සිය කතා­වල චරිත සේම සංකීර්ණ දස්ත­යෙව්ස්කි | Page 2 | සිළුමිණ

සිය කතා­වල චරිත සේම සංකීර්ණ දස්ත­යෙව්ස්කි

විශ්ව සාහිත්‍යයේ එන සංකීර්ණ මනෝභාවයක් ප්‍රකට‍ කළ සාහිත්‍යකරුවන් අතර දස්තයෙව්ස්කි ප්‍රමුඛස්ථානය ගනී.‍ ඔහුගේ චරිතය තුළ ජීවන චරිතාංග ගණනාවක් අන්තර්ගත විය‍.

විටෙක සෞම්‍ය කල්පනාබර පුද්ගලයකු ලෙසත් විටෙක අතිසංවේදී මානව දයාව පිරි අයකු ලෙසත්, තවත් විටෙක සුදු අන්තුවකු ලෙසත්, කාමුකත්වයෙන් පිරී ඉතිරුණු අයකු ලෙසත්, අධික ණය බරින් මිරිකී චංචල මනෝභාව ප්‍රකට කළ අයකු ලෙසත්, විප්ලවවාදියකු, සිරකරුවකු, මරණයට නියම වී අවසානයේ ඉන් ගැලවුණු කම්පිත අයකු, මනෝවිපරීත තත්ත්වයට හා අපස්මාරයට ගොදුරු වූවකු ලෙසත් දස්තයෙව්ස්කිගේ ජීවිත භූමිකාව පුළුල් මනෝභාව සිසාරා පැතිර යයි.

වයස නවයේදී දස්තයෙව්ස්කි අපස්මාර රෝගයෙන් පීඩා වින්දේ ය. ඔහු තම නවකතාවල චරිතවලට ද මේ රෝගයෙන් පීඩා විඳින චරිත ඇතුළත් කළේ ය. The idiot හා The Brothers Karamazov යන නවකතා ද්විත්වය පසුකලෙක වඩාත් ජනප්‍රිය වූයේ දස්තයෙව්ස්කි මුහුණ දුන් සැබෑ ජීවිතයේ අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි.

තරුණ කාලයේදී ඔහු සාහිත්‍ය, ගණිතය, රුසියන් භාෂාව ඉතා බුහුටි ලෙස උගත්තේය. 1841 දී ඔහු කොමිෂන් ලත් නිලධාරියකු බවට පත් විය. ඔහු හමුදාවේ ලුතිනන් පදවියට ද පත් විය.

හමුදා ජීවිතයට සමුදී 1844 දී ඔහු ස්වතන්ත්‍ර කෘතියක් රචනා කළේ ය. Poor Folks අසරණ මිනිස්සු ඔහුගේ ප්‍රථම නවකතාවයි. කුඩා කල සිට ම අපස්මාරයට හා මනෝ විපරිතයන්ට මුහුණ දුන් ඔහුගේ ප්‍රථම කෘතිය එවකට රුසියාවේ ප්‍රකට විචාරකයකු වූ බෙලින්ස්කි වඩාත් අගය කළේ ය.

සුරාධූර්තයකු වූ දියෙවුෂ්කිගේ චරිතය මේ නවකතාවෙන් විකාශනය වෙයි. දස්තයෙව්ස්කි ද බේබද්දෙකි.

සමාජ ප්‍රතිසංස්කරණ පිලක් සමඟ එකතු වී රහස් සාකච්ඡාවල නිරතවීම හේතුවෙන් දස්තයෙව්ස්කි 1849 අප්‍රේල් 21 දින සයිබීරියාවේ සිර දඬුවමත් සමඟ මරණීය දණ්ඩනයට යටත් කරන ලදී. සාර් පාලනයට එරෙහිවීම හේතුවෙන් ඔහුට වද වේදනාවලට ලක්වීමට සිදුවිය.

මරණීය දණ්ඩනයට යටත්ව සිටි නිමේෂයේ දී ඔහුට හදිසියේම නිදහස ලැබිණි. මේ භයංකර අත්දැකීම පසුකලෙක ඔහුගේ නිර්මාණ එකලු කිරීමට සමත් විය. සයිබීරියාවේ සත්වසක් සිරදඬුවම් විඳි කාලය තුළ ඔහුගේ නිර්මාණ ශක්තිය වැඩිණි.

සිරෙන් නිදහස් වී පැමිණ Humiliated and the insulted කෘති‍යක් 1862 දී Notes from Dead House කෘතියත් ඔහු ලියා පළ කළේ ය.

