වසර 22 සම­රන ප්‍රවී­ණ­යන්ගේ අද­හස් | සිළුමිණ

වසර 22 සම­රන ප්‍රවී­ණ­යන්ගේ අද­හස්

ඉදිරියටත් ඒ රසය ඒ ආකාරයටම පවතීවා

මහාචාර්ය සුනිල් ආරියරත්න

ධර්මසිරි ගමගේ වැනි රසවතකුගේ කර්තෘත්වයෙන් ආරම්භ වූ රසඳුනෙහි එකී ආරම්භක රසාලිප්ත බව මේ දක්වාම අඛණ්ඩව පවතින බව මගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මේ රටේ සාහිත්‍ය කලාවන්හි නියැළෙන, නියැළුණු අයට ඒ වගේම එම සාහිත්‍යකලා මාධ්‍යවලට රසඳුනෙන් ලැබෙන අනුබලය අප්‍රමාණයි. ඇත්තෙන්ම එම කලා මාධ්‍යවලට හුදෙකලාව පවතින්න බැහැ. එම කලාවලට තවත් විවිධ මාධ්‍යයන්ගේ රුකුල, අනුබලය, සහයෝගය අවශ්‍යයයි.

සිනමාව, නාට්‍ය, සාහිත්‍යය වගේ කලා මාධ්‍යවලට රසඳුන හැමදාමත් සිය අනුබලය නොමසුරුව ප්‍රදානය කර තිබෙනවා. ඒ වාගේම මා විශ්වාස කරනවා ධර්මසිරි ගමගේ තුළ තිබුණු රසවත්භාවය එහි කර්තෘත්වය දැරූ සෑම පුද්ගලයකු තුළම තිබුණාය කියා. එය මේ දක්වාත් අඛණ්ඩව අපට පත්තර පිටු පුරා සතිපතා ලබා දෙනවා. ඉදිරියටත් ඒ රසය ඒ ආකාරයටම පවතීවා යන්නයි මගේ අපේක්ෂාව.


බොහොම කලාත්මක නිර්මාණාත්මක අතිරේකයක්

විශාරද නන්දා මාලනී

සිළුමිණ පුවත්පත සමඟ තිළිණ කෙරෙන මෙම රසඳුන පුවත්පත ධර්මසිරි අයියා තමයි ආරම්භ කරන්නේ. මොකද මට හොඳටම මතකයි අපේ තිබුණු බොහොම හිතවත්කම් සම්බන්ධකම් උඩ එහි රසඳුන කියන අකුරු ටික පවා අප හම්බවුණු වෙලාවක මට පෙන්නුවා.

ඉතින් මම හිතන්නේ බොහොම කලාත්මක නිර්මාණාත්මක අතිරේකයක් හැටියට තමයි රසඳුන හඳුන්වන්න පුළුවන්. ඒ අතර රසඳුන පුවත්පත අපේ රටේ කලාකරුවන්ගේ නාට්‍යකරුවන්ගේ සිනමා කරුවන්ගේ සියලු දෙනාගේ අවශ්‍යතා සම්පූර්ණ කරපු අතිරේකය ලෙස හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම එහි බොහොම සාරවත් ලිපි පළවුණා. ගෙවීගිය මේ අවුරුදු 22ක් පුරා රසඳුන මේ ආකාරයෙන් පවත්වාගෙන යෑම වෘත්තීය කලාකරුවන් ලෙස අපට ලොකු පිටිවහලක් වනවා.

මොකද අපි යම්කිසි නිර්මාණයක් හෝ අපේ කලා ප්‍රවෘත්තියක් දැන අඳුන ගන්න පාඨකයන් අවශ්‍යයි. ඒ නිසා පාඨකයා දැනුවත් කිරීමට රසඳුන අපට හුඟාක් ප්‍රයෝජනයි. මෙහි නිමාවත් බොහොම ලස්සනයි මුල් පිටුවේ පින්තූරයේ සිට පිටු සැලසුම පවා හරිම නිමාවකින් යුතුයි.

මම මගේ සුබ පැතුම පිළිගන්වනවා රසඳුනට මොකද දශක 6ක් පහුකරලා ඉන්න අපි සංගීත ක්ෂේත්‍රයේ කාල වකවානුව තුළ අපිට පුවත්පත් හා පුවත්පත් කලාවේදීන්ෙගෙන් ලැබුණු දිරිය ශක්තිය අපේ ගමනට ලොකු ශක්තියක් ලබා දුන්නා කියලා. රසඳුන හරබර විශේෂාංග අප වෙත ගෙන එන රස සරණියක්.


විශිෂ්ට කලා අතිරේකයක්

ආචාර්ය ජයලත් මනෝරත්න

 මෙරට පුවත්පත් කලාවේ පැරැණිතම පුවත්පතක් වන සිළුමිණ ශාස්ත්‍රිය පුවත්පතෙන් සමාජයට සිදුකරන කාර්ය භාරය මිල කළ නොහැකියි. එමගින් මෙරට පාඨකයන්ට දැනුම, තොරතුරු මෙන්ම විනෝදාස්වාදය ලබා දීමට ක්‍රියා කරනවා.

