කුසුම් හදන සලා­දෙට මම හරිම කැමැ­තියි - ශ්‍රියන්ත | සිළුමිණ

කුසුම් හදන සලා­දෙට මම හරිම කැමැ­තියි - ශ්‍රියන්ත

කුසුම් රේණු - ශ්‍රියන්ත මෙන්ඩිස්, මේ දෙන්නා ගැන ඔවුන්ගේ කලා කටයුතු ගැන බොහෝම දේ කතා බහ කළ අවස්ථා ඕනෑ තරම් ඇති. ඒත් කවුරුත් කතා නොකරන ඔවුන්ගේ ජීවිතයේ රසමුසු තැන්, ආදරණීය මතකයන් සොඳුරු සැමරුම් බවට පත්වන්නේ හරිම අපූරුවට.

ඇත්තටම කුසුම් - ශ්‍රියන්ත කාර්ය බහුල බවත් සමඟ ගැටෙන නිසා බොහෝ විට තමන්ගේ කැදැල්ලේ නිදැල්ලේ හිඳින්නට වෙලාවක් නැති තරම්. මේ‍ දෙදෙනා එකම වෙලාවට නිවෙසේ රැ‍ඳෙන්නේ කලාතුරකින්.

සමහර දිනවල කුසුම් ෂූටිංවලට ගිහින්. ශ්‍රියන්ත ඒ වෙලාවට තවත් තැනක ෂූටිං. මේ අවිවේකයත් එක්ක ලැබෙන විවේකය ඔවුන් දෙන්නට හරිම අස්වැසිල්ලක්.

කුසුම් ගෙයි ශ්‍රියන්තගෙයි කැදැල්ල සෙනෙහසින් පිරී ඉතිරී ගිය කැදැල්ලක්.‍ ආදරයෙන් හැදූ වැඩූ දරුවන් ලොකු මහත් වෙලා කූඩු තනාගෙන ඉගිළ ගිහින්. ඒ හින්දද මන්දා පුංචි පාළුවක්, හුදෙකලා බවක් කැදැල්ල තුළ ඉතිරිවෙලා.

ඒත් ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් දුක සැප බෙදා ගනිමින් සෙනෙහස විඳගනිමින් තම කැදැල්ලේ ලැගුම් ගෙන සිටින අපූරු සැන්දෑවකයි අප ඔවුන්ගේ නිවහනට ගොඩවැදුණේ.

“ඔන්න ඉතින් අද තමයි කාලෙකින් අපි දෙන්නට පොඩි විවේකයක් ලැබුණේ. හැබැයි මේ වගේ වෙලාවක් අපට හරිම විශේෂයි. මොකද අපි දෙන්නා එකතු වෙලා කටට රහට කෑම වේලක් හදාගෙන කන්නේ මේ වගේ වෙලාවටනේ.

ශ්‍රියන්ත ආදරණීය බැල්මකින් කුසුම් දෙස බලමින් කියයි.

“ඒ කියන්නේ කුසුම්ට රසට කෑම හදන්න පුළුවන්?”

“අපොයි ඔව් කුසුම් හදන කෑම මට ඉස්තරම්.”

“කන්න බැරි වෙලාවල් එහෙම නැද්ද. ඒ කියන්නේ ආදරේ වැඩිකමට ලුණු - මිරිස් එහෙම වැඩිවුණු අවස්ථාවල්?”

“එහෙම වෙලා නැහැනේ - නේ?” ශ්‍රියන්ත කුසුම් දෙස බලයි.

“අනේ නෑ. නෑ. මොකද අපි දෙන්නම එකතු වෙලානේ කෑම හදන්නේ.”

“කුසුම් කෑම හදනකන් මං ආදරෙන් ළඟට වෙලා බලාගෙන ඉන්නවා. එතකොට ඉතින් හදන කෑමවල රසත් වැඩිවෙනවනේ.”

“ඔව්... ඔව්... එහෙම හිතමුකෝ” කුසුම් කිව්වේ හිනාවෙවී‍.

“මටත් ඉතින් ඔය පරිප්පු ටිකක් සම්බෝලයක් වගේ දෙයක් හදාගන්න පුළුවන්. ඒ කුසුම් උයන හැටි බලාගෙන ඉඳලා.”

“ඔව්... මෙයා හදන කෑමත් රසයි. හදිසි අවස්ථාවකට ඒකත් හොඳ විසඳුමක්නේ.”

“හුඟක් වෙලාවට ඉතින් කඩෙන් තමයි කන්න වෙන්නේ නේද?”

“ඔව් ඒකනම් එහෙම තමයි. ඒක නිසා ඉතින් ගෙදර ඉන්න දාට බඩ පිරෙන්න රසට කෑම වේලක් කනවා.”

