මේ තමුන්ගෙ පුතා බව හරි­ය­ටම කියන්නෙ කොහො­ම ද? | සිළුමිණ

මේ තමුන්ගෙ පුතා බව හරි­ය­ටම කියන්නෙ කොහො­ම ද?

වෛද්‍ය අජිත් පෙරේරා කටුනායකට ගියේ මනෝ වෛද්‍ය විශේෂඥ මනෝජ් සිං කැඳවාගෙන ඒම සඳහාය. ඔහු මීට කලින් ලංකාවට ආවේ වෛද්‍ය ශිෂ්‍යයෙක්ව සිටි අවදියේය. මෙවර ඔහු එන්නේ ප්‍රවීණ මනෝ වෛද්‍යවරයෙක් ලෙසිනි.

වෛද්‍ය අජිත් පෙරේරාගේ පියා පාරම්පරික සිංහල වෛද්‍යවරයෙකි. ඔහු දේශීය වෛද්‍ය විද්‍යාව පියාගෙන් හදාරා තිබුණි.

අපේ දේශීය වෙදකම රැඳී පවතින්නේ පැළෑටි හා ගහ කොළ මතය. ඔහුට පරම්පරාගත වෙදකම අනුව නීලකට කළ හැකි ප්‍රතිකාරයක් නැත. නීලකට සිංහල හෝ යුරෝපීය වෙදකම අනුව බෙහෙත් කිරීමට ඔහු සිතුවේ නැත.

වෛද්‍යවරුන් දෙදෙනා හෝටලයට එන තෙක් කතා කරමින් ආවේ රෝගීන් දෙදෙනා ගැනය. සමුද්‍රාසන්න හෝටලයේ නතර වීමට වෛද්‍ය මනෝජ් කැමති වුණි.

“මම ගිය සැරේ ආපු වෙලෙත් නතර වුණේ මේ හෝටලෙයි.”

“මේ හෝටලය හරි ජනප්‍රියයි.”

“අපි ඉස්සෙල්ලා මූදේ නාමුද?” මනෝජ් කීවේය.

“නාමු. මේ හරියෙ නාන්ට පුළුවන්.”

අජිත් ඉන්දීය වෛද්‍යවරයා සමඟ සැඳෑ වන තෙක් සිටියේය. ඒ අතර ඔවුහු නීලකගේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කළහ.

“එහෙනම් ඩොක්ට මම උදේ පාන්දරින්ම එනවා. මම යන්නම්.”

“කාමරේට ගිහින් යමු. මම අජිත්ට පොඩි තෑග්ගක් ගෙනාවා.”

අජිත් වෛද්‍යවරයාගේ කාමරයට ගියේය. ඔහු බෑගය විවෘත කර පරීක්ෂා කරන තෙක් කවුළුව අසලට ගියේය.

“ඩොක්ටට තවත් දෙයක් පෙන්වන්න තියෙනව. මේ පින්තූරෙ දිහා බලන්න.”

හෙතෙම ග්‍රැෆික් චිත්‍රය පෙන්වමින් කීවේය. ඔහු ඉන්දියාවේ සිට ගෙනෙන ලද චිත්‍රය අතට ගත් සැණින් අඳුනා ගත්තේය. පුනර්භවය පිළිබඳ සාකච්ඡා වන නීලකගේ චිත්‍රය ඔහුට ලැබුණේ කොහෙන්ද?

“ඩොක්ටට මේ පින්තූරෙ හම්බ වුණේ කොහෙන්ද?”

“මේක මට හම්බවුණේ ඉන්දියාවෙදි. ඇයි දන්න කෙනෙක්ද?”

මේ සිටින්නේ නීලකයැයි හරියාකාරව පැවසීමට පුළුවන්කමක් නැත. මේ ලෝකයේ එක සමාන මුහුණු ඇති ගැහැනු පිරිමි සිටිති. මෙය නීලකගේ බවට විශ්වාසයෙන් තහවුරු කිරීමට පුළුවන්කමක් නැත. නීලකගේ චිත්‍රය ඉන්දියාවේ සිට ගෙනාවේ කොහොමද?

ඔහු කිනම් අයුරකින්වත් ඉන්දියාවට සම්බන්ධකම් ඇති තරුණයකු නොවේ.

“මේ පින්තූරෙ මට දෙන්ට පුළුවන්ද. හෙට උදේ දෙන්නම්.”

“මම මේ පින්තූරෙ අජිත්ට පෙන්වන්නමයි ගෙනාවෙ. අරන් යන්න. උදේට හමුවෙමු.”

සරෝජනී නගරයට ගිය නීලක එනතෙක් බලා සිටියාය. කිසියම් දිනෙක ඔහු ලංකාවෙන් යන බව ඇය දැන සිටියාය. ඔහු තුළ පවතින නිසසල බව වෙනත් තරුණයන්ට නැත. හේ ‍අමතක වූ දෙයක් සොයනනකු වැනිය. සංසාරගත පුරුද්දක් ලෙස එකම ගැහැනියක සොයා යන අනුගාමිකයකු මෙනි. සැමියා කලබලයෙන් එනු දුටු ඈ අසුනෙන් නැගී සිටියාය. ‍

“කෝ පුතා?”

“කැමති දෙයක් කර ගත්තාවෙ. එයා ගැන එච්චර හිතන්ට එපා.”

“ඉන්දියාවෙන් ඩොක්ට කෙනෙක් ඇවිදින්. අපිට හම්බවෙන්න එන්න කිව්වලු.”