දස්තයෙව්ස්කිගේ මනෝභාව අන්තයට ම පිරිහු‍ණේ 1864 වසරේ දී බිරිය මිය යෑමත් සොහොයුරා මිය යෑමත් සමඟ ය.

මේ කාලයේ ඔහුට මානසික ආතතිය වැලඳිණි. අධිකව නිදිවැරීම, මත්පැන් පානය, නිසාත් ඔහු සොයා මානසික ආතතිය හොල්මන් කරන්නට විය.

අධික ණය බරින් මිරිකුණු ඔහු ඒ ණය ගෙවීමට තවත් ණය වූයේ ය. සූදුවට ලොල් වූ ඔහු එයින් ද පරදින්නට විය. මුදල් සොයන්නට ප්‍රකාශකයන්ගෙන් මුදල් ණයට ගෙන එකහුස්මට මහා නවකතා ලියන්නට විය. තම බිරියගේ මඟුල් ඇඳුම උකසට තබා ඔහු සූදු කෙළියේය. අසරණ ස්ත්‍රීන් හා රමණයේ යෙදුණේ ය. මිතුරන්ගෙන් මුදල් ණයට ගෙන මිතුරන් මඟහැර ගියේ ය. ඔහුගේ ජීවිතය එකම අවුල් ජාලාවක් බවට පත්ව තිබිණි.

ඉතා පහත් අන්දමින් මිතුරන් පාවා දුන්නේ ය; කේලාම්වලට මැදි විය; බොරු කියා ණයකරුවන් මඟ හැරියේ ය.

තවත් විටෙක මුදල් ලැබුණු විට සාක්කුවල මුදල් පුරවාගෙන ගොස් අසරණයන්ට සියල්ල බෙදා දුන්නේ ය; අසරණ මිනිසුන්ට සියල්ල දුන්නේය.

මේ සංකීර්ණ මනෝභාව මැද ග්‍රන්ථකරණයේ ද නියුක්ත විය. ගැහැනුන්ට බලාපොරොත්තු දී මඟ හැරියේ ය. ණය කාරයන්ගෙන් බේරීමට මාන බැලීය‍.

ඔහුගේ මේ සංකීර්ණ මනෝභාවයන් බෝධිසත්ව චරිතයක ගුණරුව පෙන්වන කරමසෝ සහෝදරයෝ කෘතියේ අල්යොසා කරමසෝගේ චරිතයෙන් ද දිමිත්‍රිගේ චරිතයෙන් ද ප්‍රකට වෙයි. මේ චරිතයන්ගේ මනෝභාව ඉතා සූක්ෂ්ම ලෙස ඔහු නිර්මාණය කෙළේ ය.

මෙතරම් සංකීර්ණ මනෝභාවයන් ප්‍රකට කළ ද ඔහුගේ මහාප්‍රාඥ යුගපුරුෂයකුගේ චරිතාංගවලට එයින් හානියක් නොවිණි. තම මවුරට ගැනත් තම දුක් විඳින අසරණ ජනයා ගැනත් ඔහු ඉතා සංවේදී ව කතා කළ අතර නව නවකතාවල ප්‍රතිවිරුද්ධ විවිධ චරිත මැවීමට ඔහු තරම් සමතෙක් විශ්ව සාහිත්‍යයේ නැති බව ප්‍රකට කළේ ය.

සූදුවෙන් පරාජය වී, ගැහැනුන්ගෙන් සල්ලම්වී සිටිය ද කාන්තා සමාගමය ද ඔහුගේ මනෝභාව සුවපත් නොකළ අතර ඔහුගේ මනසට විවේකයක් ද නොවීය.

දස්තයෙව්ස්කිගේ සංකීර්ණ චරිත ලක්ෂණ ද එසේ නොවන ඒවා ද ඔහුගේ නවකතා චරිත තුළින් ප්‍රතීයමාන වන අතර ඔහු මානසික ව්‍යාධියකින් පෙළී සිටි බව ද නොරහසකි.

පසුකලෙක දස්තයෙව්ස්කිගේ නවකතා පිටපත් කරන ලද්දේ ඇනා විසිනි. ඇනා ඔහුගේ ආදරණීය දෙවන බිරිය බවට පත් ව සිටියාය. වචනයේ පරිසමාප්ථාර්ථයෙන් පවසතහොත් ඇනා දියමන්තියක් සේ අගනා පූර්ණ කාන්තාරත්නයකි.

