තරු තෙරතුරු | Page 2 | සිළුමිණ

තරු තෙරතුරු

නිරතුරුවම නවකයින්ට අවස්ථාව ලබාදෙනවා

රංගන ශිල්පිනී - මිෂෙල් දිල්හාරා

මම කලා කේෂ්ත්‍රයට පය ගහපු වෙලේ සිට ‘රසඳුන‘ පුවත්පත මට පුදුම ශක්තියක් වුණා. නවක රංගන ශිල්පිනියක යැයි නොසිතා රසඳුන වැනි කලා ලොවේ දැවැන්ත පුවත් පතක් ලබා දුන්න සහය නිසා මේ වන විට හොඳ ගමනක් එන්න හැකි වී තිබෙනවා.

අලුත් නාට්‍යයක් එළියට එන සෑම මොහොතකම රසඳුන පුවත්පත ලබා දෙන දිරිමත් කිරීම අගය කළ යුතුයි. ඒ වගේම රසඳුන පුවත් පතෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡා නිසා දිගින් දිගට කලා කටයුතුවලට ආරාධනා ලැබීම් පවා වැඩි වෙන්න පටන් ගත්තා.

මම හිතන්නේ මට විතරක් නෙවෙයි කලා ලොවට එන සෑම නවකයකුට ම මෙම පුවත්පත ඒ අවස්ථාව ලබා දී තිබෙනවා. කලා පුවත් පතකින් විය යුත්තේ එවැනි දිරි ගැන්වීම් තමයි. එහෙම වුණාම අපිට තව තවත් දක්ෂතා පෙන්වමින් ඉදිරියට යන්න හැකිවෙනවා.

විශේෂයෙන්ම එක් දෙයක් කිව යුතුයි එහි කාර්ය මණ්ඩලය පවා ඉතා සුහදත්වයෙන් අපිව පිළිගනිමින් ලබාදෙන ගෞරවයට රංගන ශිල්පිනියක් ලෙස ස්තූතිය පළ කරන්න මේ අවස්ථාව උදා කරගන්නවා. දවසින් දවස රසඳුන පුවත්පත පුවත්පත් අතර ඉහළින්ම වැජඹේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රසඳුන පුවත්පතට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.


අනෙක් සෑම පුවත්පතකටම හොඳ ආදර්ශයක්

රංගන ශිල්පී - රජිත හිරාන් චාමිකර

ඕනෑම කෙනකුගේ රඳා පැවැත්මට බලපාන එක් සාධකයක් තමයි මාධ්‍ය කියන්නේ. විශේෂයෙන්ම රංගන ශිල්පියෝ වන අපිට එය තදින් බලපානවා. රංගන ශිල්පියෙක් විදියට කේෂ්ත්‍රයට පය ගහපු මුල් අවස්ථාවේ ඉඳලා පුවත්පතක් ලෙස ‘රසඳුන‘ මට විශාල සහයෝගයක් ලබා දුන්නා.

ඇත්තටම අංකුර කලාකරුවන් විදියට ඉදිරි ගමනක් යන්න එය පිටිවහලක් වුණා. මුද්‍රිත මාධ්‍ය කේෂ්ත්‍රය ආක්‍රමණය කරමින් විද්‍යුත් මාධ්‍ය ඉදිරියට එමින් තිබෙන වකවානුවක වුණත් රසඳුන පුවත්පත ඒ අභියෝගය ජයගෙන තිබෙනවා.

ඒ වගේම මම රඟපෑමෙන් දායකත්වය ලබාදුන්න අලුත් නාට්‍යයක්, චිත්‍රපටයක් එළියට ආව සෑම අවස්ථාවකම ඒ ගැන හොඳ ප්‍රචාරයක් ලබා දෙන්න රසඳුන පුවත්පත කටයුතු කළා. කලාකරුවන් ගැන නිතර කතා කරන රසඳුන පුවත්පත අනෙක් සෑම පුවත්පතකටම හොඳ ආදර්ශයක්.

