන දේශීය ලේඛක ලේඛිකාවන්ගේ පොත්වලට පාඨක අවධානය යොමු වෙනවා අඩුයි. ඊට බලපාන හේතූන් කීපයක් තිබෙනවා. ප්‍රධානම කාරණය තමයි පොත් සංස්කරණය නොවීම. ඒ වගේ ම භාෂාව නිර්මාණාත්මකව යොදන්නේ නැහැ.

අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ වැරදි බහුලයි. ලේඛකයා හිතට එන දේ එක දිගට ලියාගෙන ගිහින් පොත් මුද්‍රණය කරන්න බාර දෙනවා. ඒ නිසා මා සඳහන් කළ අඩුපාඩු සකස් වෙන්නේ නැහැ.

එයින් සිද්ධ වෙන්නේ ලංකාවේ සිටින ඉංග්‍රීසි පාඨකයන් විදේශීය පොත්පත් කියවීමට නැඹුරු වීම.

 

ඔබේ ඉංග්‍රීසි පොත් සංස්කරණය කෙරෙනවාද?

ඔව්. මුලින් ම මගේ තාත්තා සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ද මැල්ට කියවන්න දෙනවා. ඔහු පොතේ වැරදි සහ අඩුපාඩු සකස් කරනවා. ඊට පස්සේ මගේ හිතවත් කීපදෙනකුට දෙනවා. ඒ අය පෙන්වා දෙන අඩුපාඩු මම සකස් කරනවා.

 

ඔබ පවසන ආකාරයේ අක්ෂර වින්‍යාස, ව්‍යාකරණ දෝෂ ඇතුළු ව සංස්කරණය නොවීමේ ගැටලුව ඉංග්‍රීසි පොත්වල පමණක් නොව සිංහල පොත්වල පවා දක්නට ලැබෙනවා. එය ඉංග්‍රීසි පොත්වලට පමණක් ආවේණික ලක්ෂණයක් නොවෙයි නේද?

ඔව්. ඒක ඇත්ත. එය ඇති වෙන්නේ අපේ රටේ ප්‍රකාශකයන් මුහුණපාන ගැටලු නිසා. පොතක සෝදුපත් බැලීම එකක්. සංස්කරණය කිරීම තව දෙයක්. සමහරු මේ දෙකම එකක් හැටියට සලකනවා. පොත් ප්‍රකාශකයන් පොතක් සංස්කාරකවරයකුට දුන්නොත් නිසි පිළිවෙළට සංස්කරණය වගේම ව්‍යාකරණ ගැටලු, විරාම ලක්ෂණ යෙදීම, අක්ෂර වින්‍යාසය සියල්ල සකස් වෙනවා.

ඒත් සෝදුපත් කියවන්නකුට දුන්නොත් අක්ෂර වින්‍යාසය ව්‍යාකරණ, විරාම ලක්ෂණ වැනි අඩුපාඩු පමණයි හදන්නේ. අද සංස්කාරකවරයකුට ගෙවිය යුතු මිල ඉහළයි. එය ගෙවිය යුත්තේ පොත් ප්‍රකාශකයා. පොත් 1000 ක් අලෙවි කර ගන්න බැරි රටක ප්‍රකාශකයන් මුද්‍රණ වියදමට අමතරව එවැනි පිරිවැයක් දරන්න සූදානම් වෙයිද? ඔවුන් සලකන්නේ ඔවුන්ගේ ලාභය. 10% ක කර්තෘ භාගයක් හිමි වන ලේඛකයකුට සංස්කාරක පිරිවැය දෙන්න බැහැ. ඒ නිසා ඉංග්‍රීසි වගේ ම සිංහල පොත්වලත් ගුණාත්මක තත්ත්වය බිඳ වැටිලා.