“අර කිව්ව මනෝ විද්‍යාඥයා වෙන්න ඇති. අපි එයාටත් මේ විස්තරේ කියමු.”

“අපේ ඩොක්ට දන්න කෙනෙක් නම් ප්‍රශ්නෙ විසඳගන්න ‍ලේසියි අපි යමු.”

මනෝජ් සිං පුදුමයට පත්වූයේ අජිත් පෙරේරා වෛද්‍යවරයාගේ කතාව ඇසීමෙනි.

“‍ෙඩාක්ට මේ කියන කතාව හරිම පුදුමයි. මේ කියන තරුණයා ලංකාවෙ ඉන්නවද?”

“මම සොයා බලමින් ඉන්නෙ මේ ළමයාගෙ පුනරුත්පත්ති කතාව ගැන.”

“ඩොක්ට කියනව නම් පිළිනොගෙන බැහැනේ.”

“එහෙම කියන්ට එපා. අපි කතාව තහවුරු කර ගම්මු. මම නීලකගෙ දෙමවුපියන්ට එන්න කිව්වා.”

“ඔව් ඒක හොඳයි. මවුපියො පින්තූරෙ දැකලා මොනව කියයිද බලමු. එතකොට මේකෙ ඇත්ත නැත්ත බලා ගන්ට පුළුවන්.”

“අර මතක් කරනකොටම එන්නෙ. ඩොක්ට නීලකගෙ තාත්තා ට්‍රේන් ඩ්‍රයිවර් කෙනෙක්. මෙයා බැඳල ඉන්නෙ ත්‍රිකුණාමලය පැත්තෙ දෙමළ ගැහැනු කෙනෙක්.”

හේරත් මහතා එන අයුරු මනෝජ්සිං බලා සිටියේය. උතුරු නැගෙනහිර තිස් අවුරුදු යුද්ධයක් පැවැති බව ඔහු දැන සිටියේය. සාමාන්‍ය දෙමළ සිංහල මිනිසුන්ට රට බෙදා වෙන්කර ගැනීමට අවශ්‍ය නොවීය. මේ අරගලයට ඉන්දියාව සෙබළුන් 1200ක් ද රුපියල් දසලක්ෂ ගණනක්ද වැය කළ හැටි මාධ්‍යවේදි එච්. ආර් නාරයන් ස්වාමි TIGERS OF LANKA කෘතියෙන් හෙළි කළේය. මේ යුද අවදියේ හේරත් හා සරෝජනී එක්වීම ම‍නෝජ් සිං අගේ කළේය.

“එන්න මිස්ට හේරත්.”

“ඩොක්ට අද අපේ පැන්ෂන් දවස. මම පඩි ගන්ට ගියා.”

“ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ පින්තූරෙ අඳුනනවද බලන්න.” සිංහල වෛද්‍යවරයා හේරත් මහතාට චම්පා ඇඳි ග්‍රැෆික් චිත්‍රය දෙමින් කීවේය. සරෝජනී චිත්‍රය දෙස පුදුමයෙන් බලා සිටියාය.

“මේ හේරත් ම්... මේ අපේ පුතාගෙ චිත්‍රයක් නේද?”

“ඔව් ඇත්තට කවුද මේ චිත්‍රය ඇන්දෙ?”

වෛද්‍යවරු එකිනෙකා දෙස සිනාමුසු මුහුණින් බලා උන්හ. චම්පාගෙ පුනරුත්පත්ති කතාව බැහැර කිරීමට සිතුණේ නැත.

“මේක තමුන්ගෙ පුතා බව හරියටම කියන්නෙ කොහොමද?”

“අපේ පුතා අපිට අඳුනන්ට බැරිද. හැබැයි ඇඳල ඉන්න ඇඳුම වෙනස්.”

“ඔව් ඉතින් වෙනින් ඇඳුමක් ඇඳලා ගත්තා වෙන්න බැරිද?”

මේ සිටින්නේ නීලක බවට සාක්ෂි තිබුණත් එය එකවරම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට බැරි වූහ.

“මට නීලකගේ ගෙදරට යන්ට ඕනෑ.”

“ඔව් අද හවස නීලකගෙ ගෙදර යනව. එතකොට ඩොක්ටර්ට පුළුවන් නීලක අඳින චිත්‍රය බලන්න.”

“ඔව් ඒකට තමා යන්නෙ. ඩොක්ට අජිත්ට යමක් පෙන්වන්නද?”

“ඔව් පෙන්වන්න ‍බලන්න.”

“දැන් ඔය මහරාජා පරම්පරාවෙ එන කුමාරි නියම කුමාරිකාවක් තමයි. ඉන්නකො පෙන්වන්න.” ඔහු ටැබ් යන්ත්‍රය ක්‍රියා කළේය.

“‍ඩොක්ට පුදුමයි! මේ හාදය පිස්සු කෙළින්නෙ මේ පින්තූරෙ එක්ක තමා.”

ඔහු මුහුණු පොතේ සටහන් කර තිබූ ඡායාරූප මුදා හැරියේය.

“මේක නම් පුදුම කතාවක් වෙයි. මම කුමාරිගෙ හෑන්ඩ් ෆෝන් නම්බර් එකයි. ඊමේල් ඇඩ්ඩ්‍රස් එකයි දැම්මා.”

“නියමයි එතකොට දෙන්නා කතා කර ගන්නෙ නැතෑ. මට නම් දැන් නීලකගෙ ගෙදර යන්න ඕනැත් නෑ.”

“සර් මේ පින්තූර ටික පුතාට පෙන්වන්න ඕනැ. යමුද අපේ ගෙදර.”

අදහස්