“ශ්‍රියන්ත වැඩියෙන් කැමැති මොන වගේ කෑමවලටද?”

“මම වැඩියෙන් ම කන්න කැමැති ගමේ කෑම කොස්, පොළොස්, කෙසෙල් මුව, පලා ජාතිවලට හරිම කැමැතියි. මං ඔය දුර පළාත්වලට ගියාම ගමේ එළවළු ජාති අරගෙන එනවා. ළඟදී ගෙනාවා කැරන්කොකු කියලා ගමේ පලා ජාතියක්. බළන්ගොඩ පැත්තෙන්. මම ගෙනාවම කුසුම් රසට හදලා දෙනවා. ඇත්තටම දැන් තියෙන විච්චූර්ණ කෑමවලට වඩා රතු හාලේ බතුයි පොල් සම්බෝලයි හදලා කරවල ටිකක් තෙල්දාලා ගත්තහම ඉතින් රස නහර පිනා යන දිව්‍ය බොජුනක් වගේ තමයි.”

“ඔන්න එහෙම නම් පොඩි ප්‍රශ්නයක්. ශ්‍රියන්ත කැමැති කුසුම් වැඩියෙන් ම රසට හදන කෑමක් තියෙනවද?”

“තියෙනවා. තියෙනවා. කුසුම්... මං කියන්නද?” ශ්‍රියන්ත කුසුම් දෙස බලා කිව්වේ ආදරෙන්.

“හා ඉතින් කියන්නකෝ”

“හරිම රසයි අපේ කුසුම් හදන සලාදේ. ඒක මේ නිකං සලාදයක් නෙමෙයි. අලුත් එළවළු දාලා හදන රස සලාදයක්.

මං ගෙදර ඉන්න දාට කුසුම් ඔය සලාදේ හදනවම තමයි‍. මෙයාගේ සලාදේ නැත්නම් ඉතින් වැඩක් නෑ‍... නේද කුසුම්?”

“ඇත්තද කුසුම් ශ්‍රියන්ත කියන්නේ?”

“ඔව් කතාව ඇත්ත. ශ්‍රියන්ත මම හදන සලාදෙට ගොඩාක් කැමැතියි. ඒ නිසා එයා ගෙදර ඉන්න වෙලාවට එළවළු සලාදේ වරදින්නේ නෑ.”

“ඔය තරමටම රසට හදන සලාදේ ගැන අපි අනිත් අයට කියමුකෝ.”

“ඒ සලාදේ ඉතින් මට විතරයි” ශ්‍රියන්ත හිනැහෙමින් කියනවා.

“ඒ ඉතින් ඉරිසියාවට.”

“කමක් නෑ එහෙනං කියන්නකෝ. ඔන්න ලියාගන්නකො අපේ කුසුම්ගේ සලාදේ.

මේ සලාදේ හදන එක හරිම ලේසියි. ඒත් රස වැඩි කරගන්න නම් ටිකක් මහන්සි වෙන්න ‍‍ඕන. මම එළවළු සලාදෙට එළවළු ජාති කීපයක්ම එකතු කරගන්නවා. අපට කැමැති එළවළුවක් ගන්න පුළුවන්.

මේ සලාදෙට තක්කාලි සහ කොළ ඇපල් දැම්මම තවත් රසයි. ලියාගත්ත බී ලූනු, ලියාගත්ත අමුමිරිස් ටිකක් නැත්නම් බෙල් පෙපර් වුණත් ගන්න පුළුවන්. ගම්මිරිස් කුඩු ටිකක් - සලාද කොළ, දෙහි ඉස්ම ටිකක්, උම්බලකඩ ටිකක්, ලුණු ටිකක් ඕන වෙනවා.

මම මුලින් ම කරන්නේ එළවළු ජාති ලුණු වතුරෙන් හොඳින් සෝදා ගන්න එක. ඊට පස්සේ එළවළු ටික තරමක කෑලිවලට කපනවා. තත්කාලි කොටුවලට කපලා දානවා. කොළ ඇපල් ටිකත් පොඩි කෑලිවලට කපලා දානවා.

සලාද කොළ ටික අතින් තරමක කෑලිවලට කඩලා කපාගත්ත එළවළු ටිකට දානවා. සලාද කැපුවොත් ඒකේ තියෙන විටමින් විනාශ වෙන නිසා සලාද කොළ අතින් කඩලා දාන එකයි වැඩිය හොඳ.