ඇනා තම සැමියාගේ ‍සියලු කටයුතු ඉටු කළා ය. මවක මිතුරියක සොයුරියක මෙන් මේ ලේඛකයා බලා ගත්තේ ය. ඇනා මේ ලේඛකයාගේ ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් විය.

මෙතෙක් ණය බරින් පීඩිතව, දූ කෙළියෙන් පරාජිතව, මනෝභ්‍රාන්තියෙන් යුතුව එකහැල්මේ මහා නවකතා ලිවීමට වෙහෙසුණු දස්තයෙව්ස්කිට විවේකයක් ලැබුණේ ඇනාගේ සමාගමය නිසා ය.

කරුණාව ඉතිරෙන දයාන්විත මවකගේ ලේඛකයා රැකබලාගත් ඇනා ඔහුගේ ණය ගෙවන්නට මහන්සි ගත්තා ය. ටිකෙන් ටික ඔහුගේ ණය ගෙවා දැමූ ඇනා ඔහුට යහපත් ජීවිතයක් උරුම කළා ය.

අපරාධය හා දඬුවම නවකතාව දස්තයෙව්ස්කි ලියන ලද්දේ ශාන්ත පීටස්බර්ග්හි මිනීමැරුමක් අළලා ය. එහි ප්‍රධාන චරිතය වන රස්කොල්සකොව්ගේ චරිතයේ චිත්ත චෛතසික ගැටුම් දස්තයෙව්ස්කි ඉතා සූක්ෂ්ම ලෙස ප්‍රතිනිර්මාණය කර තිබිණි. ඔහුගේ මහා නවකතා අත්පිටපත් නිවැරදි ලෙස සකසන්නට ඇනාගෙන් මනා පිටුබලයක් ලැබිණි. The Brothers Karamazov කෘතිය දස්තයෙව්ස්කිගේ ශ්‍රේෂ්ඨතම කෘතිය ලෙස විචාරකයෝ දකිති.

ඉතා ප්‍රචණ්ඩ චරිතයක් වූ දිමිත්‍රි කරමසෝගේ චරිතය දස්තයෙව්ස්කි නිරායාසයෙන් කදිමට නිර්මාණය කළේ ය.

දස්තයෙව්ස්කි මේ මහා නවකතාවෙන් රුසියාවේ ජරාජීර්ණ බවත්, විවිධ චරිතවල මනෝවිපරීතයන්, දීප්තිමත් අදහස් ඇති කරවන රුසියාවේ නව පරපුරත් ගැන කියයි.

දිමිත්‍රි කරවසෝගේ චරිතයෙන් අශ්ලීල බවත්, දෙවැනියා වූ ඉවාන් තුළින් මානසික විපරීත බවත්, බාලයාවූ අල්යොසාගේ චරිතය තුළින් දාර්ශනික බවත්, දේශමාමකත්වයන්, ආචාරශිලී බවත් අනාගත රුසියාවේ සුබවාදී දීප්තියත් රචකයා දකියි. දස්තයෙව්ස්කිගේ අනාගත රුසියාවේ දීප්තිය පෑන් තුඩට ගලා ආවේ ඇනාගේ කරුණාබර දයාවන්විත වදන් අතරිනි.

දෙවන බිරිය වූ ඇනාගේ සමාගමය නිසා උදා හිරුකිරණ වැතිරෙන, පිනිබිඳු රැඳි වනාස්ටෙප්ස් තැනිතලාවේ සුන්දරත්වයත් පසත් උණුසුම් හදවත් ඇති මිනිසුන්ගේ දීප්තියත් ලේඛකයාගේ පෑන් තුඩට ගලා ආ නව ප්‍රගතිශීලී අදහස් ප්‍රපංචය බවට පත්විය.

අවසාන කාලයේදී දස්තයෙව්ස්කිට සැනසුම ලැබුණේ ඇනාගේ අප්‍රතිහත කැපවීම හා දයාන්විත හදවතට පින්සිදුවන්නට ය.

මේ නිසා චිත්ත චෛතසික ගැටුම්වලින් ද විපරිත මනෝ භාවයන්ගෙන් ද ගැළවීමට ඔහුට අවස්ථාව උදාවිය.

උසස් කාන්තා රත්නයක සමාගමය මේ මහා ප්‍රාඥයාට සැනසුම් සිසිල ළඟා කළේ ය. චිත්තාකර්ෂණීය ජීවිත හැඟුම් උද්වහනය කළේ ය.

 

Comments