අර­ක­විල නර්තන හා නාට්‍ය පද­නම 10 වසර සැම­රුමේදී ජානකී හිල් හමු­ වීම | සිළුමිණ

අර­ක­විල නර්තන හා නාට්‍ය පද­නම 10 වසර සැම­රුමේදී ජානකී හිල් හමු­ වීම

හොරණ පළාතේ ඉංගිරිය හා පාදුක්ක කුඩා නගර අතර හමුවන අරකවිල සුන්දර ගම්මානය ඉන්ද්‍රචාපගේ සමීපරූපයට හසු වේ. ඒ සමගම බොහෝ කලකට පෙර වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නිෂ්පාදන සමග (ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව, පොලීනා නාට්‍යය) හමුවුණු ක්‍රියාකාරිනියක වූ ජානකී එදිරිසිංහ යෞවනියගේ සමීපරූපය ද ඉන්ද්‍රචාප දකී. එහෙත්, ජ'පුර සරසවියේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාවේ දී ශිෂ්‍යාවක ලෙස ඉන්ද්‍රචාපට ඈ හමුවන්නේ ජානකී හිල් නමිනි.

ඈ ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක පීටර් හිල් සමග විවාහ වී ඇති බව පසුව දැනගතිමි. ජානකී හිල් තම ස්වාමියා, පීටර් සමග ඉන්ද්‍රචාපට අරකවිල රංග නිකේතනයක දී හමුවේ. ඒ ඔවුන්ගේ නර්තන හා නාට්‍ය පදනමේ (Arakawila Dance & Theatre Foundation) වාර්ෂික උලෙළ කිහිපයක දී ය.

ඉන්ද්‍රචාපගේ මිතුරන් වන මහැදුරු ගංගනාථ, නිශ්ශංක දිද්දෙණිය, සමන් අතාවුදහෙට්ටි, රවිබන්ධු විද්‍යාපති ආදීන් සමග, අරකවිල දී පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලයේ දී ඉංගිරිය නවරංගශාලාවේ දී හමු වූ උලෙළ සමීපරූප ඉන්ද්‍රචාප දකී. පසුගිය සති අන්තයේ ඉංගිරිය නවරංග ශාලාවේ දී මිත්‍ර රවිබන්ධු සමග ඉන්ද්‍රචාප ජානකී පීටර් යුවළ හමුවූයේ ඔවුන්ගේ නර්තන හා නාට්‍ය පදනමේ දසවන සංවත්සර උලෙළට සහභාගීවන්නට ලද ඇරියුම නිසාය.

කොළඹ සිට ඉංගිරිය තෙක් ද යළි මාලබේ තෙක් ද ආ ගිය ගමනේ දී රවී, සමන්ති සමග අප තිදෙනා ජානකී හා අපගේ සම්බන්ධයේ අතීතාවර්ජනයකට පිවිසුණු බව ද ඉන්ද්‍රචාපට මතකය.

ජානකී වෙනස්ම ගති පැවතුම්, ආකල්ප ඇති දිරිය කාන්තාවක් බව මා රවි සමග පැවසූයේ ඈ පීටර් හිල් වැනි විදේශිකයකු, දවැන්ත චරිතයක් සතු වූවකු හා විවාහ වූව ද ඈ විසින් තම උපන් ගමට, ඒ අවට ජීවත්වන දූ දරුවන් යෞවන යෞවනියන්ගේ සැඟවුණු කලා කුසලතා සොයාගෙන ඒවා නිසියාකාරව, වර්ධනය කර ගැනීමට අවශ්‍ය ශිල්පීය ඥානය ප්‍රාමාණික දැනුමැති ආචාර්යවරුන් ලවා ලබා දෙමින් පුරා දස වසරක් තිස්සේ ලබාදුන් ඇගේ දායකත්වයේ අගය පිළිබඳවය.

පීටර් හිල් වැනි ධනවත්, විදේශීය වෘත්තිකයකු සමග විවාහ වූ සාමාන්‍ය ශ්‍රී ලාංකික ස්ත්‍රියක නම්, ඔහු සමග එක්වී විශාල ආදායමක් සොයාගත හැකි හෝටල ව්‍යාපෘතියක් හෝ එවැනි ව්‍යාපාරයක් සඳහා ඔවුනගේ ධනය ආයෝජනය කරනු නිසැකය. එහෙත් ජානකී හා පීටර් දෙදෙනා ඒ වෙනුවට, කිසිදු ආර්ථික ලාභයක් නොලබන මෙවැනි කලා හා සංස්කෘතික ව්‍යාපෘතියක් වෙනුවෙන් කර ඇති විශාල මුදල් ආයෝජනය ඇදහිය නොහැකිය. ජානකී වෙනස් ගැහැනියක ලෙස ඉන්ද්‍රචාපගේ සමීපරූපාවලියෙහි ඇඳෙන්නේ එබැවිනි.

ජානකී ඇගේ උපන් බිම අරකවිල ගම්මානයේ අක්කර තුනක පමණ බිමක වසර දහයකට පෙර ඇරැඹූ කලාගාරය ඔවුන් දෙදෙනාගේ ස්වධන ආයෝජනයෙන් පවත්වා ගෙන යනු ලබනවා පමණක් නොව වාර්ෂිකව මෙම ආයතනය මගින් අපගේ කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයන්ට ප්‍රදානය කරනු ලබන නෙක නිර්මාණ සමූහය ද ඉන්ද්‍රචාපගේ සිත් පැහැර ගන්නා බව සමීපරූපයට පෙනේ.

ඈත ගමක ජීවත්වන කිසිදා කොළඹ අගනුවර හෝ නිසි ලෙස දැක නැති ගැමි දූ පුතුන් අගනගරයේ මහා රඟහලකට කැඳවා විත් තම කුසලතා සිදාදියේ මහා කලාකරුවන්, විචාරකයන්, සහෘදයන් හමුවේ ප්‍රදර්ශනය කරන්නට ඉඩ හසර සලසා දීම වෙනුවෙන් ජානකී පීටර් දෙපොළට කෘතවේදී වන්නේ කෙසේදැයි ඉන්ද්‍රචාපට නොහැඟේ. පටාචාරා, රඟනිකා (Island of Dance) හා සකළ කසළ වැනි දැවැන්ත රංග කාර්යයන් ඔවුන්ගේ දස වසක නිර්මාණ අස්වැන්නේ කඩඉම් කිහිපයක් පමණි.

අගනුවර මතු නොව ලොව දැවැන්තම කලා උළෙලක් වන ස්කොට්ලන්තයේ එඩිම්බරෝහි ෆ්‍රින්ජි කලා උලෙළ සඳහා අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ සිසු සිසුවියන් 18 දෙනකුගෙන් යුතු කණඩායමක් 2009 දී එඩිම්බරෝ බලා පියාසර කරනු ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර වේ.

රුපියල් මිලියන 14 වැනි විශාල මුදලක් ජානකී හා පීටර් දෙපොළගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා යොදා ගනු වෙනුවට, ඔවුහු රඟනිකා පිරිස එතෙරට රැගෙන යාමට යොදාගත්හ. අරකවිල වැනි ඈත ගමක දරු දැරියෝ උඩු ගුවනින් ඒරොප්පෙට ගෙන යාමෙන් ජානකීට හා පීටර්ට කුමන මූල්‍ය ප්‍රතිලාභයක් ද? ඔවුන් දෙදෙනා ලද ආත්ම තෘප්තිය පොදුවේ මෙරට කලාව වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක ප්‍රථිඵලයක් ලෙස ඉන්ද්‍රචාප දකී.

අදහස්