මෙම ශාස්ත්‍රීය පුවත්පත මගින් පිරිනැමෙන රසඳුන කලා අතිරේකය ප්‍රාසංගික කලාව පිළිබඳව සහ කලා ලෝකයේ නවතම තතු, ශාස්ත්‍රීය තොරතුරු සරළ බස් වහරකින් අප වෙත තිළිණ කරනවා. ඒ නිසාම තමයි රසඳුනට ආදරය කරන කලාකරුවන් සේම පාඨකයන් විශාල පිරිසක් සිටින්නේ. සිළුමිණ පුවත්පතට පසු බිහිවු විවිධ පුවත්පත් තුළ විවිධ කලා අතිරේකයන් කොතෙකුත් දැකිය හැකියි.

එහෙත් එම අතිරේකයන් සියල්ල අබිබවමින් පාඨකයාට නිර්මාණාත්මක තොරතුරු මෙන්ම විවිධ සාහිත්‍ය තොරතුරුද ඉදිරිපත් කරමින් ඇතැම් අවස්ථාවල පොත්පත් පිළිබඳ හරබර විශේෂාංගද අපවෙත ගෙන එන රස සරණියක් ලෙස රසඳුන කලා අතිරේකය හැදින්විය හැකියි.

මෙම අතිරේකයෙන් සෑම විටම පාඨකයාට සෞන්දර්යාත්මක පණිවිඩ ලබාදෙන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා වගේම කලාවේ සැඟවුණු තොරතුරු අප වෙත ගෙන එනවා. ධර්මසිරි ගමගේ කලාකරුවා, පුවත්පත් කලාවේදියාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු රසඳුනට තවත් දීර්ඝ කායක් පුවත්පත් ලොවේ වැජඹෙන්න ශක්තිය ලැබේවායි පතනවා.

 


රසවත් ලිපි ලේඛන ඇතුළත් එකතුවක්

ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන

 රසඳුන නමට ගැළපෙන ලිපි ලේඛන, ඡායාරූපවලින් සුසැදුණු පුවත්පතක් කීවොත් නිවැරැදියි. සිළුමිණ පුවත්පත මිලට ගන්නා ඕනෑම පාඨකයෙක් පළමුව රසඳුන කලාපත්තරය කියවා මනස සැහැල්ලු කර ගැනීමෙන් අනතුරුව සිළුමිණ පුවත්පත කියවීම අරඹනවා.

සිළුමිණ පුවත්පතෙන් ශාස්ත්‍රීය දැනුම දෙන්නා සේම රසඳුන පුවත්පතෙන් කලා තොරතුරු අප වෙත ගෙන එනවා. රසඳුන අතිරේකය මම දකින්නේ රසවත් ලිපි ලේඛන ඇතුළත් එකතුවක් ලෙස. එම එකතුව හරිම පැහැදිලියි වගේම සිත්ගන්නාසුලුයි. කාලෝචිතයි.

මෙමගින් සමාජයට වටිනාකමක් හිමිවනවා. දැනට වසර විසි දෙකකට පෙර ආරම්භ කෙරුණු රසඳුන කලා අතිරේකයට මම සුබ පතනවා. ඉදියටත් එම පුවත්පත කරගෙන යෑමට සුභාශිංසන ගෙන එනවා.


පුවත්පත් කලාව නමැති පොකුණේ විකසිත වූ අරවින්දයක්

කලාසූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහ

සත දහයේ විශ්වවිද්‍යාලය ලෙස ආරම්භයේදී හඳුන්වනු ලැබූ සිළුමිණ ජාතික පුවත්පත සති අන්ත පුවත්පත් අතර ඉදිරියෙන්ම සිටින පුවත්පතක්. පුවත්පත් කලාවේ සම්ප්‍රදායන් ආරක්ෂාකර ගනිමින් වෙනස් වන නව ලෝකය අවබෝධය කර ගනිමින් සිළුමිණ යන ගමනට අත්වැලක් සපයන්න රසඳුන පුවත්පත් අතිරේකයට හැකිවී තිබෙනවා.

ඒ නිසයි රසඳුන දැනුම් සම්භාරයක් සහිත පුවත්පතක් ලෙස හැඳින්වීම නිවැරැදි. ධර්මසිරි ගමගේ කලාකරුවාගේ කර්තෘත්වයෙන් ඇරැඹී රෝහණ වෙත්තසිංහ, සුනිල් මිහිඳුකුල, ඉඳුනිල් වීරරත්න යන කතුවරුන් යටතේ වසර විසි දෙකක් පුරා දැනුම, විනෝදය, සමගින් අතිරේක පුවත්පතක් ලෙසින් අපවෙත ලැබෙන රසඳුන කලා අතිරේකයේ මම දකින සුවිශේෂීත්වය වන්නේ තමන්ගේ යුතුකම හා දැනීම නිවැරැදිව වටහාගෙන කටයුතු කිරීමයි.

රැකියාවකට එහා ගිය සේවාවක් ලෙසින් පුවත්පතේ උන්නතිය වෙනුවෙන් කැපවෙන කාර්ය මණ්ඩලයකින් සුසැදුණු රසඳුන ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව නැමැති පොකුණේ විකසිත වු අරවින්දයක් ලෙසින් තවත් දශක ගණනාවක් රටට සුවඳ විහිදුවීමට ශක්තිය ධෛයිරිය ලැබේවා කියා පාර්ථනා කරනවා.ඒ වගේම මේ තාක් පැමිණි ගමන්මග පිළිබඳව කලාකරුවකු ලෙසින් අතිශයින් සතුටට පත්වෙනවා.

අදහස්