සොඳුරු අත්දැ­කීම් ඇසුරෙන් මතු­ වන ප්‍රේමයේ විර­හව | සිළුමිණ

සොඳුරු අත්දැ­කීම් ඇසුරෙන් මතු­ වන ප්‍රේමයේ විර­හව

‘නිදා නොනිදා රැය පහන් කරනා වෙලාවට‘ ඇසෙන මොහොතක් පාසා මට සිහි වන්නේ ඇයයි. ඇය ඇගේ කතාව මට කීවේ මීට බොහෝ කාලයකට පෙරය. ඒත් මේ ගීතය මුලින්ම ඇසුණු දිනයේ මගේ මතකයට ආවේ ඇයයි.

දිනෙක ඈ මා සොයා ආවාය. ඈගේ වයස අවුරුදු හැත්තෑවද ඉක්මවා ඇත. ඇය කියන්නට ගත්තේ ඇගේ තුරුණු වියේ අත්දැකීමයි.

“ඒ මගේ මුල්ම රස්සාව. එතකොට මට අවුරුදු දහ නවයක් විතර ඇති. ඔහු මට වඩා වසර කිහිපයක් වැඩිමහල්. ඒ ඔහුගේ ද පළමු පත්වීම. අපි එකට වැඩ කළේ. නිතර එකට හමූ වූ නිසා අපේ හිත් ළං වුණා. එය ආදරයක් දක්වා දුර ගියා. මම ඔහුට මගේ හද පත්ලෙන්ම ආදරේ කළා.

නමුත් වසර කිහිපයකින් ඔහුට වෙනත් තැනකට මාරු වී යන්න වුණා. ඔහු යන්නම යන්න ගියා. මගේ හිතේ ආදරේ මගෙ ගාව තියලා ඔහු ගියේ. මට හිත හදාගන්න හුඟක් අමාරු වුණා. යෙහෙළියෝ තමයි මගේ හිත හැදුවේ. ඒත් මට ඔහු අමතක කරන්න බැරි වුණා. කාලය ගෙවිලා ගියා.

වසර ගණනකට පසු මට ඔහු හමු වුණා. ඒ වන විට ඔහු විවාහ වෙලා. එදා මම හොඳටම ඇඬුවා. ඔහුට මගේ හිත තේරුම් ගන්න බැරි වුණානේ කියලා මට හිතුණා. මම විවාහ වෙන එක කල් දැම්මේ ඔහු ගැන ආදරයක් හිතේ සැඟවී තිබුණ නිසා. පසුව ගෙදරින් ගෙනා යෝජනාවකට මම කැමැති වෙලා විවාහ වුණා. කාලය ගෙවිලා ගියා. ඊටත් කාලයකට පස්සේ අපි අහම්බෙන් හමු වුණා. අපි කතා කළා. ඉඳහිට දුරකතනයෙනුත් කතා කළා. ඔහු කතා කළේ ඔහුගේ දරුවන් ගැන.

ඒත් මගේ හිතේ ඔහු ගැන ආදරයෙන් පිරිලා තියෙන්නේ. වෙලාවකට හිතෙනවා මේක මහා පිස්සු සිතුවිල්ලක් නේද කියලා. ඒත් අපි හමුවෙලා වෙන් වුණ කාලය අවුරුදු පනහකට වැඩියි. මගේ හිත තවමත් ඔහු නිසා සැනසෙනවා, නැළවෙනවා, විඳිනවා, විඳවනවා. ඔහු මාව හැර ගියා.

ඒ වුණත් ඔහුට වෛර කරන්න මට බැහැ.“

ඒ වියපත් දෑසේ කඳුළු දිලිසෙයි. ඈ ලේන්සුවෙන් දෑස වසා ගත්තාය. ඇය ඇගේ කතාව කියා කාලයක් ගතවී ඇත. නමුදු ඇගේ කඳුළු තවමත් මා ගාවය. අමරසිරි පීරිස් ගයන මේ ගීතය ඇසූ සැණින් මගේ මතකයට ඇය එන්නට ඇත්තේ ඒ නිසාම වන්නට ඇත.

ආදරය මහා පුදුමාකාරය විටෙක ආදරයෙන් බැඳෙන හිත් විටෙක ආදරය නිසාම විඳවන්නේය. ආවේගයෙන් තොරව ඒ විදවන හිත් සන්සුන් වන්නේ මෙවැනි විරහ ගී කවි, ආදි වූ සාහිත්‍ය නිර්මාණ ඇසුරේය. ප්‍රවීණ සංගීතවේදී එච්. එම්. ජයවර්ධනයන් විසින් සංගීතවත් කරන ලද ‘නිදා නොනිදා රැය පහන් කරනා වෙලාවට ‘ගීතයේ පද රචකයා වන්නේ සඳරුවන් කරුණාතිලකය. ගීපද රචනයට පිවිසෙන්නට පෙර ඔහු කවියෙකි. ‍

ප්‍රේමය, විරහව එකිනෙකට බැඳී ඇත්තේය. සැනසෙන සිත විඳවන්නේ ද ප්‍රේමය නිසාය. එවන් වූ හද රිදුමක් එකට ගළපා රසවත් පද පෙළක් ලියැවුණ අපූරුව ගැන සඳරුවන් අපට පැවැසුවේ මෙසේය.

“මෙය මගේ අත්දැකීමක්ම නෙමෙයි. නමුත් ප්‍රේමයේ විරහව මටත් දැනිලා තියෙනවා. අපිට අපේ ජීවිතයේ ලබන සොඳුරු අත්දැකීම් අමතක කරන්න අමාරුයි. නමුත් ජීවිතයේ තියෙන බැඳීම් එක්ක අපිට ඒ මත්තෙම ඉන්න බැහැ. මට නිතර හිතුණ දෙයක් තමයි ආදරයෙන් බැඳී ඉඳලා වෙන් වන පෙම්වතුන් ජීවිත කාලයම ඒ මතකයන් සමඟ ජීවත් වෙනවා කියන එක. ඔන්න ඔය සිතුවිල්ල තමයි මා ලියූ පදවැලට අරමුණ වුණේ. අමරසිරි පීරිස් මහතාගේ කටහඬත්, එච්. එම්. ජයවර්ධනයන්ගේ සංගීතයත් නිසා මේ ගීතය වඩාත් හැඩ වුණා.“

ජීවිතය ජීවත් කරන්නේ බලාපොරොත්තුවයි. හමුවුණ ද හමු නොවුණද කොහේ කොතැනක වුව තම සිත බැඳුණ අයකු වෙනුවෙන් ජීවත් වන්නට, ඒ වෙනුවෙන් ඉවසන්නට හිත පුරුදු වෙයි.

 

අදහස්