එම නිසා ඉදිරියටත් කලා ලොව වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් කරන්න රසඳුන පුවත්පතට හැකියාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. රසඳුන පුවත්පත වසරක 22 ක් ගෙවමින් තිබෙන මේ මොහොතේ කලාකරුවකු ලෙස ඒ සඳහා සුබ පැතුම් එක්කරන්න ලැබීමත් මම ලැබූ භාග්‍යයක් ලෙස සලකනවා.


සෑම කලාකරුවකුටම එක වගේ සලකන පුවත්පතක්

රංගන ශිල්පී - සුගත් ජානක

රසඳුන පුවත්පත කියන්නේ මගේ කලා ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් සමීප පුවත්පතක්. ඒ වගේම මම හිතන්නේ මෙරට සිටින බොහොමයක් කලාකරුවන්ට එක වගේ සලකන පුවත් පතක් තමයි රසඳුන. එවැනි පුවත්පතක් වසර විසි දෙකක් නෙවෙයි විශ්වය පවතිනතාක් කල් එක ලෙස පැවැතේවායි මා ප්‍රාර්ථනා කරනවා.

විශේෂයෙන්ම එක් දෙයක් කිව යුතුයි. ඒ රසඳුන පුවත්පත අපේ රටේ කලාකරුවන් ගැන පමණක් නෙවෙයි හොලිවුඩ්, බොලිවුඩ් රංගන ශිල්පීන් ගැනත් දැනුවත් කරමින් කලාවට කැමැත්තක් දක්වන පාඨකයන්ට හොඳ දැනුමක් ලබාදෙන්න කටයුතු කිරීම පැසසුමට ලක්කල යුතුයි.

ඉදිරියේදීත් කලා ලොවේ අලුත් අලුත් දෑ කරන්න ශක්තිය ධෛර්ය ලැබිය යුතුයි. ඒ වගේම සුබම සුබ උපන් දිනයක් වේවායි හදවතින් ප්‍රාර්ථනා කරනවා.

 


වසර සිය ගණනක් ඉදිරියට යන්න හැකි වේවා!

රංගන ශිල්පී - විශ්ව කොඩිකාර

කලා ලොවට සුවිශේෂී කාර්ය භාර්යයක් ඉටු කළ පුවත් පතක් ලෙසයි මා රසඳුන පුවත්පත දකින්නේ. මෙම පුවත්පත හරහා කලාකරුවන්ට පමණක් නොව කලාවට කැමැත්තක් දක්වන රසික රසිකාවියන්ට විශාල දැනුමක් ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. රටේ යම් කලා කටයුත්තක් සිදුවෙද්දී ඒ ගැන ප්‍රචාරයක් නැත්නම් එය පටන් ගත් තැනම අසාර්ථක වෙන්න පුළුවන්.

එහෙත් රසඳුන වගේ පුවත් පතක් නිරන්තරයෙන් රට තොටේ සිදුවන කලා කටයුතු සොයා බලමින් ලබා දෙන ප්‍රචාරය නිසා බොහෝ කලා කටයුතුවලට හොඳ ගමනක් යන්න පුළුවන්කම ලැබී තිබෙනවා.

අපේ රටේ විතරක් නෙවෙයි විදේශීය සිනමාවේ පවා ඇති වෙන සුවිශේෂී සිද්ධි ගෙනහැර දැක්වීම නිසා රංගන ශිල්පීන් වන අපිටත් ඒ හරහා හොඳ දැනුමක් ලබා ගන්න හැකිව තිබෙනවා.

එම නිසා රසඳුන පුවත්පත සිය 22 වැනි උපන්දිනය සමරමින් සිටින මේ මොහොතේ වසර විසි දෙකක් නොව තවත් වසර සිය ගණනක් ඉදිරියට යන්න හැකි වේවායි මා සුබ පතනවා. ඒ වගේම ඉදිරියේදී තව තවත් විචිත්‍රවත් කලා කටයුතු කරගෙන යෑමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.

 

 

Comments