වැඩි­හි­ටි­යන්ට පම­ණයි චිත්‍ර­පටවල රඟ­පාන්නේ නැහැ | සිළුමිණ

වැඩි­හි­ටි­යන්ට පම­ණයි චිත්‍ර­පටවල රඟ­පාන්නේ නැහැ

පාසල් කාලයේ සිට කලාවට දැඩි කැමැත්තක් දක්වන තුෂාරී ගමගේ ‘ආදරණීය දවසක්‘ ටෙලි නාට්‍යයෙන් කලා ලොවට පිවිසෙන්නීය. එතැන් සිට මේ වන විට වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදී තිබේ. සෝමරත්න දිසානායක මහතා විසින් සුනාමිය පාදක කරගනිමින් නිර්මාණය කිරීමට නියමිත චිත්‍රපටයේ නීතිඥවරියකුගේ චරිතයකට පණ පෙවීමට සූදානමින් සිටින ඇය පාසල් කාලයේ සිට මේ දක්වා ආ ගමන් මඟ ගැන රසඳුන සමඟ කතාබහක නියැළිණි. ඒ කතාබහයි මේ.

 ඔබ කවුරුද කියා හඳුන්වා දෙමින්ම කතාබහ පටන්ගමු?

මම තුෂාරි ගමගේ. දැන් පදිංචිය පාදුක්කේ. මම විවාහකයි. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ පියා කථිකාචාර්යවරයෙක්. ඒ නිසා පුවක්පිටිය දකුණ මහා විද්‍යාලයෙත්, අරුක්වත්ත පත්මසිරි මහා විද්‍යාලයෙත්, සිරිපියරතන මහා විද්‍යාලයෙත් අධ්‍යාපනය හදාරන්න සිදුවුණා. මගේ පවුලේ මාත් එක්ක සහෝදර සහෝදරියන් නව දෙනෙක් ඉන්නවා.

කලාවට සම්බන්ධ වන්නේ කොහොමද?

මම පාසල් කාලයේ ඉඳලා කලාවට පුදුම කැමැත්තක් දැක්වුවා. පාසලේදී යාළුවොත් එකතු කරගෙන විවිධ නාට්‍ය ඉදිරිපත් කළා. අපේ විදුහල්පතිවරුන් දැනසිටියා මම ඕනෑම දේකට ඉදිරිපත් වෙනවා කියලා. ඒ නිසා පාසලේ මොන උත්සවේ තිබුණත් එහි යම් ඉදිරිපත් කිරීමක් කරන්න අනිවාර්යෙන්ම මට බාර දෙනවා. පාසලෙන් ඉවත් වුණාට පස්සේ නැටුම් පන්තියකට ගියා. එතැනදී මට පියුමි කියල නංගි කෙනෙක් හඳුනගන්න ලැබුණා. ඇය ඒ වෙනකොටත් නාට්‍යවලට සම්බන්ධ වෙලයි හිටියේ. ඒ අනුව ඇය තමයි මාව නාට්‍යයක පෙනී සිටීමට පරීක්ෂණයකට එක්ක ගියේ.

ඒ කියන්නේ පළමු පරික්ෂණයෙන්ම සමත් වුණා?

පරීක්ෂණය අවසන් වුණාට පස්සේ යළි දන්වන්නම් කිව්වා. ඒ එක්කම පියුමි නංගිම මට වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලට සම්බන්ධීකරණය කරන සුදර්ශනී කියල අක්කා කෙනෙක් හඳුන්වා දුන්නා. ඇයගේ මාර්ගයෙන් මැගී, ටිකිරි මාරි, මහජන බැංකුව වැනි වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ ඒ අක්ක ම ‘ආදරණීය දවසක්‘ කියන ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කළා. එහි මම සැලූන් එකක වැඩ කරන චරිතයක් නිරූපණය කළා.

ඉන් පස්සේ?

දැනට තිරගත වීමට නියමිත චිත්‍රපට කිහිපයකම වැඩ කරලා තිබෙනවා. ඉන් හතරකම නර්ස් කෙනෙකුගේ චරිතය තමයි කරන්නේ. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘ද බී රිපෝට්‘ ඒකාංගික නාට්‍යයක, කොපි කඩේ, සියත රූපවාහිනියේ විකාශය වන ‘අපේ ආදරේ‘ නාට්‍යවල රඟපානවා. මේ වන විට සෝමරත්න දිසානායක මහත්මය සුනාමිය පාදක කරගනිමින් නිර්මාණය කරන චිත්‍රපටයක නීතිඥවරියකගේ චරිතයට දායකත්වය ලබාදෙන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා.

ඒ කියන්නේ තෝරා බේරාගත් චරිත පමණයි කරන්නේ?

මට ස්වාමි පුරුෂයෙක් ඉන්නවා; පවුලක් තිබෙනවා; සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඒ අයට ප්‍රශ්නයක් නොවන ගැළපෙන චරිත පමණයි බාරගන්නේ. විශේෂයෙන්ම වැඩිහිටියන්ට පමණයි කියන ලේබලයේ යටතේ තියෙන චරිතවලට මම කිසිසේත් සම්බන්ධ වෙන්නේ නැහැ.

කලා ගමන සාර්ථක කරගන්න උදව් කළේ කවුරුද?

ඉන්ද්‍රජිත් චාමිකර සර්, පිළියන්දල තිලක් සර්, ගොඩගම සුසන්ත සර්, පියමි ඉමල්කා, හේරත් සර්, මගේ මහත්තයා සහ දරුවන් දෙදෙනා, මවුපියන් සහ සහෝදර සහෝදරියන්

අනාගත බලාපොරොත්තු

ලොකු බලාපොරොත්තු නැහැ. මට අවශ්‍ය තව තවත් කලාව ගැන ඉගෙන ගනිමින් හොඳ නිර්මාණයක් ලැබුණොත් ඊට සම්බන්ධ වීමයි. ඒ වගේම නිරූපණය පැත්තට යන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. 

අදහස්