ඊට පස්සේ හීනියට ලියාගත්ත ලූනු, මිරිස්, උම්බලකඩවලට ලුණු, ගම්මිරිස්, දෙහි ඉස්ම දාලා හොඳින් පොඩිවෙනකන් අතගානවා. කෑමට ගන්න වෙලාවට මේ ලුණු මිශ්‍රණය කපාගත්ත එළවළුවලට දාලා කලවම් කරගන්නවා. මුලින් රස පදමට අනාගත්ත ලූනු මිරිස් ටික සලාදෙට දාලා කලවම් කළාම හරිම රසයි. එහෙම නැතුව එළවළුවලට ඒ ඔක්කොම දාලා පොඩි වෙනකන් ඇනුවොත් සලාදේ රසකුත් නෑ ගුණත් නෑ.

අපේ කුසුම් ළඟ තියෙනවා රස රහස්. අහගන්නකෝ.

“අපි හුඟක් වෙලාවට කෑමට පලතුරු එකතු කර ගන්නවා. පලතුරු වැඩියෙන් තියෙන කාලෙට දිවුල් නම් මඳ ටික සූරලා භාජනයක දාලා මම ෆ්‍රීසර් එකේ ති‍ෙයනවා. ඕන වෙලාවට හදා ගන්නවා. දෙහි මිරිකලා අයිස් කැට වගේ සෙට් කරලා තියාගන්නවා. මහන්සි වෙලා ආව වෙලාවට දෙහි කියුබ් දෙක තුනක් වතුරට දාගෙන බොනවා.

තව ඉතින් අපි කොමඩු ගෙනාවම ඒකේ උඩ පොත්ත විතරක් අයින් කරලා කොළපාට කොටසයි ඇටයි එක්කම බ්ලෝසර් කරලා බොනවා. හුඟක් අය කොමඩු මදේ කොළ පාට කොටස අයින් කරනවා. ඇටත් අයින් කරනවා. නමුත් ගුණේ තියෙන්නේ කොළපාට කොටසේ.” කුසුම් පලතුරුවල රස රහස් කියන්නේ හරිම ආසාවෙන්.

“අපි කෑම හදාගන්නකොට රසය ගැන වගේම ‍ගුණය ගැනත් බලනවා. අපි ඉඩ තියෙන විදිහට අපේ පුංචි වත්තේ එළවළු ටිකත් මිරිස් ටිකත් ගොටුකොළ ටිකකුත් වවාගෙන තියෙනවා. අපි දන්නවා අපි වවාගත්ත දේ අපට විස නෑ කියලා. මල් වවනවා වගේම මල් පෝච්චිවල එළවළු ටිකක් කරපිංච ගහක් මිරිස් පැළ ටිකක් වවා ගෙන ගෙදර කෑමට ගන්න කියලයි මම හැම කෙනෙකුටම කියන්නේ” කුසුම් ආදරණීය රසිකයන්ට අවවාදයකුත් දෙනවා‍.‍

“ඉතින් කොහොමද මේ දවස්වල කලා කටයුතු?”

“ටෙලි නාට්‍ය කීපයකම මේ දවස්වල රූගත කිරීම් වලට සහභාගි වෙනවා. චිත්‍රපට කීපයකටත් දායක වුණා‍. නව පරපුරේ ශිල්පියෙකුගේ ටෙලිනාට්‍යයකටත් සම්බන්ධ වුණා. වේදිකාවේ නාට්‍යවලටත් මේ අතරතුර සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා. සයිමන් නවගත්තේගම මහත්තයාගේ සුබ සහ යස, සුදු සහ කළු වගේ නාට්‍ය.

පාසල්වල කලා උලෙළ බොහොමයකට මට ආරාධනා ලැබෙනවා දේශනවලට. මම අද උදේ මීගමුවේ ලොයෙලා විද්‍යාලයේ කලා උලෙළකට සහභාගි වුණා. පොඩ්ඩක් ඉන්නකෝ.”

හදිසියේ යමක් මතක් වූවාක් මෙන් ශ්‍රියන්ත නැගී සිටියි. ‍ඔහු යළිත් අප අතර එන්නේ ඔහුගේම පිළිරුව ඇති අපූරු සිත්තමක් සමඟින්.

“බලන්නකෝ මේ ලොයෙලා විද්‍යාලයේ ඉගෙන ගන්න දරුවෙක්, මාව චිත්‍රයට නඟලා. හරිම අපූරුයි නේද? මේ දරුවගේ උත්සාහය නිර්මාණශීලී හැකියාව අගය කරන්න ඕන.”

ඔවුන්ගේ ජීවිතය හා බැඳී රසමුසුතැන් වින්දනය කරන්නට තව තවත් කාල වේලාව අවැසි වුවත් ශ්‍රියන්ත කුසුම් කැදැල්ලෙන් නික්මෙන්නට කාලය එළඹ තිබෙන බව හෝරා යන්ත්‍රය අපට පසක් කර දෙයි.

“හමුවෙමු සුවබර තවත් සැදෑවක” ඒ ඔවුන්ගේ ළෙන්ගතු සමුගැන්මයි.

 

අදහස්