ලංකාවේ උපන් චිමි තෙන්ඩුෆ් (Chhimi Tenduf - La) එයාගේ පොත් පෙන්ගුවින් සමාගමෙන් ප්‍රකාශයට පත් කරන්නේ අපේ රටේ පවතින අඩුපාඩු නැති කරලා ප්‍රමිතියෙන් ඉහළ පොතක් පළ කර ගැනීමට අවශ්‍ය නිසයි. එවැනි පොත් ජාත්‍යන්තර තලයටත් යනවා.

කොහොම වුණත් ලංකාවේ සිංහල සංස්කාරකවරුන්ට සාපේක්ෂව ඉංග්‍රීසි සංස්කාරකවරුන් අඩුයි. ඒ හිඟකමත් ඉංග්‍රීසි පොත් සංස්කරණය නොවීමට බලපානවා. ඒ නිසා අපේ ඉංග්‍රීසි පාඨකයෝ විදේශීය පොතපත කියවන්න පෙලඹෙනවා. ඒත් සිංහල පාඨකයන්ට වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා සිංහල පාඨකයන්ට පොත මොන තත්ත්වයෙන් තිබුණත් කියවන්න සිද්ධ වෙනවා.

 

ලෝක සාහිත්‍යයයේ දක්නට ලැබෙන නව ප්‍රවණතා ඉංග්‍රීසි බස හසුරුවන ශ්‍රී ලාංකේය ලේඛක ලේඛිකාවන් ග්‍රහණය කර ගැනීම කොතෙක් දුරට සිදු වෙනවා ද?

ආකෘතියේ හැඩතල මොනවා වුණත් සාහිත්‍යයෙන් සිද්ධ වෙන්නේ කතාන්දර කීම. සිංහල සාහිත්‍ය ගත්තොත් සද්ධර්මරත්නාවලියේ කතුවරයා වන ධර්මසේන හාමුදුරුවන් කළේ කතාන්දර කීම. අද ලේඛකයන් කරන්නෙත් ඒ දේ. මූල බීජය තිබෙන්නේ පැරණි සාහිත්‍යයයේ.

පාඨකයා හැමදාම කතාන්දර අහන්න කැමතියි. වෙනස තිබෙන්නේ එදා පොත වෙනුවට අද ස්මාට් ජංගම දුරකථන පැමිණීම. ඒ නිසා බොහෝ දෙනෙක් පැරණි සාහිත්‍යයෙන් ආභාසය ලබනවා. ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා අත්හදා බලන ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම විලියම් ෂේක්ස්පියර්, ජෙෆ්රි චෝසර් වැනි පැරණි ලේඛකයන්ගේ ශෛලිය පාවිච්චි කරන ලේඛකයනුත් ඉන්නවා.

 

ලංකාවේ ඉංග්‍රීසි ලේඛකයන්ට හිමි ඉඩකඩ කොහොමද?

මම මීට පෙර පැවසූ පරිදි ඉංග්‍රීසි පාඨක වේදිකාව හරිම පොඩියි. නවකතා, කෙටිකතා යන ශානරවලට අමතරව ඓතිහාසික සිද්ධි, අපදාන ලියන ඉංග්‍රීසි ලේඛකයනුත් සිටිනවා.

ඓතිහාසික තොරතුරු ගවේෂණය කර ඔවුන් රචනා කරන පොත් විදේශිකයන්ට අලෙවි කිරීමට හැකි වී තිබෙනවා. ඒ පොත් උසස් තත්වයෙන් පළ වෙනවා. එය ඉතා හොඳ දෙයක්. ඒ වගේම රාජ්‍ය සාහිත්‍ය සම්මානයට අමතරව ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ග්‍රේෂන් සම්මානය ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් බිහි වී තිබෙන නිසා වර්තමාන ඉංග්‍රීසි ලේඛක ලේඛිකාවන් පොත්වල ප්‍රමිතිය පවත්වා ගැනීමට සැලකිලිමත් වෙනවා. එය ලංකාවේ ඉංග්‍රීසි ලේඛකයන් ගැන වගේම ඉංග්‍රීසි සාහිත්‍ය ගැන සතුටු විය හැකි කාරණාවක්.

 

 

අදහස්